Friday, April 10, 2020

  "අලජ්ජිතායෙ ලජ්ජන්ති,  ලජ්ජිතායෙ න ලජ්ජරෙ, මිච්ඡාදිට්ඨි සමාදානා,  සත්තා ගච්ඡන්ති දුග්ගතිං" (ධම්මපදය, නිරය වග්ග) ලැජ්ජා නොවිය යුත්තට ලැජ්ජා වන, ලැජ්ජා විය යුත්තට ලැජ්ජා නොවන, මිත්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වන, සත්වයෝ යන්නෙ දුගතියටම, බෞද්ධ ඉතිහාසය අනුව දඹදිව ක්ෂත්‍රිය වංශයට සම්බන්ධ විජයගෙන් සිංහල බෞද්ධයා පැවතෙන බව පැහැදිලිය. සිංහල බෞද්ධ ජාතියට එරෙහි පවුකාර මිසදුටුවන් මෙම සිංහල බෞද්ධ සම්භවය වරදවා ප්‍රචාරය කර දහම නූගත් සමාජය නොමග යවන බව පෙනී යයි. (1.) මෙය සිංහල බෞද්ධ අධ්‍යාත්මය අඩපන කරන විජාතික කුමන්ත්‍රණයකි. මෙහි අරමුණ වන්නේ නූගත් බෞද්ධයන් ලවාම සිංහල බෞද්ධ ඉතිහාසය හා ධර්මය උපක්‍රමයෙන් විකෘති කර සිංහල බෞද්ධ ජාතියේ හරය ඇතුලතින් විනාශ කර පුහු නිවටයන් බවට පත් කිරීමයි. වර්තමානයේ බුදුදහම හා බෞද්ධ ඉතිහාසය නූගත් පිරිස දැනටමත් එවැනි පුහු නිවටයන් බවට පත්වී සමාජය දූෂණය කරති. (2.) බොධිසත්වයන් වහන්සේ තම දේවිය හා ලදරු කුමාරයා අතහැර ගොස් පැවිදි විය. විජයගේ පියා සිංහබාහු සිංහයාට දාව ඉපදී සහෝදරිය සමග විවාහ විය. මිසදුටුවන්ගේ උපක්‍රමය මෙවැනි දේවල් වරදවා සමාජගත කර සිංහල බෞද්ධ සම්භවය විකෘති කිරීමයි. කලාතුරකින් මනුස්ස ලෝකයේ උපදින පවුකාර අන්ධබාලයන්ට මනුස්ස ලෝකය ගැන සාමාන්‍ය දැනුමක් නැති නිසා ඔවුන් මේවාට හසුවේ. (3.) මෙහිදී තිරිසනෙකුට දාව මිනිසෙක් ඉපදීම අවමානයක් හෝ අමුතු දෙයක් නොවේ. බෝධිසත්වයන් වහන්සේ අලම්බුස ජාතකයේ මහාතාපස වරයෙක්ව සිටියදී උන්වහන්සේ⁣ මූත්‍රා කල තැන තිබුන තණකොල කාපු මුවදෙන බෝධිසත්වයන්ට දාව පුතෙක් බිහි කලාය. පසුව ඔහු ඉසිසිංග තාපස ලෙස ධ්‍යාන ලාභී උතුමෙක් විය. (4.) සිංහයාගේ සම්බන්ධය ගරුත්වයක් මිසක අවමානයක් නොවේ. බුද්ධ දේසනාවේ සිංහයා බුදුන් වහන්සේට උපමා කරන අතර බුද්ධ දේසනාව සිංහ නාදයට උපමා කරයි. අංගුත්තර නිකායේ පඤ්චක නිපාත සීහ සූත්‍රය අනුව සිංහයා යනු බුදුන්වහන්සේට කියන අන්වර්ථ නාමයකි. බුදුන්වහන්සේ ලෝකයට ධර්ම දේසනා කරන්නේ සිංහයා දඩයමේ යන ආකාරයට බව එහි විස්තර කරන ලදි. අසමසම යයි කියන බුදුවරු පවා තමන්ව සමාන කරන සිංහයාගෙන් පැවතීම ගැන ලැජ්ජා වන්නේ ජර කැනහිලුන් වැන්නන් බව තේරුම්ගත යුතුය. (5.) මෙලොව සත්වයන් අතර අකුණු ගහන විට නොසැලෙන්නේ රහතන් වහන්සේලා, සිංහයා, අජානීය හස්තියා සහ අජානීය අශ්වයාය. ඒ අනුව සිංහයා හෙණ ගැහුවත් නොසැලෙන්නෙක් ලෙස රහතන් වහන්සේලාගේ ලක්ෂණයක් දරන සතෙකි. (6.) සියලු බුදුවරයන් වහන්සේලාගේ මහා පුරුෂ ලක්ෂණයක් වන "සීහපුබ්බද්ධකාය" හෙවත් උඩුකය සිංහයෙකුගේ මෙන් පිහිටීම මහා පුරුෂයන්ගේ පරාර්ථචර්යාව නිසා ලැබෙන උත්තම උදාර ලක්ෂණයකි. මේ අනුව සිංහයා බුදුවරුන්ට හා චක්කවත්ති රජවරුන්ට ආවේනික ලක්ෂණ ඇති ගාම්භීර සත්වයෙකි. (7.) තවත් සිංහයාගේ ලක්ෂණයක් වන "සීහහනු" මහා පුරුෂ ලක්ෂණය ලැබෙන්නේ සසරේදී තමන්ගේ වචනය අර්ථවත්, වැදගත් හා කුසලමය ලෙස භාවිතා කිරීම නිසාය. (8.) බුදුවරයන් වහන්සේලා සයනය කරන්නේද සිංහයා සයනය කරන ඉරියව්වෙන්ය. සාවකයන්ටත් සිංහ සෙය්‍යාවෙන් සයනය කරන ලෙස ධර්මය දේසනා කර ඇත. (9.) බෝධිසත්වයන් වහන්සේ සුනඛයෙක් හා කපුටෙක් වෙලා උපන් ජාතක වල පවා මෙලොව පාලනය කල රජවරුන්ටත් ධර්ම දේසනා කර එම රාජ්‍ය වලින් පිදුම් ලබා ඇත. එ් නිසා බුදුදහම නොදැන සිංහයාගේ පරම්පරාව⁣ට ගරහන අන්ධබාලයන් තිරිසන් බලුකපුටන් තරම්වත් නොවටින නිවටයන් බව පැහැදිලිය. (10.) ඊලඟට සිංහබාහු සිංහසීවලී අතර විවාහයට අවමන් කිරීමත් මිසදුටු උපක්‍රමයකි. බුදුන් වහන්සේ උපන් සාක්‍ය වංශය පැවතෙන්නේද ඔක්කාක රජතුමාගේ දරුවන් අතර එවැනි සහෝදර විවාහ වලින්ය. ඔවුන් එසේ කලේ තමන්ගේ ජාතිය වෙනත් අයට කවලම් නොකිරීමටය. බුදුන් වහන්සේගේම ඤාති වන නන්ද කුමාරයා විවාහ වීමට සිටියේද සහෝදරිය වන ජනපද කල්‍යාණි සමගය. (11.) විජයාගමනයේ සම්භවයට ගරහන මිසදුටුවන් ඉදිරිපත් කරන විකල්පයක් වන්නේ බුදුන්වහන්සේගේ පලමු ලංකාගමනේදී හා විජයාගමනයේදී ලංකාවේ හිටපු බව කියන යක්කුන්ගෙන් සිංහලයා පැවතෙන බව ප්‍රචාරය කිරීමයි. විජයාගමනයට පෙර ලංකාවේ හිටපු යක්කුන් මිනිසු නොව අමනුසයන් බව සඳහන් කරන මහාවංසය මිසදුටුවන් ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසා වියහැක. (12.) මහාවංසයේ (1. මහියංගනාගමනය) විස්තර වන බුදුන්වහන්සේගේ මුල්ම ලංකාගමනයවත් නොපිලිගෙන ලංකාවේ බුදුසසුන පැහැදිලි කල නොහැකි නිසා මොවුන් මහාවංසය අනුව බුදුන්වහන්සේගේ ලංකාගමනය හා විජයාගමනය පිලිගනී. නමුත් එවක ලංකාවෙ සිටියේ මිනිසුන් නොව අමනුස්සයන් බව මහාවංසයේ පැහැදිලිව සඳහන්ය. මෙහිදී මහාවංසයත් විකෘති කර මිනීකන යක්කුන්ට ජාතිය පාවා දෙන්නන් කියන්නේ එම යක්කුන් මිනිස් ගෝත්‍ර බවයි. තව පැත්තකින් විජයාගමනයට පෙර ලංකාවේ සිටි කුවේනිය ඇතුලු අමනුස්සයන් දෙමල ජාතිකයන් බවටද ප්‍රචාරය කරන මෙම කුමන්ත්‍රණයෙන් දෙමල නිජබිම් සංකල්පය හරහා ත්‍රස්තවාදය පැතිරවීමටත් ඒ කතාවම යොදා ගෙන තිබේ. පසුගිය 80/ 90 දශක වලදී ත්‍රස්තවාදීන් සහ විජාතිකයන් විසින් "මිනීකන්නන්ගේ දේශය" නමින් ලංකාවේදී චිත්‍රපටයක් නිර්මාණය කර සිංහල බෞද්ධයන්ව ජාත්‍යන්තර අපකීර්තියට පත් කරන වෑයමක්ද වාර්තා විය. (13.) මේ කුමන්ත්‍රණයේම කොටස් කරුවෙක් වන පංසල්හේනේ ධම්මාලංකාර (මීවනපලානේ) නැමති පල් හොරා තමන්ගේ නිගන්ට බුදුන් ලංකාවේම උපන් බවට අමූලික පච කියා මුලු බෞද්ධ ඉතිහාසයත් ධර්මයත් කනපිට හරවා එයට අහුවෙන මෝඩයන් මුලා කරයි. යක්කුන්ට ජාතිය පාවාදෙන මිසදුටුවන්ද එයට කැමතිය. (14.) බුදුන්වහන්සේගේ පලමු ලංකාගමනයෙන් විස්තර වෙන්නේ බුදුන්වහන්සේ විසින් මහියංගනයේ රැස්වෙලා හිටපු යකුන් පිරිස ගිරිදීපයට පලවා හැරිය බවයි. මෙහිදී සියලු යකුන් පලවා හැරිය බව කියා නැති නිසා මහියංගනයට රැස්වුන පිරිසට අමතරව තවත් අමනුස්සයන් ඉතුරු වන්නට ඇති බවත්, ධර්ම දේසනා කිරීමට එවක මෙහි මිනිසුන් නොසිටි බව පැහැදිලිය. (15.) බුද්ධ පරිනිර්වාණ දිනයේ විජය ලංකාවට පැමිණි බවත්, බුදුන්වහන්සේගේ දැනුම්දීම පරිදි සක්‍රයා විජය ඇතුලු පිරිස හමුවී ලංකාවේ මිනිසුන් නැති බව කියා යක්කුන්ගෙන් ආරක්ෂා වීමට නූලක් දුන් බවත් මහාවංසයේ සඳහන්ය. මෙහිදී විජය ඇතුලු පිරිසට හමුවන කුවේනිය මිනීකන අමනුස්ස යකින්නක් බවත් අතරමංවී ලංකාවට ආපු නාවිකයන්ව මෙහි සිටි යක්කුන්ට ගොදුරුව ඇති බවත් පැහැදිලිව සඳහන්ය. (මහාවංසය, 7.විජයාභිසේකය) (16.) මනුස්ස වෙස් මවාගත් අමනුස්ස කුවේනිය සමග මුලදී විවාහ වුන විජය ඇය අමනුස්ස යකින්නක් නිසා දඹදිව ක්ෂත්‍රිය කාන්තාවන් ගෙන්වාගෙන නැවත විවාහ විය. මෙසේ කුවේනිය අත්හරින තැන විජ⁣යගේ කතාවෙන් මුලදී සක්‍රයාගේ කතාවෙන්ද පැහැදිලිවම විජයාගමනය වෙන විට ලංකාවේ මිනිසුන් නොසිටි බව හා අමනුස්ස යක්කු හිටපු බව කියවේ. මෙහිදී විජයට දාව අමනුස්ස කුවෙනිය දරුවන් දෙදෙනෙක් ලැබීමද සාමාන්‍ය සිද්ධියකි. බුද්ධ කාලයේ අමනුස්සයෙකුට දාව උපන් සේවකයෙක් පජ්ජෝත රජතුමාට සේවය කර තිබේ. කාක(කාක්කා) නැමති එම සේවකයාට දිනකට යොදුන් 60 ගමන් කල හැක. (විනයපිටක, මහාවග්ග, 207. පජ්ජොතරාජවත්ථු) (17.) මෙසේ අමනුස්සයන් අරක්ගෙන පැවති ලංකාවේ විජයාගමනයෙන් පසුව සිංහල මනුස්ස වාසය ඇතිවිය. තවත් කාලයකට පසුව මහින්දාගමනයෙන් ලංකාවට බුදුදහම ලැබී සිංහල ⁣බෞද්ධයන්ගේ සම්භවය ඇතිවිය. මෙම ඉතිහාසය අනුව ලංකාවේ බුදුදහම හා සමාජ තත්වය දියුණුව පැවති අනුරාධපුර යුගය ආදී කාලයන් වල සිංහල බෞද්ධයන්ට මෙවැනි ගැටලු තිබුනේ නැත. (18.) දැනට පැහැදිලිව ඉතිහාසගත සිංහල බෞද්ධ පැවැත්මට දායක වුන රජවරුන් අමතක කර මිත්‍යා ප්‍රබන්ධයක් වන රාවනා කතා ප්‍රචාරය කිරීමද මිසදුටු කුමන්ත්‍රණයකි. මෙලොව පරලොව කිසිම වැදගැම්මක් නැති අගක් මුලක් නොදන්නා සුරංගනා කතාවක් වන රාවනා කතන්දර තනිකරම සම්පප්‍රලාපයකි. මිත්‍යාදෘෂ්ටික ආගම් වල මෙන් සුරංගනා කතා සමාජගත කර බුදුදහම අභාවයට යැවීම මෙහි අරමුණයි. ධර්මය ලෝකෙන් අතුරුදහන් වෙන්නේ ධර්මයට මිත්‍යා කතා ආදේශ කිරීමෙන් බව බුදුන්වහන්සේ පැහැදිලිව දේසනා කලා. බුදුදහම නූගතුන්ට රාවණා කතාවල දඬුමොණරයත් අරුමයකි. ගෞතම බුදුසසුන පැවති කාලයේ හා කස්සප බුදුසසුන කාලයේද සැහැල්ලු දැවයෙන් ගුරුළන් වැනි ගුවන්යානා දහස් ගණන් සාදා ඒවායින් ගමන් කල අවස්ථා සඳහන්ය. (19.) බෝධිරාජ කුමාරයා විසින් දක්ෂ වඩු ශිල්පියෙක් ලවා කෝකනද නැමති ප්‍රාසාදය නිර්මාණය කලා. පසුව ඒ වඩු ශිල්පියා තවත් එවැනි ප්‍රසාදයන් හදනවාට අකමැති නිසා වඩු ශිල්පියාව ඝාතනය කිරීමට තීරනය කර වඩු ශිල්පියා පලායාම වැලැක්වීමට මුරකරුවන් දැම්මා. ඒ බව දැනගත් වඩු ශිල්පියා කෝකනද ප්‍රාසාදයේම උඩු මහල් කාමරයක සැහැල්ලු දැවයෙන් ගුරුලකුට සමාන ගුවන් යානයක් හැදුවා. පසුව ඔහුගේ පවුලේ අයත් එහි ගෙන්වාගෙන පවුල පිටින්ම ගුරුලු යානය පදවාගෙන හිමාල පෙදෙසට ගිහින් එහි නගරයක් තනා කට්ඨවාහන රාජු (දැවවාහනරජු) බවට පත්විය. (20.) අතීතයේ කස්සප සසුන කාලයේ දඹදිව දක්ෂ වඩු ශිල්පියෙකුට ගෝලයන් 16ක් සිටියා. එක ගෝලයෙකුට 1000 බැගින් අතවැසියො 16000ක් විය. මෙහි ප්‍රධාන වඩු ආචාර්යවරයා සැහැල්ලු දැවයෙන් කුරුල්ලෙකුට සමාන ගුවන් යානයක් හදා එහි නැගී පියාසර කර පෙන්නුවා. පසුව සියලු දෙනාම එවැනි දැව ගුවන් යානා හදාගෙන පවුල්වල අයත් සමග යානා 16017 කින් ආයුධ සන්නද්ධව හිමාලය දෙසට පියාසර කලා. ඔවුන් හිමාලයේ පිහිටි වෙනත් රටක රජ මාලිගාවට එකවර ගොඩබෑමෙන් පසුව ඒ රට අල්ලාගෙන හොඳින් පාලනය කලා. මේ බුදුසසුනේදී පරායන සූත්‍රදේසනාව ඇසූ බාවරී බ්‍රාහ්මණ ඇතුලු 16000කට අධික පිරිස ලෙස ඉපදී නිවන් අවබෝධ කලේ ඔවුන්ය. (සුත්තනිපාත, 5. පරායනවග්ග, අට්ඨකතා) සිංහල බෞද්ධ ඉතිහාසය ලෝකයේ සාමාන්‍ය, අසාමාන්‍ය හා අද්භුත කරුණු වලින් යුක්තය. බුදුදහමේ හරය කොහොමත් ලෝකයේ පෙර නොඇසූ ධර්මයකි. බුදුදහම අහවල් සම්මතයට අනුකූල වියයුතු යයි ලෝකයාට කිව නොහැකි නමුත් බුදුදහම ලෝකයට යහපත පමණක් කරන එකම ධර්මය බව තේරුම්ගත යුතුය. සුදනන්ගේ පැහැදීම හා සංවේගය පිණිස ලියන ලද මහාවංසයේ කිසිම අගතියක් සිදුවී නැත. මෙහිදී පාලි අටුවා කතා වල එකම සිද්ධිය තව තැනක තරමක් වෙනස්ව සඳහන් වන අවස්ථා ඇතත් මහාවංසයේ එවැනි දෝෂයන්ද නැති බව පෙනේ. බුදුදහම විෂය වන්නේ සද්ධාව නැමති බීජය හා සද්ධාව නැමති ධනය තිබෙන අයටය. සද්ධා බීජය හා ධනය නැති නම් ධර්මයෙන් දියුණුවක් හෝ පලක් නොවන අතර දිනපතාම කුසලයෙන් පිරිහීමට පත්වේ. ධර්මය තමන්ට දරාගත නොහැකි වන්නේ සහ අදහාගත නොහැකි වන්නේ සද්ධාවේ හා බුද්ධියේ ඌනතාවය නිසා බව තේරුම්ගත යුතුය.෴

