8. නිවණ.
(1) (ගම්‌භීරො චායං ආනන්‌ද, පටිච්‌ච සමුප්‌පාදො ගම්‌භීරාව භාසොච. එතස්‌ස ආනන්‌ද, ධම්‌මස්‌ස අනනුබොධා අප්‌පටිවෙධා එවමයං පජා තන්‌තා කුලක ජාතා කුල ගණ්‌ඨික
ජාතා මුඤ්‌ජ පබ්‌බජ භූතා අපායං දුග්‌ගතිං විනිපාතං සංසාරං නාතිවත්‌තති)
-දී.නි.මහාවග්ග.මහානිදානසුත්‌තං-
ලෝකයේ උපදින සත්වයා, අවුල් වුන නූල්
පන්දුවක් මෙන් පැටලී අවුලෙන් අවුලට පත්වී, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපායෙන්
අපායට යමින් අතරමංවී සිටින්නේ, සත්වයන්ගේ ස්වභාවික පැවැත්මට පදනම් වෙන ආර්ය සත්‍ය ධර්මය
අවබෝධ නොවීම නිසාය. අනන්ත අප්‍රමාණ සත්වයන්ට මෙම ධර්මය අවබෝධ නොවන්නේ, එය එතරම්
ගැඹුරු නිසාය.
තමන්ගේ ඔළුවට හෝ ඇඳුමට ගිනි ඇවිලුන කෙනා
කල යුත්තේ කුමක්ද? ඔළුවත්, ඇඳුමත් අමතක කරදමා, තමන්ට අවබෝධ නොවූ, මේ ආර්ය සත්‍ය
ධර්මය අවබෝධ කරගැනීම සඳහා උපරිම උත්සාහය කල යුතුය. ඔළුවට හෝ ඇඳුමට ගිනි ඇවිලීමෙන්,
මරණයට වඩා දෙයක් සිදු නොවෙන අතර, මේ ආර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම නිසා අපාගතවී
දුක් විඳින්නට පටන්ගත් මුල් කෙළවර පෙනෙන්නට නැත. යම් කෙනෙක් මෙම ආර්ය සත්‍ය ධර්මය
අවබෝධ නොවී, ලෝකයේ මෙතෙක් කල් ඉපදීම නිසා, ගින්නට අසුවී මියගිය අවස්ථාවල් ගණන
මහපොළවේ වැලිකැට ගණනට වඩා වැඩිය. ලෝකයේ සිටින සියලු දෙනාම එවැනි කෙළවරක් නැති
දරුණු දුක් විඳගෙන එන අයයි. ඒ නිසා, මෙම ධර්මය අවබෝධ කර ගැනීම සඳහා කැමැත්ත
ඇතිකරගෙන, කල්පනාවෙන් ධර්මයත් සමග ගැටෙමින් හැප්පෙමින් නොපසුබට උත්සාහයෙන් වෑයම් කළ
යුතුය.
යම් කෙනෙකුට ආර්ය සත්‍ය අවබෝධ කරවීම
සඳහා, උදේ-දවල්-හවස, සියවරක් බැගින් දවසට තුන්සිය වරක් පිහියකින් අණිනවා නම්, ඒ
විදිහට දවසට පිහි පාරවල් තුන්සීයක් බැගින් ඇණගෙන, අවුරුදු සීයකට පසුව ආර්ය-සත්‍ය
අවබෝධ වෙනවා නම්, ඒ සඳහා වහාම ඉදිරිපත් වීම සුදුසුය. එයට හේතුව, මේ සංසාරයේ සිටින
සෑම සත්වයෙකුටම, පිහිය-කැති-කඩු-කිණිසි වලින් පහර වදින්නට පටන්ගත් කෙළවර පෙනෙන්නට
නැති නිසයි. එක් වරක් නිරයේ ඉපදුනොත්, පිහි පහරවල් ඇණ ගන්නට වෙන කාලය අවුරුදු
වලින් ගණන් කිරීම පහසු නැත. එක පුද්ගලයෙක් මේ දක්වා සංසාරයේ ඉපදුන අවස්ථා වලදී,
හොරකම් වලට අසුවී, හිස ගසා දැමූ තැන්වල ගලාගිය ලේ ප්‍රමාණය එකතු කලොත්, මුහුදේ
වතුරට වඩා වැඩිවේ. ඒ නිසා මේ දක්වා සංසාරයේදී ඇණගෙන විඳින ලද දුක් පිළිබඳව සැහීමකට
පත්වීම කාටත් සුදුසුය. ලෝකය තුල කරන-කියන-හිතන හැම දෙයක් තුලම දුක ගැබ්වී ඇත.
