3. කර්මය.
(1) (කම්‌මස්‌සකා මාණව
සත්‌තා, කම්‌ම දායාදා, කම්‌මයොනි, කම්‌ම බන්‌ධූ, කම්‌ම පටිසරණා, කම්‌මං සත්‌තෙ
විභජති යදිදං හීන පණීතතාය...)
-ම.නි.උපරිපණ්ණාසක.චූළකම්‌මවිභඞ්‌ගසුත්‌තං-
-ම.නි.උපරිපණ්ණාසක.චූළකම්‌මවිභඞ්‌ගසුත්‌තං-
සත්වයා, තමන් විසින් කරන-කියන-හිතන හොඳ
හෝ නරක කර්ම වලට ප්‍රායෝගිකව වග කියන කර්ම කරකයාය. කරන-කියන-හිතන හොඳ-නරක කර්ම
වලින් සත්වයා නිර්මාණය වෙන අතර, ඒ කරන- කියන- හිතන කර්ම වලින්ම සත්වයන්ගේ උසස්-පහත්
භේදය ඇතිවේ. ලෝකයේ ජීවත් වෙන සියලු සත්වයන් නිරතුරුවම හොඳ හෝ නරක කර්ම කිරීමට, කර්ම
බන්ධනයෙන් බැඳී ඇත. කරන-කියන-හිතන ක්‍රියාකාරීත්වය ස්ථිරව නතර වෙන තත්වය නිවීමයි.
සත්වලෝකයේ පැවැත්ම තුල සියල්ල සිදු වෙන්නේ
කරන- කියන- හිතන කර්ම වලින්ය. ප්‍රායෝගිකව තමන් කරන- කියන- හිතන ක්‍රියාකාරීත්වයෙන්
තොරව සත්ව-ලෝකයේ කිසිම අත්දැකීමක් නොලැබෙන නිසා තමන්ට වෙන හොඳ-නරක, සැප-දුක්
සිදුවෙන්නේ, තමන්ම කරන-කියන-හිතන ක්‍රියා කාරීත්වය
තුලින්ය. එය කර්මවාදී-ක්‍රියාවාදී න්‍යායයි. මෙම ප්‍රායෝගික සත්‍යය අනුව ලෝකයට නියම
සාමය-සැනසීම උදා වෙන්නේ, මිනිසා විසින් කරන-කියන-හිතන දේවල්
නිවැරදි අතට වෙනස් කරන ආර්ය විනයෙන් පමණි.
(සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං එතං බුද්ධානං සාසනං)
-ධම්මපද.බුද්‌ධවග්‌ග-
-ධම්මපද.බුද්‌ධවග්‌ග-
කරන- කියන- හිතන සියලු වැරදි පාප කර්ම
නොකරන විට, සිත පිරිසිදුවී, නිවණ අවබෝධ වන බව, බුදුරජාණන් වහන්සේ විසින්
අත්දැකීමෙන් සොයාගෙන ලෝකයට නිවේදනය කරන ලදි.
(2) (කාමධාතුවෙපක්‌කඤ්‌ච
ආනන්‌ද, කම්‌මං නාභවිස්‌ස, අපි නු
ඛො කාම භවො පඤ්‌ඤායෙථ? නොහෙතං භන්‌තෙ. ඉතිඛො ආනන්‌ද,
කම්‌මං ඛෙත්‌තං, විඤ්‌ඤාණං බීජං,
තණ්‌හා ස්‌නෙහො. අවිජ්‌ජා නීවරණානං සත්‌තානං තණ්‌හා සංයොජනානං හීනාය ධාතුයා චෙතනා පතිට්‌ඨිතා, පත්‌ථනා පතිට්‌ඨිතා-විඤ්‌ඤාණං පති ට්‌ඨිතං එවං
ආයතිං පුනබ්‌භවාභිනිබ්‌බත්‌තිහොති)
-අ.නි.තික.භවසුත්‌තං-
-අ.නි.තික.භවසුත්‌තං-
කාම ලෝකයේ උපදින සත්වයන්ට, මැරෙන තුරු
කරන්නට-කියන්නට-හිතන්නට කර්ම කිසිවක් නොතිබුණා නම්, කාම භවයක්
පෙන්විය නොහැක. එනම්, සත්වයාගේ පැවැත්මට ක්ෂේත්‍රය වන්නේ
කරන- කියන- හිතන ක්‍රියාකාරීත්වයයි. ලෝකය තුල එක එක දේවල් කරමින්-කියමින්-සිතමින්
සිටීමට අරමුණු ලබාදී, මෙහෙය වන්නේ සිත හෙවත් විඤ්‌ඤාණයයි. සිතට එන එන දේවල්
කිරීමට, උනන්දු කර පොළඹවන්නේ තණහාවයි. තණ්‌හාව ඇති වෙන්නේ, මේ පැවැත්ම තනිකර දුකක්
බව නොතේරෙන නිසා හෙවත් අවිද්‍යාව නිසයි. අවිද්‍යාවෙන් අන්ධවී, තණ්හාවෙන් තැති ගෙන උනන්දුවී, ලෝකයට බැඳෙන සිතවිලි-චේතනා-ප්‍රාර්ථනා
මගින් කරන- කියන- හිතන දේවල් නොකඩවා පවත්වා ගෙනයාම භවයයි.
සියල්ල කර්මයෙන් සිදුනොවේ, යන කියමනේ, කර්මය යන වචනය යොදා තිබෙන්නේ,
පෙර ආත්මවල කළ කර්ම වලටය. සියල්ල පෙර-කර්ම වලින් සිදුවෙනවා නම්,
දැන් කරන-කියන-හිතන කටයුතු වල ක්ෂණික ප්‍රතිඵල ලැබීමක් විය
නොහැක. මෙහිදී, කායකම්ම- වචීකම්ම- මනොකම්ම යනු, කරන- කියන- හිතන සියලු ක්‍රියාවන්ය.
උතු නියාම- බීජනියාම- කම්‌මනියාම- ධම්‌මනියාම-
චිත්‌තනියාම යන නියාමධර්ම වලින්, කම්‌ම නියාමය නොතිබුණා නම්,
සත්වලෝකය පැවතීමට ක්ෂේත්‍රයක් නැතිවේ. ඒනිසා, සත්වයා යනු තනිකරම කර්මයක් බව
හා ක්‍රියාකාරකම් සමූහයක එකතුවක් බව පැහැදිලිව තේරුම්ගත යුතුය.
(3) (...චක්‌ඛු
භික්‌ඛවෙ, පුරාණ-කම්‌මං අභිසඞ්‌ඛතං
අභිසඤ්චෙත යිතං වෙදනියං දට්‌ඨබ්‌බං, සොතං... ඝානං... ජිව්‌හා... කායො... මනො...