Saturday, February 8, 2020

ඉච්ඡ - අනිච්ඡ හා නිච්ච - අනිච්ච


ඉච්ඡ, අනිච්ඡ, නිච්ච, අනිච්ච, අච්ච, අච්චි, අච්ඡ, ජච්ච, කච්ඡ, අකච්ඡ, කච්චි, කිච්ඡ, කිච්ච, අකිච්ච, කුච්ඡි, තච්ඡ, තුච්ඡ, තෙකිච්ඡ, අතෙකිච්ච, ගච්ඡ, මච්ඡ, මච්ච, අමච්ච, මච්චු, අමච්චු, මිච්ඡා, මුච්ඡ, පච්ච, පුච්ඡ, පෙච්ච, නච්ච, ලච්ඡ, වච්ච, වච්ඡ, සච්ච, අසච්ච...
බුද්ධ දේසනාව කියවෙන පාලි භාෂාවේ වචන අතරින් "ච" යන්න සහ මහප්‍රාණ ච යන්න වන "ඡ" යන්න / ච්ච / ච්ඡ / ලෙස අගට යෙදෙන වචන රාශියක් ඇත. මේ සියලු වචන බුද්ධ දේසනාවේ ඉතාමත් පැහැදිලි හා නිශ්චිත විවිධ අරුත් වලට යෙදේ.
1. "ඉච්ඡ" යනු ඉච්ඡාව හෙවත් කැමැත්ත /ඕනකම යන තේරුමයි. උදාහරණ ලෙස "පාපිච්ඡා" යනු පාප+ඉච්ඡා = පාපයට කැමත්තයි. අප්පිච්ඡතා යනු අප්ප+ඉච්ඡතා = අල්පයකට කැමතිවීම හෙවත් අල්පේච්ඡ බවයි. මහිච්ඡතා යනු මහා+ඉච්ඡතා = මහා පරිමාණයෙන් ලැබීමට කැමති බවයි.
2. "ඉච්ඡ" යන්නෙහි මුලට අ යන්න යෙදීමෙන් අ+ඉච්ඡ = "අනිච්ඡ" ලෙස කියවෙන්නේ එහි විරුද්ධාර්ථය වන /අකමැති/ නුවමනා යන තේරුමයි. උදාහරණ ලෙස "අනිච්ඡමානො" යනු අකමැත්තෙන් යන තේරුමයි. "අනිච්ඡො හොති නිබ්බුතො" යනු කැමැත්ත / ඕනකම නැති බව නිවන වන බවයි.
3. "නිච්ච" යනු නිත්‍ය, ස්ථිර, වෙනස් නොවෙන, නිතරම එක විදිහට තියන, යන තේරුමයි. උදාහරණ ලෙස "නිච්චං ඛමති දුබ්බලො" යනු දුබලයා නිතරම ඉවසන බවයි. "නිච්චං කායගතා සති" යනු නිතරම කායගතා සතියෙන් සිටීමයි. "නිච්චං දළ්හ පරක්කමා" යනු නිතරම ස්ථිරව දැඩි පරාක්‍රමයෙන් යුක්ත බවයි.
"අභිවාදනසීලිස්ස, නිච්චං වුඩ්ඪාපචායිනො" යනු නිතරම වැඩිහිටියන්ට වන්දනාමාන කරන්නා යන තේරුමයි. "නිච්චං කායෙන සංවුතා" යනු නිතරම කය සංවර වීමයි.
4. නිච්ච යන්නෙහි මුලට අ යන්න යෙදීමෙන් "අනිච්ච" ලෙස එහි විරුද්ධාර්ථය වන, අනිත්‍ය, අස්ථිර, වෙනස් වෙන, නිතරම එක විදිහට නොතියන යන තේරුම ලැබේ. උදාහරණ ලෙස  "ලොකෙ අනිච්චතං ඤත්වා" යනු ලෝකේ අනිත්‍ය/ වෙනස් වෙන බව දැනගෙන යන අරුතයි. "අනිච්චතං පත්තො" යනු අනිත්‍ය බවට පත්විය යන්නයි.
"කතමං තං රූපං රූපස්ස අනිච්චතා? යො රූපස්ස ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං – ඉදං තං රූපං රූපස්ස අනිච්චතා."  = (රූපයේ අනිත්‍යතාවය යනු කුමකද? රූපයේ ක්ෂයවීම, වැයවීම, බිඳීයාම, සම්පූර්ණයෙන් බිඳීම, අතුරුදන් වීම, අනිත්‍යතාවයි.)
මෙම නිච්ච හා අනිච්ච යන වචන දෙක ඉතාමත් පැහැදිලිව ස්ථිර හා අස්ථිර යන අරුත් වලින් බුද්ධ දේසනා වල බහුලව යෙදී ඇත.
5. "අච්ච--" = අති, පසුව, ඉක්මවා. සිදුවී අවසන් වුන වරද අච්චය ලෙස හැඳින්වේ. (අච්චයං = පසු ගිය වැරදි. අච්චාසන්න = අති ආසන්න හෙවත් ඉතා ලඟ. අච්චගා = පසු කලා. අච්චේන්ති කාලා= කාලය ගෙවී යයි.)
6. "අච්චි" = ගිනි/පහන් දැල්ල.
7. "අච්ඡ" =  පිරිසිදු, ලස්සන. අච්ඡං පත්තං= ලස්සන පාත්‍රය.
8. "ජච්ච"= ජාතිය. (න ජච්චා හොති බ්‍රාහ්මණො= ජාතියෙන් බ්‍රාහ්මණයෙක් නොවෙි.)
9. "කච්ඡ" = කතාව, කිහිල්ල, කැසපට, (කච්ඡො = කතා කලයුතු) සාකච්ඡා(ස+කච්ඡා) = කතා කිරීම.
10. "අකච්ඡ"= කතාවට නුසුදුසු.
11. "කච්චි" = කොහොමද?
12. "කිච්ඡ" = අමාරු
(කිච්ඡො මනුස්සපටිලාභො = මනුස්සත්වය ලැබීම අමාරුයි. කිච්ඡකාලෙ= අමාරු කාලයේ)
විචිකිච්ඡා = විචාරණයට අමාරු බව.
14 . "කිච්ච" = කටයුත්ත, (කතකිච්චො= කටයුතු කරන ලද, අප්පකිච්චො= කටයුතු අල්ප බව. කිච්චකරණීයානි= කලයුතු කටයුතු. පුරිසකිච්ච= පුරුෂ කෘත්‍ය.)
14. "අකිච්ච" = අකටයුත්ත. (අකිච්චං කරොති = අකටයුතු කරයි.)
15. "කුච්ඡි" = බඩ, උදරය, කුස.
16. "තච්ඡ"= ඇත්ත, සැසීම. (තච්ඡං අත්ථසංහිතං= ඇත්ත සහ අර්ථවත්, වාසීහි තච්ඡන්ති= වෑයෙන් සසියි.)
17. "තුච්ඡ" = හිස්
18. "තෙකිච්ඡ"= පිලියම් කරන.
19. "අතෙකිච්ච"= පිලියම් කල නොහැකි.
20. "ගච්ඡ" = යන්න, ගස. (ඡන්දාගතිං ගච්ඡන්තො= ඡන්දයෙන් අගතියට යන, ගච්ඡං චලන්තං=  වලනය වෙන ගසක්, ගච්ඡා පුප්ඵිතා= මල් පිපුන ගස්.)
21. "මච්ඡ"= මාලු. (මහන්තං මච්ඡං= ලොකු මාලුවෙක්.)
22. "මච්ච"= මිනිස්. (කිච්ඡං මච්චාන ජීවිතං= මනුස්ස ජීවිතය අමාරුයි. ) එවං මච්චාන ජීවිතං=මනුස්ස ජීවිතය එහෙමයි.)
23. "අමච්ච"= ඇමති, සහායක, මහතා.
24. "මච්චු"= මාරයා, මරණය. (පමාදො මච්චුනො පදං= වල්මත්වීම මාරයාගේ පදයයි. සබ්බෙ භායන්ති මච්චුනො= හැමෝම මරණයට බයයි. මච්චුනො ආමිසං= මාරයාගේ ඇම.)
24. "අමච්චු"= මාරයාට හෝ මරණයට ගොදුරු නොවන.
26. "මිච්ඡා" =  මිත්‍යා, මුලාවූ, වැරදි,
27. "මුච්ඡා" = සිහිනැති
28. "පච්චා/පච්ඡා"= පසුව. (පච්ඡා තපති දුක්කටං = වැරදි කර පසුව තැවේ. පච්චාගච්ඡතං = පසුපසින් යනවිට.)
29. "පුච්ඡ" = ප්‍රශ්න කිරීම
20. "පෙච්ච"= පරලොව
31. "නච්ච"= නැටීම. නච්චගීතවාදිත = නැටුම් ගැයුම් වැයුම්
32."ලච්ඡ"= ලැබීම. (ලච්ඡති ආරම්මණං= අරමුණක් ලබයි.)
33. "වච්ච"= වර්චස්, මලපහ. (වච්චකුටි= වැසිකිලිය)
34. "වච්ඡ"= වස්සා
35. "සච්ච" = සත්‍ය
36. "අසච්ච"= අසත්‍ය
ඉච්ඡ-අනිච්ඡ, නිච්ච-අනිච්ච, කච්ඡ-අකච්ඡ, කිච්ච/අකිච්ච, තෙකිච්ඡ-අතෙකිච්ච, මච්චු-අමච්චු, සච්ච-අසච්ච... යනාදී  වචන වල මුලට අයන්න යෙදීමෙන් මුල් වචනෙ විරුද්ධාර්ථය ලැබේ. 
ඉච්ඡ(කැමති) යන්නෙහි විරුද්ධ පදය වන අනිච්ඡ(අකමැති) යන්න බුද්ධ දේසනාවේ තැන් කිහිපයක පමනක් ඇති වචනයකි. එම නිසා ⁣අනිච්ඡ(අකමැති) යන වචනය නොදත් අය ඉච්ඡ(කමැති) යන්නෙහි විරුද්ධාර්ථය "අනිච්ච"(අනිත්‍ය) ලෙස වරදවාගෙන ඇත. නමුත් "අනිච්ච" යන වචනය හැදෙන්නේ "නිච්ච" (නිත්‍ය) යන වචනයේ මුලට අ යන්න යොදා "අ+නිච්ච" = "අනිච්ච" ලෙස "නිච්ච"යන්නෙහි විරුද්ධාර්ථය කීමටයි. "නිච්ච/අනිච්ච" (නිත්‍ය/අනිත්‍ය) ලෙස එකිනෙකට විරුද්ධාර්ථ ඇති සරල පැහැදිලි වචන දෙකක් පාලි/සිංහල බාසා දෙකේම තිබේ. එම නිසා "ඉච්ඡ" (කමැති) යන වචනය සහ "අනිච්ච" (අනිත්‍ය) යන වචනය අතර විරුද්ධාර්ථ සම්බන්ධයක් නැත. "යම්පි ඉච්ඡං න ලභති, තම්පි දුක්ඛං" හෙවත් "ඉෂ්ට දේ නොලැබීමත් දුකක්" යනුවෙන් "ඉෂ්ට දේ නොලැබීම" දුක ඇතිවීමට එක්තරා හේතුවක් ලෙස දුක්ඛ සත්‍යයේ දේසනා කර ඇත. පාලියෙන් "ඉට්ඨ"(ඉෂ්ට)  සහ "අනිට්ඨ"(අනිෂ්ට) ලෙසත් කැමති/අකමැති බව කියවෙන අතර "ඡන්ද" යන වචනයෙන්ද කැමැති බව කියවේ.
මෙහිදී "ඉච්ඡාව" හෝ "ඡන්දය" සියලු දුකට මුල් වන බවද සත්‍යය. "ඡන්දො හි මූලං දුක්ඛස්ස" යනුවෙන් දුකට මුල ඡන්දය බව (භද්‍රක සූත්‍රයේ) දේසනා කර ඇත. "අනිච්ඡො හොති නිබ්බුතො" යනුවෙන් ඉච්ඡාව නැති බවට පත්වීම නිවන බව (නාලක සූත්‍රයේ) දේසනා කර ඇත. නමුත් "ඉච්ඡාව/ඡන්දය" සියලු දුකට මුල් වන්නේ "ඉච්ඡාව/ඡන්දය" හෙවත් කැමැත්ත ඇතිවන දේවල් අනිත්‍ය නිසාය. මෙහිදී කැමැත්තත් අනිත්‍ය දෙයකි. කැමැත්ත සහ කැමති වන දේවල් නිත්‍යව ස්ථිරව වෙනස් නොවී නිතරම එක විදිහට තියන දේවල් වුනා නම් ඒ කැමැත්ත දුකට මුල් වන්නේ නැත. ඒ අනුව කැමැත්ත ඇතිවීමටත් කලින් දුකට මූලික හේතුව වන්නේ "අනිච්ච" ලක්ෂණය හෙවත් ලෝකයේ අනිත්‍ය, අස්ථිර, වෙනස් වෙන, නිතරම එක විදිහට නොපවතින ස්වභාවයයි.෴