මෙතෙක් කල්, මේ ලෝකයේ සෙල්ලම් කරපු කිසිම කෙනෙක් සතුටින් මරණයට මුහුණදී පරලොව ගිය
බවක් සඳහන්වී නැත. සෑම කෙනක්ම මරණයට මුහුණ දෙන්නේ ත්‍රාසයට පත්වී කරබාගෙනය. ලෝකයේ
සැප විඳීමෙන් කවදාවත් සැහීමකට පත් නොවන සත්වයන්, ලෝකයේ දුක විඳීමෙන්වත් සැහීමකට
පත්විය යුතුය.
බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් පසුව
දැනට අවුරුදු දෙදහස් ගණනක් ගතවී ඇත. මේ ධර්මයෙන් බැහැර ලෝකයේ සිටින බහුතර ජනතාව
නානප්‍රකාර අමන මිත්‍යා දෘෂ්ඨි වලට වහල්වී අන්දමන්දවී අකුසල් කරමින් අපාගත වෙනවා
පමණය. මරණින් පසුව එන දෙකට මුහුණ දීම හැර, ඔවුන්ට මේ සඳහා කිසිම ප්‍රායෝගික
විසඳුමක් නැත. බුදු කෙනෙකුන්ගේ ධර්මය පවතින ඉතාමත් දුර්ලභ අවස්ථාවක, මේ පිරිසිදු
ධර්මය තිබෙන එකම දුර්ලභ තැන ඉපදීම, සිංහල බෞද්ධයාට ලෙහෙසියෙන් ලැබුණ ලාභයක් නොවේ.
එයින් නියම ප්‍රයෝජන ගැනීමට තිබෙන අවසාන කාලයත් මෙය බව පෙනෙන්නට තිබේ. එපා කරපු
ලෝකයේ කරන-කියන-හිතන හැම දෙයක් ගැනම කල කිරීම හොඳටම සුදුසුය. ලෝකයෙන් වෙන්වීම
සුදුසුය. කරන-කියන-හිතන හැම දේකින්ම නිදහස්වී ලබන ආර්ය විමුක්තිය සැබෑ කර ගැනීම
සුදුසුය. ඒ සඳහා කල යුත්තේ, තමන්ට දුක්-කරදර ඇති වීමට මූලික හේතුව ගැන ගැඹුරින්
කල්පනා කිරීමයි.
(2) (යං කිඤ්‌චි සමුදය-ධම්‌මං,
සබ්‌බං තං නිරොධ-ධම්‌මං)
-සං.නි.මහාවග්ග.ධම්‌මචක්‌කපවත්‌තනසුත්‌තං-
සිතකින් හා කයකින් නිර්මාණයවී, තමන්ම කරන-කියන-හිතන
දේවල් වලින් උපදින සැප-දුක විඳීම ජීවිතයේ සාරාංශයයි. සිත-කය සහ කරන-කියන-හිතන ක්‍රියාකාරීත්වය
තාවකාලිකව ඇතිවී නොකඩවා වෙනස් වෙමින් පවතින ඉවරවෙන දේවල්ය. ඒ නිසා, කරන- කියන-
හිතන දේවල් මගින් විඳින කිසිම සැපයක් ස්ථිරව පවතින්නේ නැත. සැප විඳීම සඳහා කරන-කියන-හිතන
දේවල් ඉවර වෙන විට සැපයත් ඉවර වෙන නිසා, මේ ලෝකයේ කාටවත් එක විදිහකට සැප විඳින්නට
නොලැබේ. “විඳින සැපය” නැවත නැවත උපදවා ගැනීම සඳහා අනිවාර්යෙන්ම කෙළවරක් නැති දුක්
විඳීමටත් සිදුවන නිසා, ලෞකික සැපය එපා වෙන දුකක් බවට පත්වේ. ලෝකයේ තිබෙන “විඳින
සැපය” අවශ්‍ය නම්, සැප හා දුක යන දෙකම බාරගත යුතුය. ලෝකයේ නැති “නොවිඳින සැපය
නිවණ” අවශ්‍ය නම්, ලෝකයේ තිබෙන දුක ඉවර කළහැකිය. ඒ සඳහා, ලෝකයේ තිබෙන සැප අත්හැර
පරිත්‍යාග කලයුතුය.