ඉදං වුච්‌චති භික්‌ඛවෙ, පුරාණකම්‌මං. කතමඤ්‌ච භික්‌ඛවෙ, නව කම්‌මං? යං ඛො භික්‌ඛවෙ,
එතරහි කම්‌මං කරොති කායෙන වාචාය මනසා, ඉදං
වුච්‌චති භික්‌ඛවෙ, නව-කම්‌මං. කතමොච භික්‌ඛවෙ, කම්‌ම නිරොධො? යො ඛො භික්‌ඛවෙ, කාය කම්‌ම වචීකම්‌ම මනො කම්‌මස්‌ස
නිරොධා විමුත්‌තිං ඵුසති, අයං වුච්‌චති භික්‌ඛවෙ, කම්‌ම නිරොධො. කතමාච භික්‌ඛවෙ, කම්‌ම නිරොධගාමිනී පටිපදා? අයමෙව අරියො
අට්‌ඨඞ්‌ගිකො මග්‌ගො...)
-සං.නි.සලායතනවග්ග.කම්‌මනිරොධසුත්‌තං-
-සං.නි.සලායතනවග්ග.කම්‌මනිරොධසුත්‌තං-
ඇස්-කන්-නාස-දිව-කය-මනස යන සංවේදී
ආයතන වලින් හැදුන සත්වයා, පුරාණ-කර්මයක ප්‍රතිඵල අත්විඳින තාවකාලික නිර්මාණයක්
බව තේරුම් ගත යුතුය. එසේ හැදෙන සත්වයා විසින් දැන් කරන-කියන-හිතන දේවල්, නව-කර්ම වේ. කරන-කියන-හිතන සියලු ක්‍රියාකාරකම්
නවතින තත්වයට පත්වීමෙන් ලැබෙන විමුක්තිය ස්පර්ශ කිරීම හෙවත් කර්ම-නිරෝධය
නිවීමයි. කර්ම-නිරෝධය වෙන ක්‍රමය ආර්යෂ්ඨාංගික මාර්ගයයි.
(සන්‌ති භික්‌ඛවෙ, සත්‌තා නානත්‌තකායා නානත්‌ත සඤ්‌ඤිනො, සෙය්‍යථාපි මනුස්‌සා...) -දී.නි.මහාවග්ග.මහාපදානසුත්‌තං-
සත්වයන් එකිනෙකාට වෙනස්ව උපදින්නේ,
ඔවුන්ගේ උපතට හේතුවන පෙර කර්ම වල වෙනස නිසාය. එකම ක්‍රියාව වුනත් දෙන්නෙක් කරන්නේ
දෙවිදිහකටය. ඒ නිසා නානප්‍රකාර දේවල් නානප්‍රකාර විදිහට, කරන- කියන- හිතන සත්වයන්,
එක වගේ නැවත උපදින්නේ නැත. නානප්‍රකාර කර්ම වලින් නානප්‍රකාර මිනිසුන් උපදී. පෙර කර්ම
වලට දැන් කල හැක්කේ, මුහුණදීම පමණි. දැන් කරන-කියන-හිතන නව කර්ම වලින් වර්තමානය හා
අනාගතය නිර්මාණය වේ. දැන් කරන- කියන- හිතන දේවල් සියල්ල යහපත් අතට වෙනස් කිරීම
නිවණයි.
(4) (...රාගක්‌ඛයො දොසක්‌ඛයො මොහක්‌ඛයො,
ඉදං වුච්‌චති අරහත්‌තං)
-සං.නි.සලායතනවග්ග.අරහත්‌ත/නිබ්‌බානපඤ්‌හාසුත්‌ත-
-සං.නි.සලායතනවග්ග.අරහත්‌ත/නිබ්‌බානපඤ්‌හාසුත්‌ත-
දැන් කරන-කියන-හිතන අකුසල කර්ම වලට
මුල්වෙන, රාග-ද්වේශ-මෝහ පමණක් සම්පූර්ණයෙන් ඉවර කිරීමෙන්, සියලු කර්ම ඉවරවී නිවීම
හෙවත් අරහත් භාවය සිද්ධවේ. සම්පූර්ණ යෙන්ම අකුසල් නොකර සිට, අරහත් භාවයට පත්වීමෙන්
පසුව, කුසල්-අකුසල් කර්ම දෙකම අහෝසිවේ. කුසලය පවතින්නේ අකුසලයට සාපේක්ෂව නිසා,
අකුසලය අවසන්වූ විට ප්‍රායෝගිකව කුසලයක් විද්‍යාමාන නොවේ.
අපිරිසිදු තැනක, අපිරිසිදු බව කරදරයක් නිසා, අපිරිසිදු දේවල් ඉවත් කර පිරිසිදු කිරීමෙන්, එතන
කලින් තිබුණ අපිරිසිදු බවට සාපේක්ෂව අමුතුවෙන් පිරිසිදු බවක් ලැබේ. ඉන්පසු,
එහි අපිරිසිදු බවක් නැති නිසා, නැවත අමුතුවෙන් ලැබෙන පිරිසිදු බවකුත්
නැත. එවිට අපිරිසිදු බව හා අපිරිසිදු බව යන දෙකම අතුරුදහන් වේ. ත්‍රස්තවාදී කරදර
නිසා, යුද්ධය මගින් ත්‍රස්තවාදය සම්පූර්ණ යෙන් ඉවර
කිරීමෙන් පසුව, දැන් ත්‍රස්තවාදය හා යුද්ධය යන දෙකම නැත. පෙර
නොවූ සාමය ඇත.
එමෙන්ම අකුසල්වල කරදරය නිසා, කුසලය මගින් අකුසලය සම්පූර්ණයෙන් ඉවර කළපසු, කුසල්-අකුසල්
දෙකම අහෝසිවී, පෙර නොවූ සැනසීම, නිවීම, විද්‍යමානවේ. ඉන්පසුව ලෝකයේ වෙනත්
කළයුත්තක් නැති බව හා නැවත ඉපදීමක් නැති බව පැහැදිලි වෙන අසාමාන්‍ය විමුක්ති-ඥානය
පහළවේ. ඒ නිසා සියලු අකුසල් වලින් වෙන්වී, කුසල් උපදවා ගැනීම දිගටම කිරීමට අවශ්‍ය
නැත. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් සිත පිරිසිදුවී සත්‍ය අවබෝධවූ විට, නැවත අපිරිසිදු
වීමක් හෝ වෙනත් කිසිම කරදරයක් ඇති නොවන නිසා ඉන්පසු වෙන කළ යුත්තක් නැත.
(5) (යෙපි තෙ
භික්‌ඛවෙ, අහෙසුං අතීතමද්‌ධානං අරහන්තො සම්‌මාසම්‌බුද්‌ධා,
තෙපි භගවන්‌තො කම්‌මවාදා චෙව අහෙසුං කිරියවාදාච, වීරියවාදාච.