Friday, June 12, 2015

සජීවී අපාය. The Live Hell.




වනන්තරයේ දර්ශනය වූ සජීවී අපාය.
The Live hell seen in the jungle.

Wednesday, April 3, 2013




1සුගතවිනය-හැඳින්වීම.



“ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ,
ඒහි පස්සිකෝ”

බුදුරජාණන් වහන්සේගේ ධර්මය සුභාෂිතයි, පැමිණ බලන්න!

⫷⫷⫷⫷⫷⫷⫸⫸⫸⫸⫸⫸⫸

සුගතවිනය ධර්ම දානය සඳහා සම්පාදනය කරන ලදි.

ISBN 978-955-44365-0-3
ග්‍රන්ථ සම්පාදනය

 කපිලවංස භික්ඛූ.

ශ්‍රී බුද්ධ වර්ෂ 2556


–නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස–

භගවා හි භන්‌තෙ, අනුප්‌පන්‌නස්‌ස මග්‌ගස්‌ස උප්‌පාදෙතා, අසඤ්‌ජාතස්‌ස මග්‌ගස්‌ස සඤ්‌ජනෙතා, අනක්‌ඛාතස්‌ස මග්‌ගස්‌ස අක්‌ඛාතා, මග්‌ගඤ්‌ඤූ, මග්‌ගවිදූ, මග්‌ග කොවිදො. මග්‌ගානුගාච භන්‌තෙ, එතරහි සාවකා විහරන්‌ති, පච්‌ඡා සමන්‌නාගතා.
-සං.නි.සගාථවග්ග.පවාරණාසුත්‌තං-

භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකයේ නොතිබුණ ආර්ය ධර්ම මාර්ගය සොයාගෙන, මාර්ගය විනිවිද ගොස්, ලෝකයට පෙන්වා දෙන ලදි, මාර්ගය විවර කරන ලදි, මාර්ගය ප්‍රකාශ කරන ලදි. එම ආර්ය මාර්ගය අනුගමනය කරමින් දැන් පසුපසින් යන අප සාවකයන් වෙමු.!

සත්‌ථා භගවා, සාවකො අහමස්‌මි!
ජානාති භගවා, නාහං ජානාමී
-ම.නි.මජ්ඣිමපණ්ණාසක.කීටාගිරිසුත්‌තං-

බුදුරජාණන් වහන්සේ අපගේ සාස්තෘ වරයාණන් වන අතර, මම සාවකයෙක් වෙමි. බුදුරජාණන් වහන්සේ දැන සිටි ආර්ය ධර්මය, මා විසින් දැනගෙන නැත.!

බුදුරජාණන් වහන්සේ දේසනා කළ ධර්මය අවබෝධවී නැති අප විසින්, ධර්මය නොදන්නා පුද්ගලයන් ලෙස, ඒ බව තේරුම් ගෙන සද්ධාවෙන් කටයුතු කළ යුතුයයි, බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන ලදි.

බෞද්ධයාගේ පරමාර්ථය වන නිවණ, අසාමාන්‍ය අද්භූත සත්‍ය අවබෝධයක් මගින් සැබෑකර ගතයුතු සැනසීමකි. ආර්ය ධර්මය නිවැරදිව හා සම්පුර්ණයෙන් අවබෝධ වීමෙන් අනතුරුව නිවණට සම්ප්‍රාප්ත වීම සිදුවේ. අපට මේ දක්වා, ඒ ධර්මය අවබෝධයෙන් දැන ගැනීමට නොහැකිවී ඇති බව සලකා බලනකොට, ධර්මය ඉගෙනගෙන දැන ගැනීමට‍ උනන්දුවත්, අවස්ථාවත්, හැකියාවත් ඇතිවේ. තමුන් නොදන්න ධර්මය, නොදන්නා බව නොසලකා හැරීමෙන්, ධර්මය දැන ගැනීමට‍ උනන්දුවක්, අවස්ථාවක්, හැකියාවක් ඇති නොවෙන අතර, පුහු මාන්නය සහිත අපායගාමී හිස් පුද්ගලයන් බවට පත්වේ.

අප නොදන්නා ආර්ය ධර්මය නිවැරදිව සැලකිල්ලෙන් ඉගෙනගෙන දැන ගැනීම සඳහා, බුදුරජාණන් වහන්සේ දේසනා කළ ධර්මය අනුසාරයෙන්, බුදුරජාණන් වහන්සේට හා ධර්මයට නමස්කාර පූර්වක සියලු ගෞරව සහිතව, ධර්ම දානය පිණිස මෙම සුගතවිනය ග්‍රන්ථය සම්පාදනය කරන ලදි.෴

(ඉතිපි සෝ භගවා අරහං සම්‌මා සම්‌බුද්‌ධෝ විජ්‌ජා චරණ සම්‌පන්‌නෝ සුගතෝ ලොක විදූ අනුත්‌තරෝ පුරිසදම්‌ම සාරථි සත්‌ථා දෙවමනුස්‌සානං බුද්‌ධෝ භගවා)

බුදුරජාණන් වහන්සේ, දෙවියන්ටත් මිනිසුන්ටත් සුගතියට මග පෙන්වන, අනුත්තර ශාස්තෘවරයාය, ලෝකය විනිවිද දකින බුද්ධ-ඤාණයෙන් යුක්තව, පිරිසිදු බවෙන් හා විවෘත්ත බවෙන් අගතැන්පත්වූ ලෝක නායකයාණන්ය.!

(ස්‌වාක්‌ඛාතො භගවතා ධම්‌මො සන්‌දිට්‌ඨිකො අකාලිකො එහි පස්‌සිකො ඔපනෙය්‍යිකො පච්‌චත්‌තං වෙදිතබ්‌බො විඤ්‌ඤූහී)

බුදුරජාණන් වහන්සේ දේසනා කල සුභාෂිත ධර්මයෙන්, ප්‍රායෝගිකව ලෝකයේ සිදු වෙන සියල්ල පැහැදිලි වේ. ඤාණවන්තයන් විසින්, තමන් තුලින් විනිවිද දැකිය යුතු මේ ධර්මයෙන් සත්වයා සුගතියට පමුණුවනු ලැබේ.!
         