(මත්‌තා සුඛ පරිච්‌චාගා, පස්‌ස ච විපුලං සුඛං
චජෙ මත්‌තාසුඛං ධීරො, සම්‌පස්‌සං විපුලං සුඛං)
-ධ.ප.පකිණ්ණකවග්ග-
-ධ.ප.පකිණ්ණකවග්ග-
ලෝකයේ තිබෙන කරදර මැද විඳින සුලු සැපය
පරිත්‍යාග කිරීමෙන්, ලැබෙන ස්ථාවර නිවන් සුවය දෙස බලන්න! සුලු පරිත්‍යාගයක් දරාගත
යුත්තේ, ස්ථාවර සැනසීමක් සඳහාය!
ජීවිතයේ කරන-කියන-හිතන දේවල් වලින්
විඳින සැප-දුක එකදිගට නොවෙනස්ව පවතින්නේ නැත. ලෝකයේ තිබෙන සියලුම සැප-දුක්
මොහොතින් මොහොත ඇතිවී අතුරුදහන් වෙන ක්ෂණික විඳීමකි. මොන සැපක් වින්දත් ඒවා ඉවරවී
යන නිසා, එවැනි සැප විඳීම ගැන උන්නදුවීම නිෂ්ඵලය. විඳින හැම සැපක්ම කෙළවර වෙන්නේ දුකකින්ය.
“විඳීමේ” සැපයෙන් අන්තිමට දැනෙන්නේ පිපාසය හා අසහනයයි. කරන- කියන- හිතන ක්‍රියාකාරීත්වය
පවතිනතුරු “විඳින” හැම සැපයක්ම ගෙවී වැයවී ඉවරවී අතුරුදහන්වේ. ඊයේ
කරපු-කියපු-හිතපු දේවල් ඊයේම ඉවරවී අතුරුදහන්වූ අතර දැන් ඒ කිසිම දෙයක් නැත. දැන් කරන-කියන-හිතන-විඳින
දේවල් දැන්මම ඉවරවී යයි. අලුතෙන් කරන්නට-කියන්නට-හිතාගෙන සිහින මවන හැම දෙයක්ම ඉවරවෙන
දේවල්ය. අතීතයේ සිටි අය ලෝකයේ කරපු-කියපු-හිතපු දේවල් වලින් සෑහීමකට පත් නොවී
මියගොස් ඇත. දැන් ලෝකයේ සැප විඳීමට උනන්දු වෙන අයත්, ඒවා අත්හැර චුතවී යන කාලයක්
පැමිණේ. කරන-කියන-හිතන හැමදේම ඉවරවෙන ලෝකයේ, නොකඩවා මරණය කරා යන සත්වයා, ක්ෂණික
සැපයකට රැවටී අපාගත වීම සුදුසු නොවේ. ඒනිසා, කරන-කියන-හිතන හැම දෙයක්ම එපාවීම,
කලකිරීම හා ලෝකයෙන් නිදහස්වීම සුදුසුය.
(එතංසන්තං එතංපණීතං යදිදං, සබ්‌බසඞ්‌ඛාර සමථො, සබ්‌බූපධි පටිනිස්‌සග්‌ගො තණ්‌හාක්‌ඛයො
විරාගො නිරොධො නිබ්‌බානං)
-සං.නි.සගාථවග්ග.බ්‍රහ්‌මායාචනසුත්‌තං-
කරන-කියන-හිතන ක්‍රියාකාරීත්වය
සම්පූර්ණයෙන්ම නතර වීම, ලෝකයෙන් වෙන් වීම හා කිසිම දෙයක්
අලුතෙන් ඇති නොවන, ස්ථාවර තත්වයක තිබෙන සැනසීම නිවීමයි.
