Wednesday, April 3, 2013



9. ද්‌වයතානුපස්‌සනාව.

(...කුසලානං ධම්‌මානං අරියානං නිය්‍යානිකානං සම්‌බොධගාමී නං කා උපනිසා සවනායාති, ඉති චෙ භික්‌ඛවෙ පුච්‌ඡිතාරො අස්‌සු, තෙ එවමස්‌සු වචනීයා; යාවදෙව ද්‌වයතානං ධම්‌මානං යථාභූතං ඤාණායාති...)
(...එවං සම්‌මා ද්‌වයතානුපස්‌සිනො ඛො භික්‌ඛවෙ, භික්‌ඛුනො අප්‌පමත්‌තස්‌ස ආතාපිනො පහිතත්‌තස්‌ස විහරතො ද්‌වින්‌නං ඵලානං අඤ්‌ඤතරං ඵලං පාටිකඞ්‌ඛං, දිට්‌ඨෙව ධම්‌මෙ අඤ්‌ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා) 
-සුත්තනිපාත.ද්වයතානුපස්සනාසුත්තං-

සත්‍ය අවබෝධයට උපකාර වෙන කුසලධර්ම උපදවාගෙන භාවනා කිරීම අවශ්‍ය වන්නේ, පහත සඳහන් වන ගැඹුරු ආර්ය ධර්ම පිළිබඳව ප්‍රායෝගිකව තේරුම්ගැනීම සඳහාය. විපස්සනා භාවනාවේ සියලු කරුණු සාරාංශගත කිරීමක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් ද්වයතානුපස්සනාව දේසනා කර ඇත. මෙහිදී, කෙලින්ම නිවන් අවබෝධය සඳහා තේරුම් ගත යුතු ගැඹුරු ආර්ය ධර්මයන්, යුගල-වශයෙන් දහසයක් ලෙස කෙටියන් දක්වා ඇත. සියලු අකුසල් ඉවත් කරගෙන කුසල් උපදවා ගැනීම සඳහා ලෝකයේ වල්මත් නොවී, ප්‍රවේසමෙන් හා කල්පනාකාරීව වාසය කරමින්, මෙම යුගල ධර්ම එකක් හෝ පැහැදිලිව ප්‍රායෝගිකව තේරුම් ගැනීමෙන්, රහත් භාවයට හෝ අනාගාමී භාවයට පත්වීම සිදුවේ.

(1) තණ්හාව නිසා සිත-කය ක්‍රියාත්මකවී, දුක ඇති කරන බව සහ ආර්ය අෂ්ඨාංගික මර්ගයෙන් තණ්හාව ඉවරවී, දුක අතුරු දහන් වෙන බව, ප්‍රායෝගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(2) ජීව-හෞතික ලෝකවස්තු නිසා, සියලුම දුක් ඇතිවෙන බව හා ජීව-හෞතික ලෝකවස්තු වලින් තොරව, කිසිම දුකක් ඇති විය නොහැකි බව, ප්‍රායෝගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(3) දුක පිළිබඳව සම්පුර්ණ සත්‍ය අනාවරණය නොවීම නිසා, සියලුම දුක් ඇති වෙන බව සහ දුක පිළිබඳව සම්පුර්ණ සත්‍ය අනාවරණය වීමෙන් පසුව, කිසිම දුකක් ඇතිවිය නොහැකි බව, ප්‍රායෝගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(4) කරන-කියන-හිතන ක්‍රියාකාරීත්වය නිසා, සියලුම දුක් ඇති වෙන බව සහ කරන- කියන- හිතන ක්‍රියාකාරීත්වය කොහෙත්ම ඇති නොවන විට, කිසිම දුකක් ඇතිවිය නොහැකි බව, ප්‍රායෝගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(5) සිතක් පවතින නිසා, සියලුම දුක් ඇති වෙන බව සහ සිතක් නොපවතින විට, කිසිම දුකක් ඇතිවිය නොහැකි බව, ප්‍රායෝගි කව පැහැදිලිව තේරුම් ගැනීම.