(ධම්‌මං චරෙ සුචරිතං, න නං දුච්‌චරිතං චරෙ
ධම්‌මචාරී සුඛංසෙති, අස්‌මිං ලොකෙ පරම්‌හිච) 
-ධම්මපද.ලොකවග්‌ග-
ධර්මය අනුව යහපත්ව හැසිරෙන්න, නරක හැසිරීම් නොකරන්න. ධර්මචාරී පුද්ගලයාට මෙලොවත්, පරලොවත් සැපදායකවේ. දිව්‍ය-මනුස්ස හා නිවණ යන සියලු සැපයන් ලැබෙන ධර්ම මාර්ගය, බුදුරජාණන් වහන්සේ විසින් සොයාගෙන ලෝකයට අනාවරණය කරන ලදි.

(යං කිඤ්‌චි සුභාසිතං, සබ්‌බං තං තස්‌ස භගවතො  වචනං අරහතො සම්‌මාසම්‌බුද්‌ධස්‌ස.)  
-අ.නි.අට්ඨකනිපාත.උත්‌තරවිපත්‌තිසුත්‌තං-

ලෝකයේ තිබෙන සුභාෂිත ධර්මය, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයයි. බුද්ධ ඤාණයෙන් නොදුටු සුභාෂිත ධර්මයක් ලෝකයේ තිබිය නොහැක. ලෝකය තුල ප්‍රකාශ කරනු ලබන්නේ, බුද්ධ වචනයෙන් උපුටා ගත් සුභාෂිත ධර්මයයි. ධර්මයේ සහ අර්ථයේ කතෘවරයා, නිර්මාතෘවරයා, ධර්ම-ස්වාමී බුදුරජාණන් වහන්සේය.

(ඛයං විරාගං අමතං පණීතං, යදජ්‌ඣගා සාක්‍ය මුනී සමාහිතො න තෙන ධම්‌මෙන සමත්‌ථි කිඤ්‌චි) 
-ඛුද්දකපාඨ.රතනසුත්‌තං-

සක්‍ය-මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සමාධිය තුලින් අවබෝධ කරගන්නා ලද, විරාගය තුලින් සියලු දුක් ඉවර කරන මෙම ධර්මය  තරම් වැදගත් වෙන කිසිම දෙයක් ලෝකයේ නැත. ලෝකයේ යහපතට පමණක් හේතු වෙන එකම ධර්මය වන්නේ, බුදුරජාණන් වහන්සේ දේසනා කළ ධර්මයයි.

(යාවතා භික්‌ඛවෙ, ධම්‌මා සඞ්‌ඛතාවා අසඞ්‌ඛතාවා, විරාගො තෙසං අග්‌ගමක්‌ඛායති, යදිදං මද නිම්‌මදනො- පිපාසවිනයො-ආලය සමුග්‌ඝාතො- වට්‌ටුපච්‌ඡෙදො- තණ්‌හක්‌ඛයො- විරාගො- නිරොධො- නිබ්‌බානං. යෙ භික්‌ඛවෙ, විරාගෙ ධම්‌මෙ පසන්‌නා, අග්‌ගෙ තෙ පසන්‌නා. අග්‌ගෙ ඛො පන පසන්‌නානං අග්‌ගො විපාකො හොති...) 
-අ.නි.චතුක්කනිපාත.අග්ගපසාදසුත්තං-

භෞතික රූප හා ක්‍රියාකාරීත්වය එකතුවී නිර්මාණයවූ, සජීවී-අජීවී ලෝකයට අයත් දේවල් සංඛතධර්මවේ. නිර්මාණයක් නොවන නිර්වාණය, ක්‍රියාකාරී බවක් හෝ භෞතික රූප නැති, අසංඛත ධර්මයයි. ලෝකයේ අත්දකින හා අත්විඳින සෑම දෙයක්ම, වෙනස්වෙන- ගෙවෙන- වැයවෙන- ඉවරවෙන- එපා වෙන- අතුරුදහන් වෙන ස්වභාවකින් යුක්තය. එම ක්‍රියාකාරී ලෝකයේ දුක්විඳින පැවැත්ම එපාවීමෙන්, ක්‍රියාකාරී ලෝකයක් ඇති නොවන තත්වයට පත්වීම නිවීමයි. ලෝකයට සම්බන්ධවී සිටියදී, ලෝකය ඇති නොවන තත්වයට පත්වීම ප්‍රායෝගිකව සිදුනොවන නිසා, නිවණ අවබෝධ වෙන්නේ ලෝකය එපාවී, සම්පූර්ණයෙන්ම ලෝකයෙන් වෙන්වන තත්වයට පත්වූ විටය. ලෝකය එපාවී ලෝකයෙන් වෙන්වීම විරාගයයි, විරාගයෙන් තොරව සිතට විමුක්තියක් නොලැබේ. ජීව-භෞතික, ක්‍රියාකාරී ලෝකයට ඇලෙන රාගය ඉවර වීමෙන් විරාගය ඇතිවේ. එවිට, මෙතෙක් කල් තිබුණ සියලු ආසාවල්-පිපාසය-ආලය-තණ්හාව යනාදී කරදර ඉවරවී, ඒවායින් සිත නිදහස්වීම හා නැවත කිසිම දුකක් ඇති නොවන තත්වයට පත්වීම නිවීමයි. නිවණ ලෝකයට අයත් නොවන නිසා, ලෝකය තුල තිබෙන උසස්ම ධර්මය වන්නේ, නිවණට පෙර හමුවන විරාගයයි. විරාගය පිළිබඳව පැහැදීම, ලෝකයේ තිබෙන ඉහලම කුසලයයි.

(රාගුපක්‌කිලිට්‌ඨංවා භික්‌ඛවෙ, චිත්‌තං න විමුච්‌චති,
අවිජ්‌ජුපක්‌කිලිට්‌ඨා වා පඤ්‌ඤා න භාවීයති...) 
-අ.නි.දුකනිපාත.බාලවග්ග-
         
රාගයෙන් කරදරවෙන සිතට විමුක්තියක්, නිදහසක් නොලැබේ. අවිද්‍යාවෙන් කරදර වෙන ප්‍රඥාව භාවිතා කළ නොහැක.
ඒනිසා, රාගය සම්පුර්ණයෙන්ම ඉවර කිරීමෙන්, ලෝකය එපාවී ලෝකයෙන් වෙන්වී සිටින තත්වයක් වන විරාගය, විමුක්ති මාර්ගය වේ. බාහිර ලෝකය එපාවී, බාහිර ලෝකයෙන් වෙන් වුනත්, සියුම් ලෙස තමන්ට නොදැනී, සිතින් ලෝකයට බැඳෙන සම්බන්ධතා ඉවර කිරීම අපහසුය. විරාගය ඇතිවී ලෝකය එපා වෙන්නේ, සිත හා කය පැවතීම දුකක් බව පැහැදිලිව තේරෙන විටයි. එය තේරුම් ගැනීමට නිවැරදි-සමාධියක් තිබිය යුතුය. තමන් කරන-කියන දේවල් සීලයෙන් පිරිසිදු කරගෙන, සමථ-විදර්ශනා භාවනා මගින් සමාධිය හා ප්‍ර‍ඥාව ලබාගෙන, ජීව-භෞතික ලෝකය එපා වෙන තත්වයට පත්වී, නිවණට යන එකම නිවැරදි මාර්ගය, ආර්යෂ්ඨාංගික මාර්ගයයි.

(යස්‌මිං ඛො සුභද්‌ද, ධම්‌මවිනයෙ අරියො අට්‌ඨඞ්‌ගිකො මග්‌ගො න උපලබ්‌භති, සමණොපි තත්‌ථ න උපලබ්‌භති.) (ඤායස්‌ස ධම්‌මස්‌ස පදෙසවත්‌තී, ඉතො බහිද්‌ධා සමණොපි නත්‌ථි)
-දී.නි.මහාවග්ග.මහාපරිනිබ්බාණසුත්තං-

ආර්යෂ්ඨාංගික මාර්ගය හැර, වෙන කිසිම ක්‍රමයකින්, සාර්ථකව දුක ඉවර වීම සිදුවන්නේ නැත. බුද්‌ධ සාසනයෙන් බැහැරව, කුසල ධර්ම න්‍යායෙන් කොටසක් හෝ අනුගමනය කරන පුද්ගලයෙක් නැත. අර්යෂ්ඨාංගික මාර්ගයෙන් දුක ඉවරකිරීම හා නිවණ් දැකීම සිදුවෙන්නේ මෙසේය.
සම්මාදිට්ඨි යනු, කුසල-අකුසල හා කර්ම-විපාක න්‍යාය තේරුම්ගෙන, පාපකර්ම වලින් දුක ලැබෙන බව හා පුණ්‍යකර්ම වලින් සැප ලැබෙන බව නිවැරදිව දැකීමයි.
සම්මාසංකප්ප යනු, සිතේ උපදින කාම-ව්‍යාපාද-විහිංසා සංකල්ප වලින් ඇතිවෙන දුක් කරදර වලක්වා ගැනීමයි.
සම්මාවාචා යනු, බොරුකීම- කේලම්කීම- පරුසවචන කීම හා ප්‍රලාපකීම නිසා ඇතිවෙන දුක් කරදර වලක්වා ගැනීමයි.
සම්මාකම්මන්ත යනු, සතුන්මැරීම- හොරකම් කිරීම හා පරදාර සේවනය නිසා ඇතිවෙන දුක් කරදර වලක්වා ගැනීමයි.
සම්මාආජීව යනු, වැරදි ක්‍රම වලින් ජීවත්වීම නිසා ඇතිවෙන දුක් කරදර වලක්වා ගැනීමයි.
සම්මාවායාම යනු, දුක ලබාදෙන අකුසල් අත්හැරීම හා සැප ලබාදෙන කුසල් උපදවා ගැනීම සඳහා වෑයම් කිරීමයි.
සම්මාසති යනු, දුක ලබාදෙන අකුසල් අත්හැරීමට හා සැප ලබාදෙන කුසල් උපදවා ගැනීමට හොඳ සිහිය පවත්වා ගැනීමයි.
සම්මාසමාධි යනු, සිතේ-කයේ ක්‍රියාකාරීත්වය නිසා සියලුම දුක් ඇතිවෙන බව හා සිත-කය නොමැතිව කිසිම දුකක් ඇති නොවන බව පැහැදිලිව අවබෝධ වීම සඳහා තිබිය යුතු නිවැරදි මානසික එකාග්‍රතාවයයි.

(...යොනි උපපරික්‌ඛිතබ්‌බා, කිං ජාතිකා සොක පරිදෙව දුක්‌ඛ දොමනස්‌සුපායාසා, කිං පහොතිකාති) -සං.නි.ඛන්ධවග්ග.අත්‌තදීපසුත්‌තං-

අර්යෂ්ඨාංගික මාර්ගය පුහුණුවී, සම්මා සමාධිය උපදවාගෙන, ඒ සමාධියෙන් නිශ්චල බවට‍ පත්වන සිතින් සත්‍ය විමර්ශනය කලයුතුය.
මූලික වශයෙන් දුක් කරදර එන තැන පරික්ෂා කරන විට, තමන් කරන- කියන- හිතන ක්‍රියාකාරීත්වය හරහා සියලුම දුක් කරදර ඇතිවන බව පැහැදිලිවේ.