(3) (ඡ භික්‌ඛවෙ,
ආනිසංසෙ සම්‌පස්‌සමානෙන අලමෙව භික්‌ඛු නා සබ්‌බසඞ්‌ඛාරෙසු අනොධිං
කරිත්‌වා අනිච්‌චසඤ්‌ඤං උපට්‌ඨා පෙතුං. කතමෙ ඡ? සබ්‌බසඞ්‌ඛාරාච
මෙ අනවත්‌ථිතා ඛායිස්‌ස න්‌ති, සබ්‌බලොකෙච මෙ මනො
නාභිරමිස්‌සති, සබ්‌බ ලොකාච මෙ මනො වුට්‌ඨහිස්‌සති,
නිබ්‌බානපොණඤ්‌ච මෙ මානසං භවි ස්‌සති, සංයොජනාච
මෙ පහානං ගච්‌ඡිස්‌සන්‌ති, පරමෙනච සාමඤ්‌ඤෙන සමන්‌නාගතො
භවිස්‌සාමීති)
-අ.නි.ඡක්කනිපාත.අනවත්‌ථිතසුත්‌තං-
කරන- කියන- හිතන ක්‍රියාකාරකම් හැම
දෙයක්ම, අනිත්‍ය හා අස්ථිර බව හඳුනා ගැනීමෙන් පහත සඳහන් ආනිසංස ලැබේ.
කරන- කියන- හිතන සියල්ල, නොනැවතී වේගයෙන්
වෙනස් වෙමින් යන අනවරත ප්‍රවාහයක් මෙන් වැටහෙයි. ලෝකයේ තිබෙන කිසිම දේකට සිත
නොයයි. සිත, මුළු ලෝකයෙන්ම ඈත්වී නැගී සිටියි. සිත, නිවණට බරවී පවතී. ලෝකයට බැඳෙන
සම්බන්ධතා ඉවරවෙයි. පරම සාන්ත සන්සිඳීමකින් යුක්ත වෙයි.
(ඡ භික්‌ඛවෙ, ආනිසංසෙ
සම්‌පස්‌සමානෙන අලමෙව භික්‌ඛුනා සබ්‌බසඞ්‌ඛාරෙසු අනොධිංකරිත්‌වා දුක්‌ඛසඤ්‌ඤං උපට්‌ඨාපෙතුං
කතමෙ ඡ? සබ්‌බසඞ්‌ඛාරෙසුච මෙ නිබ්‌බිදසඤ්‌ඤා පච්‌චුපට්‌ඨිතා
භවිස්‌සති, සෙය්‍යථාපි උක්‌ඛිත්‌තාසිකෙ වධකෙ. සබ්‌බලොකාච
මෙ මනො වුට්‌ඨහිස්‌සති, නිබ්‌බානෙච සන්‌තදස්‌සාවී භවිස්‌සාමි,
අනුසයාච මෙ සමුග්‌ඝාතං ගච්‌ඡිස්‌සන්‌ති, කිච්‌චකාරී ච භවිස්‌සාමි, සත්‌ථාච මෙ පරිචිණ්‌ණො
භවිස්‌සති මෙත්‌තාවතායාති)
-අ.නි.ඡක්කනිපාත.උක්‌ඛිත්‌තාසිකසුත්‌තං-
කරන- කියන- හිතන ක්‍රියාකාරකම් හැම
දෙයක්ම දුකක් බව හඳුනා ගැනීමෙන් පහත සඳහන් ආනිසංස ලැබේ.