(6) සිතත්, කයත් බාහිර ලෝකයට සංවේදී කරවන ස්පර්ශය නිසා, සියලුම දුක් ඇති වෙන බව හා සංවේදී ස්පර්ශය ඇති නොවන විට, කිසිම දුකක් ඇතිවිය නොහැකි බව, ප්‍රායෝගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(7) සැප-දුක් විඳින ස්වභාවය පවතින නිසා, සියලුම දුක් ඇති වෙන බව සහ විඳින ස්වභාවය නොපවතින විට, කිසිම දුකක් ඇතිවිය නොහැකි බව, ප්‍රායෝගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(8) ලෝකය ගැන උනන්දු වෙන තණ්හාව නිසා, සියලුම දුක් ඇතිවෙන බව සහ තණ්හාව ඇති නොවන විට, කිසිම දුකක් ඇති විය නොහැකි බව, ප්‍රායෝගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(9) ලෝකයට වහල් වීමෙන්, සියලුම දුක් ඇති වෙන බව සහ ලෝකයට වහල් නොවී සිටීමෙන්, කිසිම දුකක් ඇතිවිය නොහැකි බව ප්‍රායෝගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(10) අලුතෙන් සිදුවන දේවල් නිසා, සියලුම දුක් ඇති වෙන බව සහ අලුතෙන් කිසිම දෙයක් සිදු නොවෙන විට, කිසිම දුකක් ඇති විය නොහැකි බව, ප්‍රායෝගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(11) සිතටත්-කයටත් ක්‍රියාත්මක වීමට ආහාර ලැබීමෙන්, සියලුම දුක් ඇතිවෙන බව සහ සිත-කය ක්‍රියාත්මක වීමට, ආහාර නොලැබෙන විට, කිසිම දුකක් ඇතිවිය නොහැකි බව, ප්‍රායෝගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(12) සැලීම නිසා, සියලුම දුක් ඇති වෙන බව සහ සැලීමක්, නොපවතින විට, කිසිම දුකක් ඇතිවිය නොහැකි බව, ප්‍රායෝ ගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(13) යම් දෙයක් ආශ්‍රය කිරීමෙන්, සැලීමක් ඇති වෙන බව සහ කිසිම දෙයක් ආශ්‍රය නොකිරීමෙන්, නොසැලී සිටිය හැකි බව, ප්‍රායෝගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(14) හෞතික රුපයක් පවතින තත්වයට වඩා, සිත විතරක් පැවතීම සුවයක් බව සහ සිතක් පවතින තත්වයට වඩා, සිතත් නොපවතින තත්වය සුවයක් බව, ප්‍රායෝගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(15) ලෝකයා සත්‍යය හැටියට කල්පනා කරන දේවල් අසත්‍ය බවත්, ලෝකයා අසත්‍ය හැටියට කල්පනා කරන දේවල්, සත්‍ය බවත්, ආර්ය පුද්ගලයන් විසින් නිවැරදි ප්‍රඥාවෙන් දකින බව ප්‍රායෝගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(16) ලෝකයේ සැපය හැටියට කල්පනා කරන දේවල්, දුකක් ලෙස හා ලෝකයේ දුකක් හැටියට කල්පනා කරන දේවල්, සැපය ලෙස, ආර්ය පුද්ගලයන් විසින්, නිවැරදි ප්‍රඥාවෙන් දකින බව, ප්‍රායෝගිකව පැහැදිලිව තේරුම් ගැනීම.

(රූපා සද්‌දා රසා ගන්‌ධා, ඵස්‌සා ධම්‌මා ච කෙවලා
ඉට්‌ඨා කන්‌තා මනාපා ච, යාවතත්‌ථීති වුච්‌චති
සදෙවකස්‌ස ලොකස්‌ස, එතෙ වො සුඛසම්‌මතා
යත්‌ථ චෙතෙ නිරුජ්‌ඣන්‌ති, තං නෙසං දුක්‌ඛසම්‌මතං
සුඛන්‌ති දිට්‌ඨමරියෙහි, සක්‌කායස්‌සුපරොධනං
පච්‌චනීකමිදං හොති, සබ්‌බලොකෙන පස්‌සතං)

සිතේ හා කයේ ක්‍රියාකාරිත්වයට අරමුණු වෙන, ප්‍රිය මනාප දේවල් විතරක් ඇති, කියන ලෝකයේ, ඒවා සැපය හැටියට සම්මතය. ඒවා නොපවතින තැන, දුකක් හැටියට සම්මතය. සිත හා කය පැවතීම තනිකර දුකක් බව, ප්‍රායෝගිකව දුක ඉවර කළ ආර්යයන් වහන්සේලා විසින් පැහැදිලිව දකින ලදි. ලෝකයට අනුව බලන විට එය පෙනෙන්නේ කනපිටය.