(තථා තථා භික්‌ඛවෙ, භික්‌ඛු උපපරික්‌ඛෙය්‍ය යථා යථාස්‌ස උපපරික්‌ඛතො, බහිද්‌ධා චස්‌ස විඤ්‌ඤාණං අවික්‌ඛිත්‌තං අවිසටං, අජ්‌ඣත්‌තං අසණ්‌ඨිතං අනුපාදාය න පරිතස්‌සෙය්‍ය. බහිද්‌ධා භික්‌ඛවෙ, විඤ්‌ඤාණෙ අවික්‌ඛිත්‌තෙ අවිසටෙ සති අජ්‌ඣත්‌තං අසණ්‌ඨිතෙ අනුපාදාය අපරිතස්‌සතො ආයතිං ජාතිජරාමරණ දුක්‌ඛසමුදය සම්‌භවො න හොතී) 
-ඉතිවුත්තකපාලි.උපපරික්‌ඛසුත්‌තං-

මෙහිදී, බාහිර ලෝකයේ ආස්වාදය සොයා සිත විසීරී යාමට නොදී, අභ්‍යන්තර සිත-කය හා ක්‍රියාකාරීත්වය මම-මාව-මගේ, යනුවෙන් නොසිතා, දුක උපදින හැටි පමණක් මූලික වශයෙන් පරික්ෂා කල යුතුය. තමන්ගේ කියා සිතෙන අභ්‍යන්තර-බාහිර ලෝකයේ තිබෙන කිසිම දෙයක් අහිමිවීම ගැන, තැති ගැනීමක් නොවී එසේ පරික්ෂා කිරීමේදී, සිතේ හා කයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් පැවතීම තනිකරම දුකක් බව තමන්ටම පැහැදිලිවේ. මෙතෙක් කල්, මේ දුක නිවැරදිව නොපෙනීම නිසා ඇතිවුන තණ්හාවෙන් උනන්දුවී මෙම සංසාර පැවැත්ම ගෙනගිය බවත් අනාවරණයවේ. එම තණ්හාව ඉවර වීමෙන් සිතේ හා කයේ ක්‍රියාකාරීත්වය අවසන්වී, දුක ඉවරවෙන බව සහ එය සිදු වන්නේ, අර්යෂ්ඨාංගික මාර්ගයෙන් බවත් පැහැදිලිවේ. එම ආර්ය සත්‍ය අවබෝධවූ විට, මෙතෙක් කල් තිබුණ කරදරකාරී පාපකාරී ආසාවල් සියල්ල ඉවරවේ. එවිට සිත නිදහස්වී ලෝකයේ තවදුරටත් කලයුතු දෙයක් නැති තත්වයට පත්වේ. ඉන්පසුව මෙතෙක් කල් තිබුණ සියලු දුක් කරදර අවසන් වන අතර නැවත ඉපදීමක් සිදු නොවේ.෴

(1) (සුගතොවා භික්‌ඛවෙ ලොකෙ තිට්‌ඨමානො, සුගත විනයොවා, තදස්‌ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්‌පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්‌සානං. කතමොච භික්‌ඛවෙ සුගතො?
ඉධ භික්‌ඛවෙ ලොකෙ උප්‌පජ්‌ජති, අරහං සම්‌මා සම්‌බුද්‌ධො විජ්‌ජාචරණ සම්‌පන්‌නො සුගතො ලොකවිදූ අනුත්‌තරො පුරිස දම්‌ම සාරථි සත්‌ථා දෙවමනුස්‌සානං බුද්‌ධො භගවා. අයං භික්‌ඛ වෙ සුගතො. කතමොච භික්‌ඛවෙ සුගත විනයො?
සො ධම්‌මං දෙසෙති, ආදි කල්‍යාණං, මජ්‌ඣෙ කල්‍යාණං, පරියොසාන කල්‍යාණං, සාත්‌ථං, සබ්‍යඤ්‌ජනං, කෙවල පරිපුණ්‌ණං, පරිසුද්‌ධං බ්‍රහ්‌මචරියං පකාසෙති. අයං භික්‌ඛවෙ සුගතවිනයො. එවං සුගතොවා භික්‌ඛවෙ ලොකෙ තිට්‌ඨමානො සුගත විනයො වා තදස්‌ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්‌පාය අත්‌ථාය හිතාය සුඛාය දෙව මනුස්‌සානං)
-අ.නි.චතුක්කනිපාත.සුගතවිනයසුත්තං-

සුගතයන් වහන්සේ හෝ සුගත-විනය, ලෝකයේ පැවතීම බොහෝ ජනයාට හිතසුව පිණිස හා අනුකම්පා පිණිස හේතු වේ. එමගින්, දෙවියන්ටත් මිනිසුන්ටත්, අර්ථවත්බව-හිතවත්බව- සැපවත්බව සැලසේ.

ලෝකයේ පහළ වන තථාගත සම්‌මා සම්‌බුදුරජාණන් වහන්සේ, සුගත නම් වේ. එනම්, දෙවියන්ටත් මිනිසුන්ටත් සුගතියට යන මාර්ගය පෙන්වන, අනුත්තර ශාස්තෘවරයා ලෙස, ලෝකය විනිවිද දකින බුද්ධ-ඤාණයෙන් යුක්තව, පිරිසිදු බවෙන් හා විවෘත්ත බවෙන් අග තැන්පත් වූ ලෝක නායකයාණන්, සුගත යනුවෙන් හැඳින්වේ.
බුදුරජාණන් වහන්සේ දේසනා කළ සුගතියට යන මාර්ගය, සුගත-විනයයි. එනම්, තමන් කරන-කියන-හිතන දේවල් නිවැරදි කිරීමෙන්, දුක ඉවර වෙන තත්වයට යන බ්‍රහ්‌මචරියාව ප්‍රකාශ වෙන ධර්මය, සුගතවිනය ලෙස හැඳින්වේ. ඒ ආකාරයෙන් සුගතයන් වහන්සේ හෝ සුගතවිනය ලෝකයේ පැවතීම, බොහෝ ජනයාට හිතසුව පිණිස හා අනුකම්පා පිණිස හේතුවේ.

(2) ලෝකය තුල යමක් සිදුවීගෙන යන ක්‍රමය, “න්‍යාය” හෝ “නය” ලෙස හැඳින්වේ. පවතින ක්‍රමයට වඩා වෙනස්වූ, අසාමාන්‍ය හා නිවැරදි ක්‍ර‍මයට කටයුතු කිරීම “වි-නය”යි. හොඳ, සුදුසු ක්‍ර‍මයට කටයුතු කිරීම “සු-නය”යි. නරක, නුසුදුසු ක්‍ර‍මයට කටයුතු කිරීම “දු-නය”යි. කිසිම ක්‍ර‍මයක් නැතිව අතරමං වෙන අමන කටයුතු කිරීම “අ-නය”යි.
(අනයං නයති දුම්‌මෙධො, අධුරායං නියුඤ්‌ජති
දු‌නයො සෙය්‍යසො හොති, සම්‌මා වුත්‌තො පකුප්‌පති
විනයං සො න ජානාති, සාධු තස්‌ස අදස්‌සනං) 
-අකිත්‌තිජාතකං-

ළාමක බුද්ධිය සහිත ලෝල පුද්ගලයා, කිසිම ක්‍ර‍මයකට අනුකූල නොවන අමන කටයුතු කරමින්, වරදේ යෙදෙන අතර, ලේසියෙන් කළහැකි නරක දේට වඩාත් කැමතිය. නිවැරදි පිළිවෙළ කියන විට කුපිත වේ. විනයක් නොදන්නා, එවැනි බාලයන් නොදැක සිටීම යහපත්ය.

(නයං නයති මෙධාවී, අධුරායං න යුඤ්‌ජති
සුනයො සෙය්‍යසො හොති, සම්‌මා වුත්‌තො න කුප්‌පති
විනයං සො පජානාති, සාධු තෙන සමාගමො) 
-අකිත්‌තිජාතකං-

යමක් දරා ගැනීමේ හැකියාව සහිත, පරිණත බුද්ධියෙන් යුක්ත පුද්ගලයා, ක්‍රමානුකූලව කටයුතු කරමින්, වරදේ නොයෙදෙන අතර, අමාරු වුනත් හොඳ දේට වඩාත් කැමතිය. නිවැරදි පිළිවෙළ කියන විට කෝප නොවේ. විනයක් දන්නා එවැනි අය සමග සිටීම යහපත්ය.
ලෝකයේ ස්වභාවිකව උපදින-මැරෙන පැවැත්ම සිදුවන ක්‍රමය දුකක් වන නිසා, ලෝකය එපාවෙන තත්වයක් ඇතිවේ. එමනිසා මෙම ස්වභාවිකව පවතින ක්‍රමය වෙනස් කරගෙන ලෝකයෙන් ගැලවී නිදහස් වීමට, බුදුරජාණන් වහන්සේ විසින් සොයාගත් අසාමාන්‍ය හා නිවැරදි ක්‍ර‍මය සුගත-විනයයි. එය ආර්ය-විනය, ආර්ය-ධර්මය, සත්පුරුෂ-ධර්මය ආදී වශයෙන්ද හැඳින්වේ.

(3) (අහං ඛො කෙසි, පුරිසදම්මං සණ්හෙනපි විනෙමි, ඵරුසෙනපි විනෙමි, සණ්හඵරුසෙනපි විනෙමි. තත්ථිදං, කෙසි, සණ්හස්මිං ඉති කායසුචරිතං ඉති කායසුචරිතස් විපාකො, ඉති වචීසුචරිතං ඉති වචීසුචරිතස් විපාකො, ඉති මනොසුචරිතං ඉති මනො සුචරිතස් විපාකො. ඉති දෙවා, ඉති මනුස්සාති. තත්ථිදං කෙසි, ඵරුසස්මිං ඉති කායදුච්චරිතං ඉති කායදුච්චරිතස් විපාකො, ඉති වචීදුච්චරිතං ඉති වචීදුච්චරිතස් විපාකො, ඉති මනො දුච්චරිතං ඉති මනොදුච්චරිතස් විපාකො. ඉති නිරයො, ඉති තිරච්ඡානයොනි, ඉති පෙත්තිවිසයොති. තත්ථිදං කෙසි, සණ්හ ඵරුසස්මිං ඉති කායසුචරිතං.., ඉති කායදුච්චරිතං.., ඉති වචී සුචරිතං.., ඉති වචීදුච්චරිතං.., ඉති මනොසුචරිතං.., ඉති මනො දුච්චරිතං... ඉති දෙවා, ඉති මනුස්සා, ඉති නිරයො, ඉති තිරච්ඡාන යොනි, ඉති පෙත්තිවිසයොති.) 
-අ.නි.චතුක්කනිපාත.කෙසිසුත්තං-

මිනිසුන්ව සුගත-විනයට අනුව දමනය කරන ‘පුරිස-දම්-සාරථ බුදුරජාණන් වහන්සේ, හොඳින්- නරකින් සහ හොඳ නරක දෙකෙන්ම යන ක්‍රම තුනකින් මිනිසුන්ව දමනය කරන ලදි. හොඳින් කරන-කියන-හිතන දේවල් වලින් දිව්‍ය-මනුස්ස සුගති හා වෙනත් හොඳ විපාක ලැබෙන බව පෙන්වාදීම, හොඳින් දමනය කිරීමයි. නරකින් කරන-කියන-හිතන දේවල් වලින් නිරය-තිරිසන්-ප්‍රේත යන දුගති අපාය හා වෙනත් නරක විපාක ලැබෙන බව පෙන්වා දීම, නරකින් දමනය කිරීමයි. ඒ දෙකම පෙන්වාදීම හොඳින් සහ නරකින් දමනය කිරීමයි. ඒ කිසිම විදිහකින් දමනය නොවන පුද්ගලයාව අතහැර දමනු ලැබේ.

(තථාගතස්‌ස භික්‌ඛවෙ අරහතො සම්‌මා සම්‌බුද්‌ධස්‌ස ද්‌වෙ ධම්‌ම දේසනා පරියායෙන භවන්‌ති. කතමා ද්‌වෙ? පාපං පාපකතො පස්‌සථාති, අයං පඨමා ධම්‌ම දේසනා. පාපං පාපකතො දිස්‌වා තත්‌ථ නිබ්‌බින්‌දථ විරජ්‌ජථ විමුච්‌චථාති, අයං දුතියා ධම්‌මදේසනා) 
-ඉතිවුතත්කපාලි.දේසනාසුත්‌තං-

බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් ධර්ම දේසනා කරන ක්‍රම දෙකක් තිබේ. එනම්, පාප කර්ම වලින් සිදු වෙන නරක තේරුම් ගන්නා ලෙස කියන ධර්ම දේසනා සහ පාප කර්ම නොකර පාපයෙන් වෙන්වී නිදහස් වන ලෙස කියන ධර්ම දේසනාය.

(බුද්‌ධො සො භගවා බොධාය ධම්‌මං දෙසෙති, දන්‌තො සො භගවා දමථාය ධම්‌මං දෙසෙති, සන්‌තො සො භගවා සමථාය ධම්‌මං දෙසෙති, තිණ්‌ණො සො භගවා තරණාය ධම්‌මං දෙසෙති, පරිනිබ්‌බුතො සො භගවා පරිනිබ්‌බානාය ධම්‌මං දෙසෙති) 
-දී.නි.පාථිකවග්ග.උදුම්‌බරිකසුත්‌තං-

බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන, අන් අයට සත්‍ය අවබෝධ කරගැනීම සඳහා ධර්ම දේසනා කරන ලදි.
බුදුරජාණන් වහන්සේ දමනයවී, අන් අයට දමනය වීම සඳහා ධර්ම දේසනා කරන ලදි.
බුදුරජාණන් වහන්සේ සාන්ත භාවයට පත්වී, අන් අයට සමනය වීම සඳහා ධර්ම දේසනා කරන ලදි.
බුදුරජාණන් වහන්සේ ලෝකය තරණය කර, අන් අයට තරණය කිරීම සඳහා ධර්ම දේසනා කරන ලදි.
බුදුරජාණන් වහන්සේ නිවීමට පත්වී, අන් අයට නිවීම සඳහා ධර්ම දේසනා කරන ලදි.෴




2. කුසල-අකුසල න්‍යාය.
(1) (සො එවං පබ්‌බජිතො සමානො, කිං කුසල-ගවෙසී අනුත්‌තරං සන්‌ති වරපදං පරියෙසමානො) 
-ම.නි.මූල.පාසරාසිසුත්‌තං-

ගෞතම බෝධිසත්වයන් වහන්සේට ලෝකය හා ජීවිතය එපා වීමෙන් පසුව පැවිදිවී, සියලු දුක් කරදර ඉවර කිරීම සඳහා තිබිය යුතු කුසලතා ගවේෂණය කරන ලදි. එමගින් සත්ව ලෝකයේ පැවැත්ම ගෙනයන සියලු න්‍යායන් හා නියමයන් සොයා ගන්නා ලදි.