කරන-කියන-හිතන සියල්ල, වධකයෙක් විසින් බලෙන් කරවන මාර කරදරයක් මෙන් වැටහී එපාවී යයි. සිත,
මුළු ලෝකයෙන්ම ඈත්වී නැගී සිටියි. නිවණේ තිබෙන සනීපයත්, සාන්ත සුවයත් පැහැදිලිව
වැටහෙයි. ලෝකයට සිතින් බැඳෙන අනුසය සම්බන්ධතා ඉවර වෙයි. බුද්ධිමත් පුද්ගලයෙක්
වශයෙන් කළ යුතුදේ, කෙළින්ම කරන කෙනෙක් බවට පත්වෙයි. බුදුරජාණන් වහන්සේව හඳුනාගෙන,
මිත්‍රත්වයෙන් සැලකීම සිදුවේ.
(4) (අභෙදි කායො නිරොධි සඤ්‌ඤා, වෙදනා
සීති භවිංසු සබ්‌බා
වූපසමිංසු සඞ්‌ඛාරා, විඤ්‌ඤාණං අත්‌ථමාගමා)
-උදාන.පඨමදබ්‌බසුත්‌තං-
-උදාන.පඨමදබ්‌බසුත්‌තං-
කය බිඳී විසීරී ගියේය... සඤ්ඤා
නිරුද්ධවී, කිසිම දැනීමක් ඇති නොවන තත්වයට පත්විය... සියලු වේදනා සිසිල් විය... කරන-කියන-හිතන
ක්‍රියාකාරීත්වය සන්සිඳී ගියේය... සිත අතුරුදහන්විය. සාධු...! සාධු...!! සාධු...!!!
‘දබ්බ-මල්ල-පුත්ත’ මහ රහතන් වහන්සේ අහසේ පර්යංකයෙන් වාඩිවී සිටිමින්, සිත අතුරුදහන්
කරමින් පරිනිබ්බාණයට පත්වූ අවස්ථාවේදී, බුදුරජාණන් වහන්සේ විසින් එම උදාන වාක්‍ය
ප්‍රකාශ කරන ලදී. දබ්බ-මල්ල-පුත්ත මහ රහතන් වහන්සේ තෙජොධාතු සමාපත්තියට සමවැදී එසේ
පරිනිබ්බාණයවූ පසු, උන්වහන්සේගේ සරීරය අහසේම ගිණි ඇවිලී දැවී ගිය අතර, අළු හෝ
අඟුරු කිසිවක් ඉතිරි නොවීය.
කෙළවරක් නොපෙනෙන අනන්තයක සිට
නිරයත්-නිවණත් අතර ලෝකයේ ධාවනය වෙමින්, සංසරණය වෙමින්, දිව්‍ය- මනුස්ස-තිරිසන්-ප්‍රේත-නිරය
සත්වයන් ලෙස ඉපදෙමින් ගෙන ගිය පැවැත්ම උන්වහන්සේ විසින් එසේ අවසන් කරන ලදි. ඇවිලුන
ගින්නක් නිවා දමන ලදී. ඒ දක්වා උන්වහන්සේ පෙර ආත්ම වලදී ඉපදුන අවස්ථාවල,
අම්මලාගෙන් බීපු කිරි ප්‍රමාණය මහා සාගරයේ ජලයට වඩා බෙහෙවින් වැඩිය. උන්වහන්සේව
අතීත ආත්ම වලදී ලෝකයට බිහිකළ අම්මලා ගණන මහ පොළවේ වැලිකැට ගණනට වඩා වැඩිය.
උන්වහන්සේ අතීත ආත්ම වල ඉපදී කරන ලද පරදාර කර්ම නිසා අනුන්ගේ අතින් මැරුම් කෑ අවස්ථා
වලදී, ගලාගිය ලේ ප්‍රමාණය මුහුදේ වතුරට වඩා ගොඩක් වැඩිය. හොරකම් වලට අසුවී මැරුම්
කෑ අවස්ථා වලදී ගලා ගිය ලේ ප්‍රමාණය මුහුදේ වතුරට වඩා වැඩිය. උන්වහන්සේ අතීත ආත්ම
වලදී මුළු ලෝකයටම චක්කවත්ති රජවූ අවස්ථා, දිව්‍ය ලෝක වල රජකම් කළ අවස්ථා, යනාදී
ලෝකයේ සියලුම සැප සම්පත් විඳින ලද අවස්ථාවන්ද කෙළවරක් නැත. සමස්තයක් වශයෙන් ලෝකයේ
සිටින අප සෑම කෙනෙකුගේම තත්වයද ඊට දෙවෙනි නොවේ.