යෙපි තෙ භික්‌ඛවෙ, භවිස්‌සන්‌ති අනාගතමද්‌ධානං අරහන්‌තො සම්‌මාසම්‌බුද්‌ධා,
තෙපි භගවන්‌තො කම්‌මවාදා චෙව භවිස්‌සන්‌ති කිරියවාදාච වීරිය වාදාච...)
-අ.නි.චතුක්කනිපාත.කෙසකම්‌බලසුත්‌තං-
-අ.නි.චතුක්කනිපාත.කෙසකම්‌බලසුත්‌තං-
අතීත-අනාගත-වර්තමාන සියලුම බුදුවරුන්
කර්මවාදී-ක්‍රියාවාදී න්‍යාය අනුව කර්මය, ක්‍රියාව හා
වීරිය ප්‍රකාශ කරති. එයට හේතුව, සත්වයන්ගේ පැවැත්ම හා
සැප-දුක් විඳීම සිදුවන්නේ, කරන-කියන-හිතන ක්‍රියාකාරීත්වය තුලින් වන නිසාය.
(යෙ තෙ භික්‌ඛවෙ අග්‌ගිකා ජටිලකා, තෙ
ආගතා උපසම්‌පාදෙත බ්‌බා. න තෙසං පරිවාසො දාතබ්‌බො. තං කිස්‌ස හෙතු? කම්‌ම වාදිනො එතෙ භික්‌ඛවෙ, කිරියවාදිනො)
-විනය.මහාවග්ග.අඤ්‌ඤතිත්‌ථියපුබ්‌බකථා-
ගිනිපූජා කරන, ජටිල තාපසවරු බුද්ධ සාසනයේ පැවිදිවන විට, වෙනත්
අන්‍යාගමිකයන්ට මෙන් පරිවාස කාලයක් නොදී, ඔවුන්ව පැවිදි කරන
ලෙස, බුදුරජාණන් වහන්සේ නියම කළේ, ගිනි පූජා කිරීම නිෂ්ඵල
වුනත්, එමගින් ඔවුන් කර්මවාදී-ක්‍රියාවාදී න්‍යාය
පිළිගන්නා නිසාය.
(6) (යඤ්‌ඤදෙව
භික්‌ඛවෙ භික්‌ඛු බහුලං අනුවිතක්‌කෙති අනු විචාරෙති, තථා
තථා නති හොති චෙතසො...)
-ම.නි.මූලපණ්ණාසක.ද්‌වෙධාවිතක්‌කසුත්‌තං-
බහුලව සිතින් විතර්ක කරන දේට හා
බහුලව සිතේ හැසිරෙන දේට, නිරායාසයෙන්ම සිත නැඹුරුවේ.
සිතට එන දේවල් කීමට හා කිරීමට පෙළඹීමත්, කරන-කියන-හිතන දෙවල් වලට පුරුදු වීමත්,
පුරුදු වුන ගති අත්හැරීමට නොහැකි වීමත්, යනාදිය ස්වභාවික කර්ම විපාක න්‍යායට අනුව
වෙන දේවල්ය. සිතීමේ හැකියාව සීමිතවූ තිරිසන් සතුන් වුනත්, විවිධ දේවල් කිරීමට
පුරුදු කළ හැක්කේ, මෙම න්‍යායට අනුවය. පුරුදු කරන කර්ම බලයෙන් අදාල සත්වයාගේ
පැවැත්ම වෙනස් කර, එම පුරුදු කළ කර්ම ස්වභාවයේ කෙනෙක් බවට
පරිවර්තනය කරයි. පුරුදු කරන ලද කර්ම බලයෙන් නැවත උපදින්නේද එසේමය.
නැවත ඉපදීම වෙන්නේ තමන්ම කරන-කියන-හිතන
චේතනා වලින්ය. යහතින් ජීවත් වෙන සත්වයාගේ ස්වභාවය තීරණය කරන කර්ම බලය මගින්,
මරණාසන්න දුර්වල සත්වයාගේ සිත ඊළඟට වෙනත් කයකට යැවීම සුලු දෙයකි. යම් කෙනෙක් ඉගෙන ගෙන
පුරුදු පුහුණු නොකළ දෙයක් වුනත්, තව කෙනෙක් කරන දිහා
බලාගෙන අනුකරණය කරන්නේ, ඒ කරන ක්‍රියාව ගැන චේතනාවක්
ඇතිවීම නිසාය. චේතනාවේම බලයෙන් ක්‍රියාව සිදු වන නිසා චේතනාවම කර්මය වේ. තමන්ගෙ
චේතනාවක් ඇති නොවූ දෙයක් කිරීමට නොහැකිය, තමන්ට
චේතනාවක් ඇති වුනොත්, කරන දේවල් වැළැක්විය නොහැකිය. කරන-කියන-හිතන ක්‍රියාවල, කර්මවල බලය හා බරපතලකම ඒ අනුව තේරුම්ගත
යුතුය. හොඳ හෝ නරක දේවල් ඉගෙනීම, පුරුදු පුහුණු වීම,
හුරුවීම නිසා ප්‍රායෝගිකව හොඳ හෝ නරක පුද්ගලයන් බවට පත් වන්නේ මේ
කර්ම විපාක න්‍යාය අනුවය.
(7) (කායෙවා භික්‌ඛවෙ
සති, කායසඤ්‌චෙතනාහෙතු, උප්‌පජ්‌ජති
අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. වාචායවා භික්‌ඛවෙ සති, වචීසඤ්‌චෙතනා
හෙතු, උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. මනෙවා භික්‌ඛවෙ
සති, මනො සඤ්‌චෙතනා හෙතු, උප්‌පජ්‌ජති
අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං, අවිජ්‌ජා පච්‌චයාච.) (සාමංවා තං භික්‌ඛවෙ කාය සඞ්‌ඛාරං අභිසඞ් ඛරොති, යංපච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. පරෙවාස්‌ස තං
භික්‌ඛවෙ කාය සඞ්‌ඛාරං අභිසඞ්‌ඛරොන්‌ති, යං පච්‌චයාස්‌ස
තං උප්‌පජ්‌ජති අජ්‌ඣ ත්‌තං සුඛදුක්‌ඛං. සම්‌පජානො වා තං භික්‌ඛවෙ කායසඞ්‌ඛාරං අභි
සඞ්‌ඛරොති, යංපච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං
සුඛදුක්‌ඛං. අසම්‌පජානොවා තං භික්‌ඛවෙ කායසඞ්‌ඛාරං අභිසඞ්‌ඛරොති, යං පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං)
-අ.නි.චතුක්කනිපාත.චෙතනාසුත්‌තං-
-අ.නි.චතුක්කනිපාත.චෙතනාසුත්‌තං-
සත්වයා කරන-කියන-හිතන දේවල් ක්‍රියාත්මක
කරන චේතනා වලින් සැප-දුක් විඳින්නේ, එම ක්‍රියාකාරීත්වය තනිකරම දුකක් බව නොපෙනීම
නිසා හෙවත්, අවිද්‍යාව නිසාය. තමන් නිසා හෝ අනුන් නිසා හෝ,
දැන හෝ නොදැන, එසේ කරන- කියන-හිතන දේවල්
වලින් සැපදුක් විඳින විට, එම ක්‍රියාකාරී චේතනා වලින්
අදාල සත්වයාගේ පැවත්ම හදන සංයුතිය වන සිත හා කය, දිගටම අලුතෙන් නිර්මාණය වේ.