සත්වයාගේ සිතින්-වචනයෙන්-කයෙන්, කරන- කියන- හිතන ක්‍රියාකාරකම් වල විපාක, ප්‍රතිවිපාක, පලදීම, ප්‍රතිඵල, ආදීනව, ආනිසංස යනාදිය ගැන කර්ම-විපාක න්‍යාය සොයාගන්නා ලදි. කරන- කියන- හිතන ක්‍රියාකාරකම් වලින් සත්වයාට යහපත සිදුවෙන කුසල ධර්ම න්‍යාය සොයා ගන්නා ලදි. ඒ අනුව ලෝකයේ තිබෙන සියලුම දුක් කරදර ඇති වෙන්නේ, තමන්ම කරන-කියන-හිතන දේවල් වල වැරදි හා අපිරිසිදු කම නිසා බව බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලදි.

අනතුරුව මහා බෝධිසත්වයන් වහන්සේ විසින් කරන-කියන-හිතන සියල්ල, සෑම අතින්ම පිරිසිදු හා නිවැරදි බවට‍ පත් කරගෙන, නැවත කිසිම දුකක් ඇති නොවන තත්වය වන නිවණ සැබෑ කර ගන්නා ලදි. ඉන් පසුව, බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුකම්පාවෙන් හා කරුණාවෙන් නිකුත් කළ පණිවිඩය බුද්‌ධසාසනයයි. එය ඉතා කෙටියෙන් මෙසේය,

(සබ්‌බ පාපස්‌ස අකරණං, කුසලස්‌ස උපසම්‌පදා
සචිත්‌ත පරියොදපනං, එතං බුද්‌ධානං සාසනං) 
-ධම්මපද.බුද්‌ධවග්‌ග-

සියලු පාප-අකුසල් නොකිරීම හා කුසල් උපදවා ගැනීම මගින්, සිත පිරිසිදු කිරීම බුද්‌ධ සාසනයයි. සියලු අකුසල් සිදු නොවන පිරිසිදු සිතට නිවණ අවබෝධවී, සියලු දුක් අවසන් වන තත්වයට පත්වන නිසා, බුදුරජාණන් වහන්සේ, එම අවවාදය කරන ලදි.

(2) කුසලය හා අකුසලය ගැන බුදුරජාණන් වහන්සේගේ කරන ලද ධර්ම දේසනා අපරිමාණය. අකුසලය අත්හැරීම හා කුසලය භාවිතා කිරීම සඳහා, බුදුරජාණන් වහන්සේ කරන ලද ධර්ම දේසනා අපරිමාණය.

අකුසල් යනුවෙන් අර්ථ දැක්වෙන්නේ, නොකළයුතු, නුසුදුසු, අහිතකර, අපිරිසිදු, අසික්ඛිත, අයහපත්, දුක් විපාක සහිත, නරක, වැරදි ක්‍රියාවන්ය.
කුසල් යනුවෙන් අර්ථ දැක්වෙන්නේ, කළයුතු, සුදුසු, හිතකර, පිරිසිදු, සික්ඛිත, යහපත්, සැප විපාක සහිත, හොඳ, නිවැරදි ක්‍රියාවන්ය.
මිනිසුන් විසින් කරන- කියන- හිතන කටයුතු, තමන්ටත් අනුන්ටත් ප්‍රායෝගිකව අහිතකර වීමට මූලිකව හේතු වන්නේ, ලෝභකම, ද්වේශය හා මුළාවීම, (රාග- ද්වේශ- මෝහ) යන අකුසල-මූල තුනයි. ඒ නිසා අකුසලය අත්හැරීම සඳහා කළ යුත්තේ, ලෝභකම, ද්වේශය හා මුළා වීම ඉවර කිරීමයි.

මිනිසුන් විසින් කරන- කියන- හිතන කටයුතු, තමන්ටත් අනුන්ටත් ප්‍රායෝගිකව හිතකර වීමට මූලිකව හේතු වන්නේ, ලෝභ-නොවීම, දුෂ්ඨ-නොවීම හා මුළා-නොවීම (අලෝභ, අද්වේශ, අමොහ) යන කුසල-මූල තුනයි. නිවණ අවබෝධ නොවූ සත්වයන් විසින් කරන-කියන-හිතන සෑම දේකටම මූලිකව හේතු වෙන්නේ, මෙම කුසල-අකුසල මූල හයයි.

(අප්‌පමාදො අමතපදං, පමාදො මච්‌චුනො පදං
අප්‌පමත්‌තා න මීයන්‌ති, යෙ පමත්‌තා යථා මතා) -ධම්මපද.අප්පමාදවග්‌ග-

රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් වල්මත් නොවී සිටීම අප්‍රමාද වීමයි. එසේ වල්මත් නොවී සිටීමෙන්, රාග-ද්වේශ-මෝහ සම්පූර්ණයෙන්ම ඉවරවීම නිවීමයි. නිවණේ සිත-කය නොපවතින නිසා මරණයක් ඇති නොවේ, ඒ නිසා මරණයෙන් ගැලවීමට උපකාර වෙන පදය අප්‍රමාදයයි. රාග-ද්වේශ-මෝහ නිසා වල්මත්වීම ප්‍රමාද වීමයි. එසේ වල්මත්වී උපදින-මැරෙන සංසාර පැවැත්ම දිගටම ගෙන යාමෙන්, මරණය ඇතිවෙන නිසා, මරණය ලබාදෙන මාරයාගේ පදය ප්‍රමාදයි.

(නිබ්‌බාන ධාතුයා ඛො එතං භික්‌ඛු අධිවචනං, රාග-විනයො දොස-විනයො මොහ-විනයොති)
 -සං.නි.මහාවග්ග.දුතියඅඤ්‌ඤතරභික්‌ඛුසුත්‌තං-
(යො ඛො ආවුසො, රාගක්‌ඛයො දොසක්‌ඛයො මොහක්‌ඛයො, ඉදං වුච්‌චති නිබ්‌බානං) 
-සං.නි.සලායතනවග්ග.නිබ්‌බානපඤ්‌හාසුත්‌තං-

ජීව-භෞතික ලෝකයේ ස්වභාවිකව පැවැත්ම ක්‍රියාත්මක වීමට හේතුවන, රාගය-ද්වේශය-මෝහය සම්පූර්ණයෙන්ම වෙනස් කර, ඉවර කිරීමෙන් ලැබෙන ස්ථාවර සැනසීම නිවණයි.

(3) කුසල්-අකුසල් නිවැරදිව හඳුනාගෙන, අකුසල් අත්හැර, කුසල් උපදවා ගැනීම කරන තරමට ප්‍රායෝගික සැනසීමක් හා නිවීමක් ලැබේ. ඕනෑම මොහොතක ලෝභකම, ද්වේශය හා මුළාවීම යන අකුසල හැඟීම් සිතේ ඇතිවීම තමන්ටත්, අනුන්ටත් ප්‍රායෝගිකව කරදරයක් හා වදයක්වේ. ඕනෑම මොහොතක ලෝභ-නොවීම, දුෂ්ඨ-නොවීම හා මුළා-නොවීම යන කුසල හැඟීම් සිතේ ඇතිවීම තමන්ටත්, අනුන්ටත් ප්‍රායෝගික සැනසීමක් හා සහනයක්වේ. සියලු අකුසල් නොකර සිටීමෙන්, සිත නිවෙන ආකාරය ඒ අනුව තේරුම් ගත යුතුය.

(ලොභො ඛො මහාරාජ, පුරිසස්‌ස ධම්‌මො අජ්‌ඣත්‌තං උප්‌පජ්‌ජ මානො උප්‌පජ්‌ජති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරාය. දොසො ඛො මහාරාජ, පුරිසස්‌ස ධම්‌මො අජ්‌ඣත්‌තං උප්‌පජ්‌ජමානො උප්‌පජ්‌ජති අහිතාය දුක්‌ඛාය අඵාසු විහාරාය. මොහො ඛො මහාරාජ, පුරිසස්‌ස ධම්‌මො අජ්‌ඣත්‌තං උප්‌පජ්‌ජමානො උප්‌පජ්‌ජති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරාය)
-සං.නි.සගාථවග්ග.පුරිසසුත්‌තං-

ලෝභ, ද්වේශ, මෝහ යන පාප අකුසල් සත්වයා තුල උපදින්නේ, ලෝකයට අහිත-දුක-අපහසුතාවය ලබාදීම සඳහාය. ලෝභ, ද්වේශ, මෝහ යන පාප අකුසල් ඇතිවීම වලක්වා ගත යුත්තේ, ලෝකයට හිත-සැප-පහසුව ලබාදීම සඳහාය. එය තමන් විසින්ම පැහැදිලිව තේරුම්ගත යුතුය. බුදුරජාණන් වහන්සේ දේසනා කල ධර්මයෙන්, ප්‍රායෝගික ලෝකයේ සිදුවෙන සියල්ල පැහැදිලි වෙන බව, ඒ අනුව දැනගත යුතුය.

අකුසල් ඒකාන්තයෙන්ම නොකළ යුතුය. ඒකාන්තයෙන්ම නොකළ යුතුවන අකුසල් කිරීම නිසා, තමන්ට තමන්ම දොස් කියා ගැනීමට හා පසුතැවිලි වීමට සිදුවේ, දැනුවත් අයගේ ගැරහීමට ලක්වේ, නරක පව්කාරයන් ලෙස ප්‍රසිද්ධවේ, සිහි මුළාවී මරණයට පත්වේ, මරණින් පසු අපාගතවේ.

කුසල් ඒකාන්යෙන්ම කළ යුතුය. ඒකාන්යෙන්ම කළ යුතුවන කුසල් කිරීමෙන්, තමන්ට තමන් දොස් කියා ගැනීම හෝ පසුතැවිලි වීමට සිදු නොවේ, දැනුවත් අයගේ ප්‍රසංසාවට ලක් වේ, හොඳ පින්වතුන් ලෙස ප්‍රසිද්ධවේ, සිහිමුළා නොවී මරණයට පත්වේ, මරණින් පසුව සුගතියේ උපදී.

(4) (අකුසලං භික්‌ඛවෙ, පජහථ. සක්‌කා භික්‌ඛවෙ අකුසලං පජහිතුං. නො චෙදං භික්‌ඛවෙ සක්‌කා අභවිස්‌ස අකුසලං පජහිතුං, නාහං එවං වදෙය්‍යං, අකුසලං භික්‌ඛවෙ පජහථාති. යස්‌මා ච ඛො භික්‌ඛවෙ සක්‌කා අකුසලං පජහිතුං, තස්‌මාහං එවං වදාමි, අකුසලං භික්‌ඛවෙ පජහථාති. අකුසලඤ්‌ච හිදං භික්‌ඛවෙ පහීනං අහිතාය දුක්‌ඛාය සංවත්‌තෙය්‍ය, නාහං එවං වදෙය්‍යං අකුසලං භික්‌ඛවෙ පජහථාති. යස්‌මා ච ඛො භික්‌ඛවෙ අකුසලං පහීනං හිතාය සුඛාය සංවත්‌තති, තස්‌මාහං එවං වදාමි, අකුසලං භික්‌ඛවෙ පජහථාති. කුසලං භික්‌ඛවෙ භාවෙථ. සක්‌කා භික්‌ඛවෙ කුසලං භාවෙතුං. නො චෙදං භික්‌ඛවෙ සක්‌කා අභවිස්‌ස කුසලං භාවෙතුං, නාහං එවං වදෙය්‍යං, කුසලං භික්‌ඛවෙ භාවෙථාති. යස්‌මා ච ඛො භික්‌ඛවෙ සක්‌කා කුසලං භාවෙතුං තස්‌මාහං එවං වදාමි, කුසලං භික්‌ඛවෙ භාවෙථාති. කුසලඤ්‌ච හිදං භික්‌ඛවෙ භාවිතං අහිතාය දුක්‌ඛාය සංවත්‌තෙය්‍ය, නාහං එවං වදෙය්‍යං, කුසලං භික්‌ඛවෙ භාවෙථාති. යස්‌මා ච ඛො භික්‌ඛවෙ කුසලං භාවිතං හිතාය සුඛාය සංවත්‌තති තස්‌මාහං එවං වදාමි, කුසලං භික්‌ඛවෙ භාවෙථාති) 
-අ.නි.දුකනිපාත.අධිකරණවග්ග-

අකුසලය අත්හරින්න, අකුසලය අත්හැරීම කළ හැකිය. අකුසලය අත්හැරීමට නොහැකි නම්, අකුසලය අත්හරින ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ නැත. අකුසලය අත්හැරීම කළ හැකි නිසා, අකුසලය අත්හරින ලෙස බුදුරජාණන් වහන්සේ විසින් අවවාද කරන ලදි.