(එවං අනිච්‌චා භික්‌ඛවෙ සඞ්‌ඛාරා. එවං
අධුවා භික්‌ඛවෙ, සඞ්‌ඛාරා. එවං අනස්‌සාසිකා භික්‌ඛවෙ සඞ්‌ඛාරා.
යාවඤ්‌චිදං භික්‌ඛවෙ, අලමෙව සබ්‌බසඞ්‌ඛාරෙසු නිබ්‌බින්‌දිතුං
අලං විරජ්‌ජිතුං අලං විමුච්‌චිතුං)
-අ.නි.සත්තකනිපාත.සත්‌තසූරියසුත්‌තං-
-අ.නි.සත්තකනිපාත.සත්‌තසූරියසුත්‌තං-
මෙසේ ලෝකයේ කරන- කියන- හිතන හැම
දෙයක්ම තාවකාලික අස්ථීර දේවල්ය. එක දිගට පවතින දේවල් නොවේ. ඒවායින් කිසිම
අස්වැසිල්ලක් නැත. ඒ බව තේරෙන ප්‍රමාණයට බුද්ධියක් තියන අය, මේ ලෝකයේ කරන- කියන-
හිතන හැම දේකින්ම කළකිරීම- එපාවීම- වෙන්වීම- නිදහස්වීම- විමුක්තිය ලැබීම සුදුසුය.
(5) ක්‍රියාකාරීත්වයකින්
නිර්මාණය වෙන ජීව සහ භෞතික ලෝකයේ තිබෙන සියලුම දේවල්, ⋆හේතු
සහිතව හටගැනීම, ⋆පවතින අවස්ථාවේදී වෙනස් වීම, ⋆ඉවර වීම, යන ක්‍රියාකාරී-ලක්ෂණ වලින් යුක්තය. ලෝකය
දුකක් බවට පත් කරන එම ක්‍රියාකාරී ලක්ෂණ (සඞ්ඛත-ලක්ඛණ) වලින් තොර ස්ථාවර සැපයක්
ලෝකයේ නැත. ඒ නිසා ප්‍රියමනාප හිතෙන සත්ව ලෝකයේ හටගැනීම, වෙනස්
වීම හා ඉවරවීම සහිත ස්වභාවය තනිකරම දුකක් බව පැහැදිලිව තේරුම්ගත යුතුය. ක්‍රියාකාරී
ත්වයකින් නිර්මාණය වෙන දේවල් සහ ක්‍රියාකාරිත්වයක් පැවතීම තනිකරම දුකක් බව පැහැදිලිව
තේරුම් ගෙන, සිතේ හා කයේ ක්‍රියාකාරීත්වය ඉදිරියට ගෙනියන
තණ්හාව සහමුලින්ම ඉවර කළ යුතුය. තණ්හාව ඉවර වූවිට ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට ලෝකය
සමග තිබෙන බැඳීම කැඩෙන නිසා, සිතේ පැවැත්ම අවසන් වීමෙන් දුක ඉවර වේ. එහි ප්‍රතිලෝමය
ලෙස, සමාධිය හරහා සිතේ ක්‍රියාකාරීත්වය අවසන් කිරීමෙන්
තණ්හාව ඉවර වීමත් සිදු වේ.
(විසඞ්‌ඛාරගතං චිත්‌තං තණ්‌හානං ඛයමජ්‌ඣගා)
-ධම්මපද.ජරාවග්‌ග-
-ධම්මපද.ජරාවග්‌ග-
ක්‍රියාකාරීත්වයෙන් තොර තත්වයට යැවූ
සිතෙන්, තණ්හාව ඉවර කරන ලදි.
නිවණ අවබෝධවී, තණ්හාව ඉවරවී, අරහත් භාවයට
පත්වීමෙන් පසුව, කායික දුකක් හැර, මානසික දුකක් ඇති නොවේ. නැවත දිගටම පැවැත්ම සඳහා
උනන්දු කරවන තණ්හා බන්ධනය සහිත චේතනා පහළවීම අවසන්වේ.