ක්‍රියාකාරීත්වය තනිකරම දුකක් බව නොපෙනීම
නැමති අවිද්‍යාවෙන් අන්ධවූ විට, සත්වයෙක් ලෙස තාවකාලික සැප
විඳීමට තණ්හාව උපදී. ඒ තණ්හාවේ තල්ලුවෙන් තැතිගෙන, උනන්දුවී,
කරන-කියන-හිතන දේවල් වලින් සැපදුක් විඳීම සත්ව ලෝකයයි. දෙවියෙක් වුනත්, මනුස්සයෙක් වුනත්, තිරිසනෙක් වුනත් ලෝකයේ
සිද්ධ වෙන්නේ එපමණය. මෙම ක්‍රියාවලිය මගින් සෑම මොහොතකම අදාල සත්වයාගේ සිත හා
කය නොකඩවා ස්වයං නිර්මාණය කරනු ලැබේ. මිනිසුන් කරන- කියන-හිතන දේවල්
වරද්දාගෙන, පාප කර්ම කරන්නේ, ඒ
වැරදි වලින් තමන්ව නිර්මාණය වෙන බව ඔවුන්ට විද්‍යමාන නොවන නිසා හෙවත් අවිද්‍යාව
නිසාය. සැප විඳීමට කැමති සත්වයන්, අවිද්‍යාවෙන් වල්මත්වී කරන වැරදි පාප කර්ම නිසා නොදැනුවත්වම
තමන්ව ඊළඟට අපාගත සත්වයන් ලෙස නිර්මාණය කරනු ලැබේ.
(8) (...ඉතිඛො
භික්‌ඛවෙ, භූතා භූතස්‌ස උපපත්‌ති හොති. යං කරොති තෙන
උපපජ්‌ජති..)
-අ.නි.දසකනිපාත.සංසප්‌පනීයසුත්‌තං-
-අ.නි.දසකනිපාත.සංසප්‌පනීයසුත්‌තං-
තමන් කරන- කියන- හිතන දේවල් වල
ස්වභාවය සහිත සත්වයෙක් බවට පත්වී, නැවත උපත ලබයි. යමක්
කරනවාද, එයින් උපදී. ලෝභකම, ද්වේශය හා මෝහය යන පාප චේතනා ඇති වීමේ විපාකයෙන්, එම
පාප චේතනා බහුලව ප්‍රකට වෙන නිරය-තිරිසන්-ප්‍රේත යන දුගති අපාය වල ඉපදේ. පරිත්‍යාගය-මිත්‍ර
බව හා ප්‍රඥාව යන පුණ්‍ය චේතනා ඇතිවීමේ විපාකයෙන්, එම පුණ්‍ය චේතනා බහුලව ප්‍රකට
වෙන දිව්‍ය-මනුස්ස යන සුගති ස්වර්ග වල ඉපදේ. මනුස්ස සමාජයේ සුදුස්සාට සුදුසු තැන
නොලැබෙන අවස්ථා තිබිය හැකි වුවත්, ස්වභාව ධර්මයේ කර්ම නියාමයෙන් එවැනි අසාධාරණ
සිදු නොවේ. කර්ම නියාමය විනිශ්චය කරගන්නේ තමන් විසින්මය. තමන් කළ නොකළ දේවල් තමන්ට
රහසක් නොවන නිසා, අනුන්ට හොරෙන් යමක් කළත්, ඒවාට අදාල චේතනා වල විපාක වලින් තමන්ට
ගැලවීමක් නැත. තමන්ගේ සිතේ ඇති වෙන හොඳ-නරක චේතනා වලින් කරන- කියන- හිතන දේවල් වල
විපාක හෙවනැල්ල මෙන් ඇවිත් නියමිත වෙලාවට පලදීම සිදුවේ.
සිතේ උපදින චේතනාවෙන් ස්වයං-නිර්මාණය වෙන
සත්වයන්, සිතේ අපිරිසිදු සිතිවිලි ඇතිවීම වලක්වා සිත ආරක්ෂා නොකර, වෙන කිසිම ක්‍රමයකින් අපාගතවීම වැළැක්විය නොහැක. සත්ව ලෝකයේ “මම”
යනුවෙන් අදහස් වෙන්නේ, මම කරන- කියන- හිතන දේවල්ය! මගෙන් සිදු වෙන්නේ, මම කරන- කියන- හිතන දේවල් වලින්, මාවම
නිර්මාණය කරගැනීමයි!
(අත්‌තනා හි කතං පාපං, අත්‌තනා සංකිලිස්‌සති
අත්‌තනා අකතං පාපං, අත්‌තනාව විසුජ්‌ඣති
සුද්‌ධීඅසුද්‌ධි පච්‌චත්‌තං, නාඤ්‌ඤො අඤ්‌ඤං විසොධයෙ)
-ධම්මපද.අත්‌තවග්‌ග-
තමන් කරන පාපයෙන් කරදර වෙන්නේ
තමන්ටමයි. තමන් නොකල පාපයෙන් පිරිසිදු වෙන්නේ තමන්වමයි. පින්පව් වලින්
පිරිසිදු-අපිරිසිදු වෙන්නේ තමන්වමයි. අන්‍යෝන්‍ය වශයෙන් පිරිසිදු කිරීමක් සිදු
නොවේ.
(න පරෙසං විලොමානි, න පරෙසං කතාකතං
අත්‌තනොව අවෙක්‌ඛෙය්‍ය, කතානි අකතානිච)
-ධම්මපද.පුප්‌ඵවග්‌ග-
-ධම්මපද.පුප්‌ඵවග්‌ග-
අනුන්ගෙ හැටි සහ අනුන් කළ-නොකල දේ
නොබලන්න! තමන්ගෙ හැටි සහ තමන් කළ-නොකළ දේවල් බලා ගන්න!