අකුසලය අත්හැරීමෙන් කාටවත් අහිතක්-දුකක් වෙනවා නම්, අකුසලය අත්හරින ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ නැත. අකුසලය අත්හැරීම කාටත් හිතකර හා සැපයක් වෙන නිසා, අකුසලය අත්හරින ලෙස බුදුරජාණන් වහන්සේ විසින් අවවාද කරන ලදි.

කුසලය භාවිතා කරන්න, කුසලය භාවිතා කළ හැකිය. කුසලය භාවිතා කළ නොහැකි නම්, කුසලය භාවිතා කරන ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ නැත. කුසලය භාවිතා කළ හැකි නිසා, කුසලය භාවිතා කරන ලෙස බුදුරජාණන් වහන්සේ විසින් අවවාද කරන ලදි.

කුසලය භාවිතා කිරීමෙන් කාටවත් අහිතක්-දුකක් වෙනවා නම්, කුසලය භාවිතා කරන ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ නැත. කුසලය භාවිතා කිරීම කාටත් හිතකර හා සැපයක් වෙන නිසා, කුසලය භාවිතා කරන ලෙස බුදුරජාණන් වහන්සේ විසින් අවවාද කරන ලදි.෴


2. ලෝ‌භ-ද්වේශ-මෝහ.
(රත්‌තොඛො ආවුසො, රාගෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො, අත්‌තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි.., උභයබ්‍යාබාධා යපි.., චෙතසිකම්‌පි දුක්‌ඛං දොමනස්‌සං පටිසංවෙදෙති. රාගෙ පහීනෙ, නෙවත්‌තබ්‍යාබාධායපි චෙතෙති, න පරබ්‍යාබාධායපි.., න උභයබ්‍යාබාධායපි.., න චෙතසිකං දුක්‌ඛං දොමනස්‌සං... රත්‌තො ඛො ආවුසො, රාගෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො, කායෙන දුච්‌චරිතං චරති, වාචාය.., මනසා... රාගෙ පහීනෙ නෙව කායෙන දුච්‌චරිතං චරති, න වාචාය.., න මනසා... රත්‌තො ඛො ආවුසො රාගෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො, අත්‌තත්‌ථම්‌පි යථාභූතං නප්‌පජානාති, පරත්‌ථම්‌පි.., උභයත්‌ථම්‌පි... රාගෙ පහීනෙ අත්‌තත්‌ථම්‌පි යථාභූතං පජානාති, පරත්‌ථම්‌පි.., උභයත්‌ථම්‌පි... රාගො ඛො ආවුසො, අන්‌ධකරණො, අචක්‌ඛුකරණො, අඤ්‌ඤාණකරණො, පඤ්‌ඤානිරොධිකො, විඝාතපක්‌ඛිකො, අනිබ්‌බානසංවත්‌තනිකො. ඉදං රාගෙ ආදීනවං දිස්‌වා රාගස්‌ස පහානං පඤ්‌ඤාපෙම.) 
-අ.නි.තිකනිපාත.ඡන්‌නසුත්‌තං-
(1) ලෝභකම හෙවත් රාගය නිසා සිදුවන කරදර.
ලෝභකම ඇතිවෙන විට, තමන්ගේවත් අනුන්ගේවත් යහපත-අයහපත තේරුම් ගැනීමට නොහැකිය. ලෝභකමෙන් ප්‍රඥාව අන්ධවී, අඤ්ඤාණ බවට පත්වේ. ලෝභකම නිසා මානසික අසහනය හා පසුතැවිල්ල ඇතිවේ, නිවණ හා සැනසීම දුරස්වේ.

ලෝභකමෙන් කරන- කියන- හිතන දේවල්, තමන්ටත් අනුන්ටත් කරදරවෙන අකුසල්ය. ලෝභකම නිසා, සතුන් මැරීම - සොරකම්- පරදාර කර්ම- බොරුකීම ආදී පාප කර්ම හා ඒවාට අනුබල දීම සිදුවේ. ඒ නිසා මෙලොවත් පරලොවත් දුෂණය- භීෂණය- වෛරය ඇති වන අතර, සිතින් දුක් වීමට සිදුවේ.
ලෝභකමෙන් කරන- කියන- හිතන දෙවල් වලින්, දිව්‍ය-මනුස්ස සුගතියක් හෝ වෙනත් කිසිම ප්‍රිය-මනාපවූ, හොඳ විපාකයක් නොලැබේ. නමුත්, ලෝභකම නිසා කරන-කියන-හිතන දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගති හා වෙනත් අප්‍රිය-අමනාප-නරක විපාක ලැබේ.

ලෝභ වෙනකොට මනුස්සකම නැති වෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම නැති කරන ‘ලෝභ-චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම නැති, චුති සිතෙන් ඊළඟට උපදින්නේ, තිරිසනෙක් හෝ ඊටත් වඩා නරක අපාගත සත්වයෙක්ය. ලෝභ වීමෙන්, ත්‍යාගවන්ත සුගති සත්වයන් ඇති නොවේ. ලෝභ වීමෙන් ඇති වෙන්නේ, ලෝභ කමෙන් පෙළෙන දුගති සත්වයන්ය. ඒ නිසා ලෝභකම සිතේ ඇතිකර ගැනීම, තියාගැනීම හා ලෝභකමෙන් කරන-කියන-හිතන සියල්ලම දුක්-විපාක ලැබෙන බරපතල වරදකි.
(2) ලෝභකමෙන් තොරවීම නිසා සිදුවන යහපත.
ලෝභකම ඇති නොවන විට, තමන්ගේත් අනුන්ගේත් යහපත-අයහපත තේරුම් ගැනීමට හැකි වෙන අතර, ප්‍රඥාව පහළවී, ඤාණවන්ත බවට පත්වේ. ලෝභ නොවීමෙන්, මානසික සහනය, සැනසීම හා නිවණ ලැබෙන අතර, පසු තැවිල්ලක් ඇති නොවේ.

ලෝභ නොවී, කරන- කියන- හිතන දේවල්, තමන්ටවත් අනුන්ටවත් කරදර නොවෙන කුසල්ය. ලෝභකම ඇති නොවන විට, සතුන් මැරීම- සොරකම්- පරදාර කර්ම- බොරුකීම ආදී පාප කර්ම හෝ ඒවාට අනුබල දීම සිදු නොවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය-භීෂණය-වෛරය සන්සිඳෙන අතර, සිතින් දුක්වීමට සිදු නොවේ.

ලෝභකමෙන් තොරව, කරන- කියන- හිතන දෙවල් වලින් නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගතියක් හෝ වෙනත් කිසිම අප්‍රිය-අමනාප-නරක විපාකයක් නොලැබේ. නමුත්, ලෝභ කමෙන් තොරව, කරන- කියන- හිතන දෙවල් වලින්, දිව්‍ය-මනුස්ස සුගති හා වෙනත් ප්‍රියමනාපවූ, හොඳ විපාක ලැබේ.

ලෝභ නොවෙන කොට, මනුස්සකම ඇතිවෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම ඇති කරන ‘ලෝභ-නොවෙන චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම තියන, චුති සිතෙන් ඊළඟට උපදින්නේ මනුස්සයෙක් හෝ දෙවියෙක්ය. ලෝභ නොවීමෙන්, ලෝභ සහගත දුගති සත්වයන් ඇති නොවේ. ලෝභ නොවීමෙන් ඇති වෙන්නේ, ත්‍යාගවන්ත සුගති සත්වයන්ය. ඒනිසා ලෝභකම තමන් තුල උපදින කරදරයක්- සතුරෙක්- වධකයෙක් බව හොඳින් තේරුම්ගෙන, ලෝභකම වෙනස් කරගෙන, ලෝභ කමෙන් තොරව ජීවත්වීම, නිවැරදි සුගතිගාමී ප්‍රතිපත්තියයි.

(ලොභං භික්‌ඛවෙ අනභිජානං අපරිජානං තත්‌ථ චිත්‌තං අවිරාජයං අප්‌පජහං අභබ්‌බො දුක්‌ඛක්‌ඛයාය) (ලෝභං භික්‌ඛවෙ, එකධම්‌මං පජහථ, අහං වො පාටිභොගො අනාගාමිතාය)
(යෙන ලොභෙන ලුද්‌ධාසෙ සත්‌තා ගච්‌ඡන්‌ති දුග්‌ගතිං
තං ලොභං සම්‌මදඤ්‌ඤාය පජහන්‌ති විපස්‌සිනො
පහාය න පුනායන්‌ති ඉමං ලොකං කුදාචනං) 
-ඉතිවුත්තක.ලොභසුත්‌තං-

ලෝභකම ගැන සම්පූර්ණයෙන් හා නිවැරදිව තේරුම් නොගෙන, ලෝභ කමෙන් වෙන් නොවී, ලෝභකම අත්නොහැර, ලෝභකම නිසා ඇති වෙන දුක ඉවර කිරීමට නොහැක. ලෝභකම නිසා අපාගත වෙන සත්වයන්, ලෝභ කමෙන් සිදු වෙන කරදර පැහැදිලිව තේරුම්ගෙන, ලෝභකම විතරක් සම්පුර්ණයෙන් අත්හැරීමෙන් නැවත මේ ලෝකයට නොඑන අනාගාමී තත්වයට පත්වේ.
(3) ද්වේශය හෙවත් දුෂ්ඨකම නිසා සිදුවන කරදර.
(දුට්‌ඨොඛො ආවුසො, දොසෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො අත්‌තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි.., උභයබ්‍යාබාධා යපි.., චෙතසිකම්‌පි දුක්‌ඛං දොමනස්‌සං පටිසංවෙදෙති. දොසෙ පහීනෙ නෙවත්‌තබ්‍යාබාධායපි.., න පරබ්‍යාබාධායපි.., න උභය බ්‍යාබාධායපි.., න චෙතසිකම්‌පි දුක්‌ඛං... දුට්‌ඨොඛො ආවුසො, දොසෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො කායෙන දුච්‌චරිතං චරති, වාචාය.., මනසා... දොසෙ පහීනෙ නෙව කායෙන දුච්‌චරි තං චරති, න වාචාය.., න මනසා... දුට්‌ඨො ඛො ආවුසො, දොසෙ න අභිභූතො... අත්‌තත්‌ථම්‌පි යථා භූතං නප්‌පජානාති, පරත්‌ථම්‌පි .., උභයත්‌ථම්‌පි... දොසෙ පහීනෙ අත්‌තත්‌ථම්‌පි යථාභූතං පජානා ති, පරත්‌ථම්‌පි.., උභයත්ථම්පි... දොසො ඛො ආවුසො, අන්‌ධ කරණො, අචක්‌ඛුකරණො, අඤ්‌ඤාණකරණො, පඤ්‌ඤා නිරොධිකො, විඝාතපක්‌ඛිකො, අනිබ්‌බාන සංවත්‌තනිකො. ඉදං දොසෙ ආදීනවං දිස්‌වා දොසස්‌ස පහානං පඤ්‌ඤාපෙම.)
-අ.නි.තිකනිපාත.ඡන්‌නසුත්‌තං-

ද්වේශය ඇතිවන විට, තමන්ගේවත් අනුන්ගේවත් යහපත- අයහපත තේරුම් ගැනීමට නොහැකිය. ද්වේශයෙන් ප්‍රඥාව අන්ධවී, අඤ්ඤාණ බවට පත්වේ. ද්වේශය නිසා මානසික අසහනය හා පසුතැවිල්ල ඇතිවේ, නිවණ හා සැනසීම දුරස්වේ.

ද්වේශයෙන් කරන- කියන- හිතන දේවල්, තමන්ටත් අනුන්ටත් කරදර වෙන අකුසල්ය. ද්වේශය නිසා, සතුන් මැරීම- සොරකම්- පරදාර කර්ම- බොරු කීම ආදී පාප කර්ම හා ඒවාට අනුබල දීම සිදුවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය-භීෂණය-වෛරය ඇති වන අතර, සිතින් දුක් වීමට සිදුවේ.

ද්වේශයෙන් කරන- කියන- හිතන දෙවල් වලින්, දිව්‍ය-මනුස්ස සුගතියක් හෝ වෙනත් කිසිම ප්‍රිය මනාපවූ, හොඳ විපාකයක් නොලැබේ. නමුත්, ද්වේශය නිසා කරන-කියන-හිතන දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගති හා වෙනත් අප්‍රිය-අමනාප-නරක විපාක ලැබේ.