(භව-රාග පරෙතෙහි, භව-සොත අනුචාරිහී
මාරධෙය්‍ය අනුපන්‌නෙහි, නායං ධම්‌මො සුසම්‌බුධො)
-සු.නිපාත.ද්වයතානුපස්සනාසුත්තං-

ලෞකික පැවැත්මට වහල්වී, පවතින ක්‍රමයට අනුව ඇදෙන මරණ සාධක බවට පත්වී, මෙම ධර්මය ලේසියෙන් අවබෝධ කළ නොහැක.

(අත්‌ථස්‌ස පත්‌තිං හදයස්‌ස සන්‌තිං
ජෙත්‌වාන සෙනං පියසාතරූපං
එකොහං ඣායං සුඛං අනුබොධිං
තස්‌මා ජනෙන න කරොමි සක්‌ඛිං
සක්‌ඛී න සම්‌පජ්‌ජති කෙනචි මෙ) -සං.නි.සගාථවග්ග.මාරධීතුසුත්‌තං-

හදවතට ශාන්තිය උදා වෙන, පරමාර්ථයට පත්විය,
ප්‍රිය ජනක ආස්වාදය ලෙස පෙනෙන සේනාව පරදවා,
තනිවම කල්පනා කිරීමෙන්, සැපය අවබෝධ විය,
ඒනිසා, ජනතාව අතර මත්වයෙන් සිටීමට නොයමි,
කිසිම තැනක මාගේ, මමත්වය කිරීමක් නොමැත.෴


11. පසු-වදන.

(1) (කිච්‌ඡො මනුස්‌සපටිලාභො, කිච්‌ඡං මච්‌චාන ජීවිතං,
කිච්‌ඡං සද්‌ධම්‌ම‌සවනං, කිච්‌ඡො බුද්‌ධානමුප්‌පාදො)
-ධ.ප.බුද්ධවග්‌ග-

මනුස්සත්වය ලැබීම අමාරු කටයුත්තකි!
මිනිසුන්ට ජීවත්වීම අමාරු කටයුත්තකි!
නිවැරදි ධර්මය දැනගැනීම අමාරු කටයුත්තකි!
බුදුවරුන්ගේ පහළ වීම අමාරු කටයුත්තකි!

(2) (සුඛො බුද්‌ධානං උප්‌පාදො, සුඛා සද්‌ධම්‌ම දේසනා
සුඛා සඞ්‌ඝස්‌ස සාමග්‌ගී, සමග්‌ගානං තපො සුඛො) -ධ.ප.බුද්ධවග්‌ග-

බුදුවරුන් ඉපදීම සැපයකි! ධර්මය නිවැරදිව දේසනා කිරීම සැපයකි! බුද්ධසාවක-සමූහය සමගිවීම සැපයකි! සමගියෙන්, රාග-ද්වේශ-මෝහ ඉවරකිරීම සඳහා තපස් රැකීම සැපයකි!

(3) (සබ්‌බදානං ධම්‌මදානං ජිනාති, සබ්‌බරසං ධම්‌මරසො ජිනාති සබ්‌බරතිං ධම්‌මරති ජිනාති, තණ්‌හක්‌ඛයො සබ්‌බ දුක්‌ඛංජිනාති)
-ධම්මපද.තණ්හාවග්‌ග-

සියලුම දේවල් දන්දීම, ධර්ම-දානයෙන් සිදු වේ! සෑම රසයක්ම, ධර්ම-රසය තුල තිබේ! සෑම රතියක්ම, ධර්ම-රතිය තුල තිබේ! තණ්හාව ඉවර කිරීමෙන්, සියලුම දුක් ඉවර වේ!

(4) (පවිවෙක රසං පිත්‌වා, රසං උපසමස්‌සච
නිද්‌දරො හොති නිප්‌පාපො, ධම්‌මපීති රසං පිවං)
-ධම්මපද.සුඛවග්‌ග-

නිවැරදිව ධර්මය අනුගමනය කරනවිට උපදින ප්‍රීතියේ-රසය, විවේකයේ-රසය හා සමාධියේ-රසය තුලින් කායික-මානසික පීඩාව හා දැවිල්ල සදා සමනයවේ!