(සුකරානි අසාධූනි, අත්‌තනො අහිතානි ච
(සුකරානි අසාධූනි, අත්‌තනො අහිතානි ච
යං වෙ හිතඤ්‌ච සාධුඤ්‌ච, තං වෙ පරමදුක්‌කරං)
-ධම්මපද.අත්තවග්ග-
-ධම්මපද.අත්තවග්‌ග-
තමන්ට නරකක් වෙන, අහිතකර දේවල් කිරීම
පහසුය. හොඳක් සිදුවෙන, හිතකර දේවල් කිරීම අන්තිම දුෂ්කරය.
(9) (න අන්‌තලික්‌ඛෙ
න සමුද්‌දමජ්‌ඣෙ,
න පබ්‌බතානං විවරං පවිස්‌ස
න විජ්‌ජතී සො ජගතිප්‌පදෙසො,
යත්‌ථඨිතො මුච්‌චෙය්‍ය පාපකම්‌මා) -ධම්මපද.පාපවග්‌ග-
අහසේ හෝ මුහුද මැද හෝ කන්දක් උඩට
ගිහින්
ගැලවී සිටීමට තැනක් නැත පාපයේ
විපාකයෙන්.!
(නාහං භික්‌ඛවෙ, සඤ්‌චෙතනිකානං කම්‌මානං කතානං උපචිතානං අප්‌පටිසංවෙදිත්‌වා බ්‍යන්‌තීභාවං
වදාමි. තඤ්‌ච ඛො දිට්‌ඨෙව ධම්‌මෙ, උපපජ්‌ජෙ වා, අපරෙ වා පරියායෙ...)
-අ.නි.දසකනිපාත.පඨමසඤ්‌චෙතනිකසුත්‌තං-
චේතනාවෙන් කරන ලද කර්ම වලට විපාක
අත්විඳීමෙන් තොරව, ගෙවී යාමක් සිදු නොවේ. ඒවායේ විපාක, මෙලොවදී හෝ මීළඟ උපතේදී හෝ
ඉන් පසුව හෝ ලැබීමට නියමිතය. සත්වයන් ලෙස පැවැත්ම ගෙනයන තුරු කරන-කියන-හිතන ලද
දේවල් වලට අදාල විපාක විඳීමට සිදුවේ. ලෝභකම-දුෂ්ඨකම-මෝඩකම සහිත පාප චේතනා සිතේ
උපදිනකොටම, ඒවා සිතට දරා ගැනීමට අමාරු වෙන බව පැහැදිලිය. එම අකුසල චේතනා වලින්
පරලොවට හොඳක් නොවන බව ප්‍රඥාවෙන් තේරුම්ගත යුතුය. එසේම, ලෝභ
නොවීම- දුෂ්ඨ නොවීම-මුළානොවීම සහිත පුණ්‍ය චේතනා සිතේ උපදිනකොටම ඒවා සිතට
දරාගැනීමට අමාරු නොවන බව පැහැදිලිය. එවැනි කුසල චේතනා වලින් පරලොවට නරකක් නොවන බව
ප්‍රඥාවෙන් තේරුම්ගත යුතුය. කුසලය හා අකුසලය යනු සැප හා දුක ලෙස පහැදිලිව තේරුම්ගත
යුතුයි.
මෙලොව-පරලොව හා ස්වර්ගය-අපාය තුල
සැප-දුක් විඳින්නට වෙන්නේ තනියමය. තමන්ගේ දුක් වේදනා, වෙන අයට බෙදා දීමට නොහැක.
ඒනිසා ලෝකයේ පවතින ප්‍රායෝගික සත්‍ය තේරුම් ගෙන, පුද්ගලික යහපත සලසා ගැනීම තම තමන්ගේ
පුද්ගලික වගකීමකි. තමන් කරන-කියන-හිතන දේවල් පිරිසිදු කිරීමෙන් තමන්ගේ දුක් කරදර
ඉවරවී, තමන්ව පිරිසිදුවේ. සියලු පාපකර්ම නොකර පිරිසිදු තත්වයට පත්වන සත්වයාට මෙලොව
පරලොව ගැන බය වීමට හේතුවක් නැත. මිනිසා විශුද්ධියට පත් කර, මෙලොවදීම දේවත්වය ලබා දෙන
එකම ක්‍රමය එයයි. එමගින් දේවත්වයත් පසුකර ගොස් නැවත නූපදින අචල ස්ථාවරයට පත්වී,
සියලු දුක් ඉවර කළ හැකිය. එය ලෝකයට යහපත සිදුවෙන විද්‍යානුකූල හා විනයානුකූල
සුගතිගාමී ධර්ම මාර්ගය බව, විචාර-බුද්ධියක් තිබෙන මිනිසුන්ට පැහැදිලිවේ.
තමන්ගේ බුද්ධියෙන් කරන-කියන-හිතන
දේවල් වලින් ජීවත්වන මිනිසුන්ගේ පරලොව නිර්මාණය වෙන්නේද තමන් අතින්මය.
මිනිසුන්ගෙන් කෙරෙන හා මිනිසුන්ට වෙන හොඳ-නරක අනුව, ප්‍රායෝගිකව
ක්‍රියාත්මක වන සදාචාරාත්මක නීති, ආචාර ධර්ම යනාදිය ලෝකයේ
නිවැරදිව පවත්වා ගැනීමට හැක්කේ, තමන් කරන- කියන- හිතන දේවල්
වල වගකීම තමන්ටම ස්වභාවිකව හිමිවෙන කර්ම-විපාක න්‍යායට අනුවය. එම නිසා කර්ම-විපාක න්‍යායෙන්
බැහැරව සාමකාමී සාධාරණ ශිෂ්ඨ සමාජයක් ප්‍රායෝගිකව පවත්වා ගැනීමට නොහැකිය.
(10) තමන් කරන- කියන- හිතන දේවල්
වලින් ප්‍රායෝගිකව පවතින පුද්ගලයා, එම සත්‍යය නොදැකීම නිසා මුළාවට පත්වී අතරමං වේ.
තමන්ව මුළා කරවන තරම් ළාමක අමන චේතනා වලට සහ ඒ මුළාව නිසාම හොඳ-නරක නොදැන, කරන- කියන-
හිතන අනෙකුත් කෙළවරක් නැති පාපකර්ම වලට නිරයෙන් මෙහා උපතක් ලැබුනොත් ඒ තිරිසන්
ලෝකයේය.
(මිච්‌ඡාදිට්‌ඨිකස්‌ස භික්‌ඛවෙ,
ද්‌වින්‌නං ගතීනං අඤ්‌ඤතරා ගති පාටිකඞ්‌ඛා, නිරයොවා තිරච්‌ඡානයොනිවා)
-අ.නි.දුකනිපාත.බාලවග්‌ග-
-අ.නි.දුකනිපාත.බාලවග්‌ග-
මිත්‍යාදෘෂ්ඨික පුද්ගලයා, නිරය හෝ තිරිසන් අපාය යන ගති දෙකෙන් එකක් බලාපොරොත්තු විය යුතුය.