ද්වේශයෙන් දුෂ්ඨ වෙනකොට, මනුස්සකම නැතිවෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම නැති කරන ‘දුෂ්ඨ-චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම නැති, චුති සිතෙන් ඊළඟට උපදින්නේ, තිරිසනෙක් හෝ ඊටත් වඩා නරක අපාගත සත්වයෙක්ය. දුෂ්ඨවීමෙන්, මිත්‍රශීලී සුගති සත්වයන් ඇති නොවේ. දුෂ්ඨවීමෙන් ඇති වෙන්නේ, ද්වේශයෙන් පෙළෙන දුගති සත්වයන්ය. ඒ නිසා ද්වේශය සිතේ ඇති කරගැනීම, තියාගැනීම හා ද්වේශයෙන් කරන- කියන- හිතන සියල්ලම දුක්විපාක ලැබෙන බරපතල වරදකි.

(4) ද්වේශයෙන් තොරවීම නිසා සිදුවන යහපත.
ද්වේශය සිතේ ඇතිනොවන විට, තමන්ගේත් අනුන්ගේත් යහපත-අයහපත තේරුම් ගැනීමට හැකි වෙන අතර, ප්‍රඥාව පහළවී, ඤාණවන්ත බවට පත්වේ. දුෂ්ඨ නොවීමෙන්, මානසික සහනය, සැනසීම හා නිවණ ලැබෙන අතර, පසු තැවිල්ලක් ඇති නොවේ.

ද්වේශය ඇති නොවී කරන- කියන- හිතන දේවල්, තමන්ටවත් අනුන්ටවත් කරදර නොවෙන කුසල්ය. ද්වේශය ඇති නොවන විට, සතුන්මැරීම- සොරකම්- පරදාරකර්ම- බොරු කීම ආදී පාප කර්ම හෝ ඒවාට අනුබල දීම සිදුනොවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය-භීෂණය-වෛරය සන්සිඳෙන අතර, සිතින් දුක් වීමට සිදු නොවේ.

ද්වේශයෙන් තොරව, කරන- කියන- හිතන දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගතියක් හෝ වෙනත් කිසිම අප්‍රිය-අමනාප-නරක විපාකයක් නොලැබේ. නමුත්, ද්වේශ යෙන් තොරව, කරන-කියන-හිතන දෙවල් වලින්, දිව්‍ය-මනුස්ස සුගති හා වෙනත් ප්‍රිය මනාපවූ, හොඳ විපාක ලැබේ.

ද්වේශයෙන් දුෂ්ඨ-නොවෙනකොට, මනුස්සකම ඇතිවෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාට මනුස්සකම ලබා දෙන ‘දුෂ්ඨ-නොවෙන චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම තියන, චුති සිතෙන් ඊළඟට උපදින්නේ, මනුස්සයෙක් හෝ දෙවියෙක්ය. දුෂ්ඨ නොවීමෙන්, ද්වේශ සහගත දුගති සත්වයන් ඇති නොවේ. දුෂ්ඨ නොවීමෙන් ඇති වෙන්නේ මිත්‍රශීලී සුගති සත්වයන්ය. ඒ නිසා, ද්වේශය තමන් තුලම උපදින කරදරයක්, සතුරෙක්, වධකයෙක් බව නිවැරදිව තේරුම් ගෙන, ද්වේශය වෙනස් කරගෙන, ද්වේශයෙන් තොරව ජීවත්වීම නිවැරදි සුගතිගාමී ප්‍රතිපත්තියයි.

(දොසං භික්‌ඛවෙ අනභිජානං අපරිජානං තත්‌ථ චිත්‌තං අවිරාජයං අප්‌පජහං අභබ්‌බො දුක්‌ඛක්‌ඛයාය.)
(දොසං භික්‌ඛවෙ එකධම්‌මං පජහථ, අහං වො පාටිභොගො අනාගාමිතාය)
(යෙන දොසෙන දුට්ඨාසෙ සත්‌තා ගච්‌ඡන්‌ති දුග්‌ගතිං
තං දොසං සම්‌මදඤ්‌ඤාය පජහන්‌ති විපස්‌සිනො
පහාය න පුනායන්‌ති ඉමං ලොකං කුදාචනං) 
-ඉතිවුත්තක.දොසසුත්‌තං-

ද්වේශය ගැන සම්පූර්ණයෙන් හා නිවැරදිව තේරුම් නොගෙන, ද්වේශයෙන් වෙන් නොවී, ද්වේශය අත් නොහැර, ද්වේශය නිසා ඇතිවෙන දුක ඉවර කිරීමට නොහැක. ද්වේශය නිසා අපාගත වෙන සත්වයන්, ද්වේශය නිසා සිදු වෙන කරදර පැහැදිලිව තේරුම්ගෙන, ද්වේශය විතරක් සම්පුර්ණයෙන් අත්හැරීමෙන්, නැවත මේ ලෝකයට නොඑන අනාගාමී තත්වයට පත්වේ.
(5) මෝහය හෙවත් මෝඩකම නිසා සිදුවන කරදර.
(මූළ්‌හො ඛො ආවුසො, මොහෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො අත්‌තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම්‌පි දුක්‌ඛං දොමනස්‌සං පටිසංවෙදෙති. මොහෙ පහීනෙ නෙවත්‌ත බ්‍යාබාධායපි චෙතෙති, න පරබ්‍යාබාධායපි.., න උභය බ්‍යාබාධායපි.., න චෙතසිකම්‌පි දුක්‌ඛං... මූළ්‌හො ඛො ආවුසො, මොහෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො කායෙන දුච්‌චරිතං චරති, වාචාය දුච්‌චරිතං චරති, මනසා දුච්‌චරිතං චරති. මොහෙ පහීනෙ නෙව කායෙන දුච්‌චරිතං චරති, න වාචාය.., න මනසා... මූළ්‌හො ඛො ආවුසො, මොහෙන අභිභූතො... අත්‌තත්‌ථම්‌පි යථාභූතං නප්‌පජානාති, පරත්‌ථම්‌පි.., උභයත්‌ථම්‌පි... මොහෙ පහීනෙ අත්‌තත්‌ථම්‌පි යථාභූතං පජානාති, පරත්‌ථම්‌පි.., උභයත්‌ථම්‌පි... මොහො ඛො ආවුසො, අන්‌ධකරණො, අචක්‌ඛුකරණො, අඤ්‌ඤාණකරණො, පඤ්‌ඤානිරොධිකො, විඝාතපක්‌ඛිකො, අනිබ්‌බාන සංවත්‌තනිකො. ඉදං මොහෙ ආදීනවං දිස්‌වා මොහස්‌ස පහානං පඤ්‌ඤාපෙම.)
-අ.නි.තිකනිපාත.ඡන්‌නසුත්‌තං-

මෝහය ඇතිවෙන විට, තමන්ගේවත් අනුන්ගේවත් යහපත- අයහපත තේරුම් ගැනීමට නොහැකිය. මෝහයෙන් ප්‍රඥාව අන්ධවී, අඤ්ඤාණ බවට පත්වේ. මුළාවීම නිසා මානසික අසහනය හා පසුතැවිල්ල ඇතිවේ, නිවණ හා සැනසීම දුරස්වේ.

මෝහයෙන් මුළාවී කරන-කියන-හිතන දේවල්, තමන්ටත් අනුන්ටත් කරදර වෙන අකුසල්ය. මෝහය නිසා, සතුන් මැරීම- සොරකම්- පරදාර කර්ම- බොරුකීම ආදී පාප කර්ම හා ඒවාට අනුබල දීම සිදුවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය-භීෂණය-වෛරය ඇති වන අතර, සිතින් දුක් වීමට සිදුවේ.


මෝහයෙන් මුළාවී, කරන-කියන-හිතන දෙවල් වලින්, දිව්‍ය-මනුස්ස සුගතියක් හෝ වෙනත් කිසිම ප්‍රියමනාපවූ, හොඳ විපාකයක් නොලැබේ. නමුත්, මෝහයෙන් මුළාවීම නිසා කරන- කියන- හිතන දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගති හා වෙනත් අප්‍රිය-අමනාප-නරක විපාක ලැබේ.

මෝහයෙන් මුළා වෙනකොට, මනුස්සකම නැතිවෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම නැති කරන ‘මෝහ-චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම නැති, චුති සිතෙන් ඊළඟට උපදින්නේ, තිරිසනෙක් හෝ ඊටත් වඩා නරක අපාගත සත්වයෙක්ය. මෝහයෙන් මුළා වීමෙන්, ඤාණවන්ත සුගති සත්වයන් ඇති නොවේ. මෝහයෙන් මුළා වීමෙන් ඇති වෙන්නේ, අඤ්ඤාණ දුගති සත්වයන්ය. ඒ නිසා මෝහය සිතේ ඇතිකර ගැනීම, තියාගැනීම හා මෝහයෙන් මුළාවී කරන- කියන- හිතන සියල්ලම දුක්විපාක ලැබෙන බරපතල වරදකි.

(6) මෝහයෙන් තොරවීම නිසා සිදුවන යහපත.
මෝහය සිතේ ඇතිනොවන විට, තමන්ගේත් අනුන්ගේත් යහපත-අයහපත තේරුම් ගැනීමට හැකි වෙන අතර, ප්‍රඥාව පහළවී, ඤාණවන්ත බවට පත්වේ. මෝහයෙන් මුළා නොවීමෙන්, මානසික සහනය, සැනසීම හා නිවණ ලැබෙන අතර, පසු තැවිල්ලක් ඇති නොවේ.

මෝහයෙන් මුළා නොවී, කරන- කියන- හිතන දේවල්, තමන්ටවත් අනුන්ටවත් කරදර නොවෙන කුසල්ය. මෝහය ඇති නොවන විට, සතුන් මැරීම- සොරකම්- පරදාර කර්ම-බොරුකීම ආදී පාපකර්ම හෝ ඒවාට අනුබල දීම සිදු නොවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය- භීෂණය- වෛරය සන්සිඳෙන අතර, සිතින් දුක්වීමට සිදු නොවේ.

මෝහයෙන් තොරව, කරන- කියන- හිතන දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගතියක් හෝ වෙනත් කිසිම අප්‍රිය-අමනාප නරක විපාකයක් නොලැබේ. නමුත්, මෝහයෙන් තොරව, කරන-කියන-හිතන දෙවල් වලින්, දිව්‍ය-මනුස්ස සුගති හා වෙනත් ප්‍රියමනාපවූ, හොඳ විපාක ලැබේ.

මෝහයෙන් මුළා-නොවෙන කොට, මනුස්සකම ඇතිවෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම ඇති කරන ‘මෝහයෙන් මුළා-නොවෙන චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම තියන, චුති සිතෙන් ඊළඟට උපදින්නේ, මනුස්සයෙක් හෝ දෙවියෙක්ය. මෝහයෙන් මුළා නොවීමෙන්, අඤ්ඤාණ දුගති සත්වයන් ඇති නොවේ. මෝහයෙන් මුළා නොවීමෙන් ඇති වෙන්නේ ඤාණවන්ත සුගති සත්වයන්ය. ඒ නිසා, මෝහය තමන් තුලම උපදින කරදරයක්, සතුරෙක්, වධකයෙක් බව නිවැරදිව තේරුම්ගෙන, මෝහය වෙනස් කරගෙන, මෝහයෙන් තොරව ජීවත්වීම නිවැරදි සුගතිගාමී ප්‍රතිපත්තියයි.

(මොහං භික්‌ඛවෙ අනභිජානං අපරිජානං තත්‌ථ චිත්‌තං අවිරාජයං අප්‌පජහං අභබ්‌බො දුක්‌ඛක්‌ඛයාය.)(මොහං භික්‌ඛවෙ, එකධම්‌මං පජහථ, අහං වො පාටිභොගො අනාගාමිතාය)
(යෙන මොහෙන මූළ්හාසෙ සත්‌තා ගච්‌ඡන්‌ති දුග්‌ගතිං
තං මොහං සම්‌මදඤ්‌ඤාය පජහන්‌ති විපස්‌සිනො
පහාය න පුනායන්‌ති ඉමං ලොකං කුදාචනං)
-ඉතිවුත්තක.මොහසුත්‌තං-

මෝහය ගැන සම්පූර්ණයෙන් හා නිවැරදිව තේරුම් නොගෙන, මෝහයෙන් වෙන්නොවී, මෝහය අත් නොහැර, මෝහය නිසා ඇතිවෙන දුක ඉවර කිරීමට නොහැක. මෝහය නිසා අපාගත වෙන සත්වයන්, මෝහය නිසා සිදු වෙන කරදර පැහැදිලිව තේරුම් ගෙන, මෝහය විතරක් සම්පුර්ණයෙන් අත්හැරීමෙන්, නැවත මේ ලෝකයට නොඑන අනාගාමී තත්වයට පත්වේ.෴