(5) (තථා තථා සො තස්‌මිං ධම්‌මෙ අත්‌ථපටිසංවෙදීච හොති ධම්‌මපටිසංවෙදීච. තස්‌ස අත්‌ථපටිසංවෙදිනො ධම්‌මපටිසංවෙදි නො පාමොජ්‌ජං ජායති. පමුදිතස්‌ස පීති ජායති. පීති මනස්‌ස කායො පස්‌සම්‌භති. පස්‌සද්‌ධ කායො සුඛං වෙදෙති. සුඛිනො චිත්‌තං සමාධියති)
-අ.නි.පඤ්චකනිපාත.විමුත්‌තායතනසුත්‌තං-

යම්කිසි ආකාරයට අර්ථය හා ධර්මය අත්විඳින විට ප්‍රබෝධයත්-ප්‍රීතියත්-කායික පහසුවත්-සැපයත් ඇතිවේ. එවිට නිරායාසයෙන් ම සිත සමාධිගතවේ.

(6) (තයො භික්‌ඛවෙ, අත්‌ථවසෙ සම්‌පස්‌සමානෙන අලමෙව පරෙසං ධම්‌මං දෙසෙතුං. කතමෙ තයො? යො ධම්‌මං දෙසෙති සො අත්‌ථපටිසංවෙදීච හොති ධම්‌ම‌පටිසංවෙදීච. යො ධම්‌මං සුණාති සො අත්‌ථපටිසංවෙදීච හොති ධම්‌ම‌පටිසංවෙදීච. යො චෙව ධම්‌මං දෙසෙති යොච ධම්‌මං සුණාති උභො අත්‌ථ පටිසංවෙදීච හොති ධම්‌ම‌පටිසංවෙදීච.) -අ.නි.තිකනිපාත.අත්‌ථවසසුත්‌තං-

ධර්ම දේසනාවක ප්‍රයෝජන තුනක් තිබේ. එනම්, ධර්ම දේසකයා අර්ථය හා ධර්මය අත්විඳීම, අසන්නා අර්ථය හා ධර්මය අත්විඳීම, ඒ දෙදෙනාම අර්ථය හා ධර්මය අත්විඳීම. ධර්ම දේසනාවක ප්‍රයෝජනය වන්නේ, ධර්මය වටහා ගැනීමයි.

ධර්මය නිවැරදිව තමන්ට පැහැදිලි වෙන විට, ප්‍රායෝගිකව ධර්මය දැකීම- ධර්මය සමාදන් වීම- ධර්මයෙන් උත්තේජනය වීම හා ධර්මය ගැන ප්‍රසාදය ඇතිවීම සිදුවිය යුතුය. කලින් නොතිබුණ සුගතිගාමී බෝධිපාක්ෂික ධර්ම ඇතිවී සිත සමාධි ගත විය යුතුය. එවිට, පැහැදීම- ප්‍රබෝධය- උද්‍යෝගය- ප්‍රීතිය හා සැපය ඇති විය යුතුය.෴
                                                                                                            
“තුම්‌හෙහි කිච්‌චං ආතප්‌පං, අක්‌ඛාතාරො තථාගතා
පටිපන්‌නා පමොක්‌ඛන්‌ති, ඣායිනො මාරබන්‌ධනා”
-ධම්මපද.මහාවග්‌ග-

බුදුරජාණන් වහන්සේලා මාර්ගෝපදේශකයන්ය. නුඹලා විසින් අමාරුවෙන් ප්‍රවේසමෙන් කටයුතු කළ යුතුය. කල්පනාවෙන් නිවැරදි ප්‍රතිපත්තිය අනුගමනය කරන අය මරණ බන්ධනයෙන් නිදහස්වේ!

“වය-ධම්‌මා සඞ්‌ඛාරා, අප්‌පමාදෙන සම්‌පාදෙථ”
        
කරන-කියන-හිතන සියල්ල ගෙවී- වැයවී- ඉවරවී යයි. ලෝකයේ වල්මත් නොවී, කුසල් සම්පාදනය කරන්න!
බුදුරජාණන් වහන්සේ දේසනා කල සුභාෂිත ධර්මයෙන්, ප්‍රායෝගිකව ලෝකයේ සිදු වෙන සියල්ල පැහැදිලි වේ. ඤාණවන්තයන් විසින්, තමන් තුලින් විනිවිද දැකිය යුතු මේ ධර්මයෙන් සත්වයා සුගතියට පමුණුවනු ලැබේ.!
         
“ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, ඒහි පස්සිකෝ”

බුදුරජාණන් වහන්සේගේ ධර්මය සුභාෂිතයි,
පැමිණ බලන්න!

⫷⫷⫷⫷⫷⫷⫷⫸⫸⫸⫸⫸⫸⫸

No comments:

Post a Comment