(දිසො දිසං යං තං කයිරා, වෙරීවා පන වෙරිනං
මිච්‌ඡාපණිහිතං චිත්‌තං, පාපියො නං තතො කරෙ)
-ධ.ප.චිත්‌තවග්‌ග-
-ධ.ප.චිත්‌තවග්‌ග-
තමන්ට වෛර කරන සතුරෙකුගෙන් සිදුවෙන
හානියට වඩා නරකක්, තමන්ගේ සිත වැරදි තැන තබාගෙන ලෝකය දෙස
බැලීම නිසා සිදුවේ.
තමන් කරන- කියන- හිතන දේවල් වලින් ප්‍රායෝගිකව
පවතින පුද්ගලයා, එම සත්‍යය දැකීම නිසා මුළාවට පත් නොවී නිවැරදි ප්‍රතිපත්ති මාර්ගයට
ඇතුල්වේ. තමන්වම නිවැරදි මග යවන ඤාණවන්ත චේතනා වලට සහ ඒ ප්‍රඥාව නිසාම කරන-කියන-හිතන
අනෙකුත් කෙළවරක් නැති කුසල කර්ම වලට, දිව්‍ය ලෝකෙන් මෙහා
උපතක් ලැබුනොත් ඒ මනුස්ස ලෝකයේය.
(සම්‌මාදිට්‌ඨිකස්‌ස භික්‌ඛවෙ,
ද්‌වින්‌නං ගතීනං අඤ්‌ඤතරා ගති පාටිකඞ්‌ඛා දෙවාවා මනුස්‌සාවා)
-අ.නි.දුකනිපාත.බාලවග්‌ග-
-අ.නි.දුකනිපාත.බාලවග්‌ග-
සම්මාදෘෂ්ඨික පුද්ගලයා, දිව්‍ය හෝ මනුස්ස යන ගති දෙකෙන් එකක් බලාපොරොත්තු විය යුතුය.
(න තං මාතා පිතා කයිරා, අඤ්‌ඤෙවාපි ච ඤාතකා
සම්‌මාපණිහිතංචිත්‌තං, සෙය්‍යසො නං තතො කරෙ)
-ධ.ප.චිත්‌තවග්‌ග-
-ධ.ප.චිත්‌තවග්‌ග-
තමන්ගේ මවුපියන්ගෙන් හෝ අනෙක් ඤාතීන්ගෙන්
කෙරෙනවාට වඩා යහපතක්, තමන්ගේ සිත නිවැරදිව තබා ගැනීමෙන් කළ හැකිය.
(11) මිනිසාට ප්‍රායෝගිකව සාමය- සැනසීම-
ස්වර්ගය ලැබෙන්නේ, මිනිසාගේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තුලින්ය. සත්වයන්ගේ
උසස්-පහත් භේදය ඇති වෙන්නේද, ප්‍රායෝගිකව කරන-කියන-හිතන දේවල් වල උසස්-පහත් බව අනුවය.
මෙම ප්‍රායෝගික කර්ම-විපාක න්‍යායට තේරුම් ගෙන කටයුතු කරන විට, තමන්ට හා අනුන්ට අහිතකර වෙන පාප කර්ම සිදු නොවේ. ඒනිසා මෙලොව-පරලොව,
උභයාර්ථ-සුබසිද්ධිය සලසන එකම නිවැරදි ධර්මය බුදුරජාණන් වහන්සේ දේසනා කළ ධර්මයයි.
කර්ම-විපාක සහ කුසල-අකුසල ධර්ම පිළිබඳ
මෙම න්‍යාය ධර්ම, බුදුරජාණන් වහන්සේ හැර ලෝකයේ වෙන කිසිම
දෙවියෙකුට වත් මනුස්සයෙකුටවත් නිවැරදිව සොයාගෙන පෙන්වා දීමට විෂය නොවේ. බුද්ධ සාසනයෙන්
බැහැර ලෝකයා, ප්‍රායෝගික ව තමන්ම කරන- කියන- හිතන දේවල් සිදුවෙන ආකාරය සහ ඒවායේ
හොඳ-නරක ප්‍රතිවිපාක නිවැරදිව නොදන්නා නිසා, ඔවුන්ට ලේසියෙන්
කළහැකි වන, සතුන් මරාගෙන කෑම වැනි පාපකර්ම නොකර, අමාරු
කුසල් කිරීමට කිසිම හේතුවක් නැත. මිත්‍යා-දෘෂ්ඨික මිනිසුන් අතර ඒ බව පැහැදිලිව
පෙනෙන්නට තිබේ. ඔවුන් තනිකරම අපායගාමීන් වෙන්නේ ඒ නිසාය. ලෝකයේ උපදින තිරිසන් සතුන්
හා මිනිසුන් අතර අනුපාතය බැලීමෙන්, එම සත්‍ය තත්වය පැහැදිලිවේ.
සමස්ත ලෝකයේ බහුතරය ධර්මය නොදැන, කරන-කියන-හිතන
පාපකර්ම හේතු වෙන් අපාගත වෙන නිසා, ලෝකයේ උපදින තිරිසන් කූඹි ගණනටවත් මිනිසුන්
උපදින්නේ නැත. කර්ම-විපාක න්‍යායෙන් බැහැර ලෝකය, තනිකරම
අපාගත වෙන අන්ධකාර මිත්‍යාවකි. ඒ බව හොඳින් තේරුම්ගෙන, ජීවිතය
නොතකා ධර්මය පිළිපැදීම අපායෙන් ගැලවෙන එකම ක්‍රමයයි.
(අප්‌පකා තෙ සත්‌තා යෙ මනුස්‌සා චුතා
මනුස්‌සෙසු පච්‌චා ජායන්‌ති, අථඛො එතෙව සත්‌තා බහුතරා යෙ
මනුස්‌සා චුතා නිරයෙ පච්‌චාජායන්‌ති... තිරච්‌ඡානයොනියා පච්‌චාජායන්‌ති... පෙත්‌තිවිසයෙ
පච්‌චාජායන්‌ති)
-සං.නි.මහාවග්ග.මනුස්‌සචුතිනිරයසුත්‌තං-
-සං.නි.මහාවග්ග.මනුස්‌සචුතිනිරයසුත්‌තං-
ලෝකයෙන් චුතවෙන මිනිසුන්ගෙන් නැවත
මනුස්ස ලෝකයේවත් උපදින්නේ, පොළවෙන් නිය පිටට ගත හැකි පස් ප්‍රමාණය
තරම්වූ ඉතා සුලු ගණනකි. මහපොළවේ පස් ප්‍රමාණය තරම්වූ අති බහුතරය නිරය-තිරිසන්-ප්‍රේත
යනාදී අපාගතවේ.
(12) (...සුඛකාමාහි
දෙවා මනුස්‌සා අසුරා නාගා ගන්‌ධබ්‌බා යෙ ච අඤ්‌ඤෙ සන්‌ති පුථුකායා...)
-දී.නි.මහාවග්ග.සක්‌කපඤ්‌හසුත්‌තං-
-දී.නි.මහාවග්ග.සක්‌කපඤ්‌හසුත්‌තං-
සිතක හා කයක ක්‍රියාකාරිත්වයක් වන
දෙවියන්, මිනිසුන්, අසුර-නාග-ගන්ධබ්බ
ආදී සියලු සත්වයන් සැපයට කැමතිය. ඔවුන්ගේ ප්‍රාර්ථනාව සාමකාමී, වෛර නොකරන, සතුරුකම් නොකරන, පළිගැනීම් නොකරන, කරදර නැති, යහපත් සමාජයක ජීවත්වී, පරලොව සුගතිකට යාමයි.
නමුත්, ඔවුන් අතර අසමගිය, වෛරය, සතුරුකම්,
පළිගැනීම්, දුෂණය, භීෂණය ආදී කරදර පාප කර්ම වැඩිවේ. මෙලොව තත්වය
එසේ නරක් වූවිට, පරලොව ගතිය නරක්වීම වැළැක්විය නොහැක. එයට
හේතුව, යහපත් ප්‍රාර්ථනා ඉටුවෙන, සුගතිගාමී විද්‍යාත්මක කර්ම-විපාක න්‍යාය ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගය පැහැදිලිව
නොපෙනීම, විද්‍යාමාන නොවීම හෙවත් අවිද්‍යාවයි. වතුරට දැමූ ගලක්, වතුර මතුපිට පාවෙන්න කියා කොතරම් ප්‍රාර්ථනා කළත්, එය සිදු නොවේ. නමුත්, වතුරට දැමූ තෙල් ටිකක්,
වතුර මතුපිට පාවෙන්න කියා ප්‍රාර්ථනා නොකළත්, එය එසේම සිදුවේ. එමෙන්ම සැනසීම, සුගතිය කොතරම්
ප්‍රාර්ථනා කළත්, වැරදි ප්‍රතිපත්තිය සහිත අය මෙලොවදී
අසහනයට පත්වී, පරලොව අපාගතවේ. ප්‍රාර්ථනා නොකළත්, නිවැරදි
ප්‍රතිපත්තිය සහිත අයට, මෙලොව සැනසීම හා පරලොව සුගතිය
ලැබේ.
(ගිහීවා භික්‌ඛවෙ පබ්‌බජිතොවා මිච්‌ඡා පටිපන්‌නො,
මිච්‌ඡාපටි පත්‌තාධිකරණහෙතු නාරාධකො හොති ඤායංධම්‌මං කුසලං... ගිහීවා
භික්‌ඛවෙ පබ්‌බජිතොවා සම්මාපටිපන්‌නො, සම්මාපටි පත්‌තාධිකරණහෙතු
ආරාධකො හොති ඤායං ධම්‌මං කුසලං)
-අ.නි.චතුක්කනිපාත.සමචිත්‌තවග්ග-
ගිහියෙකුටවත්, පැවිද්දෙකුටවත්, වැරදි ප්‍රතිපත්තියෙන් කුසල ධර්ම
න්‍යායට ඇතුල්විය නොහැක. කුසල ධර්ම න්‍යායට ඇතුල් නොවී, කිසිම සුගතියකට ඇතුල්විය
නොහැක. ගිහියෙක් වුනත්, පැවිද්දෙක් වුනත්, නිවැරදි ප්‍රතිපත්තියෙන් කුසලධර්ම න්‍යායට ඇතුල් විය හැක. කුසල ධර්ම න්‍යායට
ඇතුල්වී, මනුස්ස-දිව්‍ය-නිවණ් යන ඕනෑම සුගතියකට ඇතුල්විය හැක. වැරදි ප්‍රතිපත්ති
ගෙනියන ගිහි-පැවිදි කවුරුවත්, බුද්‌ධසාසනය කරන අය නොවේ.
නිවැරදි ප්‍රතිපත්ති ගෙනියන ගිහි-පැවිදි කවුරුත්, බුද්‌ධ සාසනය
කරන අයයි. බුද්‌ධ සාසනයේ ගිහි-පැවිදි ප්‍රතිපත්ති දෙකෙන්ම කෙරෙන්නේ, කුසල ධර්ම න්‍යායට අනුව කටයුතු කිරීමයි. නිවැරදි ප්‍රතිපත්තිය ගෙනියන
ගිහි-පැවිදි කවුරුත්, මෙලොවදී මානසික සහනය හා පරලොව
සුගතිය බලාපොරොත්තු වියයුතුය. නිවැරදි ප්‍රතිපත්තියෙන් පිට යන ගිහි-පැවිදි කවුරුත්,
මෙලොවදී මානසික අසහනය හා පරලොව අපාගතවීම බලාපොරොත්තු විය යුතුය.
ඒබව, අංගුලිමාල සහ දේවදත්ත ගැන නිවැරදිව කල්පනා කිරීමෙන්
පැහැදිලිව තේරුම්ගත හැකිය.
(13) (අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා)
-මඞ්‌ගලසුත්‌තං-
-මඞ්‌ගලසුත්‌තං-
දෙවියන්ට හා මිනිසුන්ට සුබ සිද්ධිය
සලසන මංගල-කරුණු ලෙස, බුදුරජාණන් වහන්සේ මුලින්ම දේසනා කළේ, බාලයන් ඇසුරු නොකර, නිවැරදි පණ්ඩිතයන් ආශ්‍රය කිරීමයි.
(කම්‌ම ලක්‌ඛණො බාලො, කම්‌ම ලක්‌ඛණො පණ්‌ඩිතො)
-අ.නි.තිකනිපාත.ලක්‌ඛණසුත්‌තං-
පුද්ගලයෙකුගේ බාල-පණ්ඩිත බව තීරණය කරන
ලක්ෂණ වන්නේද, අදාල පුද්ගලයා කරන- කියන- හිතන දේවල්ය.
බාලයා විසින් කරන-කියන-හිතන දේවල්, තමන්ටත් අනුන්ටත්
අහිතකර වෙන අතර, නියම පණ්ඩිතයෙක් විසින් කරන- කියන- හිතන
දේවල්, කාටවත් අහිතකර නොවේ.
(....ඉති ඛො භික්‌ඛවෙ, සප්‌පටිභයො බාලො, අප්‌පටිභයො පණ්‌ඩිතො සඋපද්‌දවො
බාලො, අනුපද්‌දවො පණ්‌ඩිතො. සඋපසග්‌ගො බාලො, අනුපසග්‌ගො පණ්‌ඩිතො. නත්‌ථි භික්‌ඛ වෙ, පණ්‌ඩිතතො
භයං, නත්‌ථි පණ්‌ඩිතතො උපද්‌දවො, නත්‌ථි පණ්‌ඩිතතො උපසග්‌ගො...)
-අ.නි.තිකනිපාත.භයසුත්‌තං-
-අ.නි.තිකනිපාත.භයසුත්‌තං-
කොතනක හෝ යම් කිසි හිරිහැරයක්, උපද්‍රවයක්,
භයක් ඇති වෙනවා නම්, ඇති වෙන්නේ බාලයාගෙන්ය. නියම පණ්ඩිතයාගෙන් කාටවත් හිරිහැර-
උපද්‍රව- භය ඇති නොවේ. මෙලොව හා පරලොව යහපත ගැන තේරුම් ගෙන, අයහපත් දේවල් මගහැර, යහපත් දේවල් කිරීම, වෛර
නොකිරීම, ආපදා ඉවසා දරාගැනීම, නිර්භයතාවය
යනාදිය නියම පණ්ඩිත ලක්ෂණ වේ.
මුලදී පණ්ඩිතයෙක් හැටියට ප්‍රසිද්ධවූ
දේවදත්‌ත, පසුව බාල යෙක් බවට පත්වී, ඔහුට සත්කාර කළ අනෙක් අයවත් අපායට ඇදගෙන ගියේය. මුලදී බාලයෙක් හැටිය ප්‍රසිද්ධවූ
අංගුලිමාල, පසුව පණ්ඩිත බවට පත්වී, ඔහුට සත්කාර කළ අනෙක් අයත් සමග සුගතියට ගියේය. බාලයන් ආශ්‍රය කිරීමෙන්,
තමන් බාලයෙක් බවට පත්වී, අපාගත වෙන අතර,
නියම පණ්ඩිතයන් ආශ්‍රයෙන්, තමන් පණ්ඩිත
බවට පත්වී, සුගතියකට යාම සිදු වේ.
බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රයෙන්,
අංගුලිමාල සුගති නිවණට පැමිණි අතර, දේවදත්තගේ
ආශ්‍රයෙන්, අජාසත්ත රජතුමා දුගති නිරයට ගියේය. ඒ නිසා,
නානප්‍රකාර කර්ම වලින් මේ ලෝකයේ උපදින, නානප්‍රකාර පුද්ගලයන් ඇසුරු කිරීමේදී ප්‍රවේසම්
නොවුනොත්, අජාසත්ත රජුට මෙන් කල්ප ගණන් නිරයේ දුක් විඳින්නට සිදුවිය හැකිය.
(න හි පාපං කතං කම්‌මං, සජ්‌ජු ඛීරංව මුච්‌චති
ඩහන්‌තං බාලමන්‌වෙති, භස්‌මඡන්‌නොව පාවකො)
-ධ.ප.අත්තවග්ග-
-ධ.ප.අත්‌තවග්‌ග-
කරන ලද පාප කර්මවල සියලු විපාක
ක්ෂණිකව ලැබීමක් සිදු නොවේ. අළු යට සැඟවුන ගින්දර මෙන් යටපත්ව තිබෙන පාප කර්මවල
විපාක ගින්න බාලයාගේ පසුපසින් පැමිණේ!
(මධුවා මඤ්‌ඤති බාලො, යාව පාපං න පච්‌චති
යදා ච පච්‌චති පාපං, බාලො දුක්‌ඛං නිගච්‌ඡති.)
-ධම්මපද.බාලවග්‌ග-
-ධම්මපද.බාලවග්‌ග-
කරන ලද පාප කර්ම වලට විපාක ලැබෙන
තුරු, බාලයා එය මිහිරි ආස්වාදයක් මෙන් සලකන අතර, පාප කර්ම වල විපාක ලැබෙන විට බලයා
දුකට පත්වේ!
(චරන්‌ති බාලා දුම්‌මෙධා, අමිත්‌තෙනෙව අත්‌තනා
කරොන්‌තා පාපකං කම්‌මං, යං හොති කටුකප්‌ඵලං.)
-ධ.ප.බාලවග්‌ග-
-ධ.ප.බාලවග්‌ග-
කටුක දුක් විපාක සහිත පාප කර්ම කරන
බලයා හැසිරෙන්නේ තමන්ගේම සතුරෙක් වගේය!
(යාවදෙව අනත්‌ථාය, ඤත්‌තං බාලස්‌ස ජායති
හන්‌ති බාලස්‌ස සුක්‌කංසං, මුද්‌ධමස්‌ස විපාතයං.)
-ධම්මපද.බාලවග්‌ග-
-ධම්මපද.බාලවග්‌ග-
බාලයාට ලැබෙන තරමක් දැනුම අනර්ථයටම
යොදා ගෙන, තමන්ගේ හොඳ පැත්ත විනාශ කරගෙන, බෙල්ල නැතිව යන තත්වයට පත්වේ!
(යො බාලො මඤ්‌ඤති බාල්‍යං, පණ්‌ඩිතොවාපි තෙන සො
බාලො ච පණ්‌ඩිතමානී, ස වෙ බාලොති වුච්‌චති.)
-ධම්මපද.බාලවග්‌ග-
-ධම්මපද.බාලවග්‌ග-
තමන්ගේ බාලකම තේරුම් ගත හැකි බලයා, ඒ
නිසා පණ්ඩිත යෙක් වේ. පණ්ඩිතයෙක් ලෙස රඟපෑමට ආසාවෙන් පෙළෙන, පණ්ඩිත මානය සහිත
බාලයාට, බාලයා යයි කියනු ලැබේ!
(නිධීනංව පවත්‌තාරං, යං පස්‌සෙ වජ්‌ජදස්‌සිනං
නිග්‌ගය්‌හවාදිං මෙධාවිං, තාදිසං පණ්‌ඩිතං භජෙ
තාදිසං භජමානස්‌ස, සෙය්‍යො හොති න පාපියො)
-ධ.ප.පණ්ඩිතවග්‌ග-
-ධ.ප.පණ්ඩිතවග්‌ග-
වැරදි පෙන්වාදීම, නිධානයක් පෙන්වීමට
සමානය. වරදට නිග්‍රහ කර, කියා දෙන බුද්ධිමත් පණ්ඩිත පුද්ගලයන් ඇසුරු කිරීමෙන්
හොඳක් මිස නරකක් සිදු නොවේ.෴
No comments:
Post a Comment