ඉන්ධන බලයෙන්, ධාවනය කල වහනයක ඉන්ධන
අවසන්වී, පැමිණි මාර්ගය අවසානයේ තිබෙන බෑවුමක් දිගේ ඉන්ධන නැතිව නිදැල්ලේ ධාවනය වීම
මෙන්, මරණය දක්වා ඉතිරි ආයු කාලය දුකසැප විඳිමින් සිත-කය පවතී. රාග-ද්වේශ-මෝහ ඇති
නොවන නිසා, ජීවිතය අහිමි වුනත්, පහත සඳහන් දේවල් සිදු නොවන ආකාරයට ජීවත්වේ.
⋆ දැනුවත්ව සතුන් මැරීම. ⋆ දැනුවත්ව සොරකම් කිරීම.
⋆ දැනුවත්ව මේථුන සේවනය කිරීම. ⋆
දැනුවත්ව බොරු කීම.
⋆ ආහාරපාන ආදී කාම වස්තු රැස් කිරීම. ⋆
ඡන්ද, ද්වේශ, මෝහ,
භය ආදිය නිසා අගතියට යාම.
ඒ අනුව ජීවත් වීමට සුදුසු පරිසරයක්
නැති නම්, සිතේ පැවැත්ම අවසන් වීමෙන් සිදුවන මරණය පරිනිබ්බාණයක් වන අතර එහිදී සිතේ
පැවැත්ම අතුරුදහන්වී නැවත ඉපදීමක් සිදු නොවේ.
(6) (අත්‌ථි
භික්‌ඛවෙ අජාතං අභූතං අකතං අසඞ්‌ඛතං. නො චෙ තං භික්‌ඛවෙ අභවිස්‌ස අජාතං අභූතං අකතං
අසඞ්‌ඛතං, නයිධ ජාතස්‌ස භූතස්‌ස කතස්‌ස සඞ්‌ඛතස්‌ස නිස්‌සරණං
පඤ්‌ඤායෙථ. යස්‌මාච ඛො භික්‌ඛවෙ අත්‌ථි අජාතං අභූතං අකතං අසඞ්‌ඛතං, තස්‌මා ජාතස්‌ස භූතස්‌ස කතස්‌ස සඞ්‌ඛතස්‌ස නිස්‌සරණං පඤ්‌ඤායති)
-ඉතිවුත්තකපාළි.අජාතසුත්‌තං-
-ඉතිවුත්තකපාළි.අජාතසුත්‌තං-
නිවණ නැමති ආයතනය අලුතෙන් හැදෙන දෙයක්
නොවේ, නිර්මාණය කරන ලද දෙයක් නොවේ, තාවකාලික පැවැත්මක්ද නොවේ.
ලෝකයට විෂය නොවන එවැනි තත්වයක්
නොතිබුණා නම්, අලුතෙන් හැදී, නිර්මාණයවී
පවතින ලෝකය තරණය කර ලෝකයෙන් පිටවී එළියට යාමක් පෙන්විය නොහැක.
අලුතෙන් නොහැදෙන, නිර්මාණක් නොවන, පැවැත්මක් නොවන, වෙනස් නොවන,
ස්ථාවර තත්වයක් තිබෙන නිසා අලුතෙන් හැදී, නිර්මාණයවී, පවතින ලෝකය තරණය කර ලෝකයෙන් පිටවී
එළියට යාමක් පෙන්විය හැක.
(ජාතං භූතං සමුප්‌පන්‌නං, කතං සඞ්‌ඛතමද්‌ධුවං
ජරාමරණ සඞ්‌ඝාටං, රොගනීළං පභඞ්‌ගුරං
ආහාර නෙත්‌තිප්‌පභවං, නාලං තදභිනන්‌දිතුං
තස්‌ස නිස්‌සරණං සන්‌තං, අතක්‌කාවචරං ධුවං
අජාතං අසමුප්‌පන්‌නං, අසොකං විරජං පදං
නිරොධො දුක්‌ඛ ධම්‌මානං, සඞ්‌ඛාරූපසමො සුඛො)
-ඉතිවුතත්කපාලි.අජාතසුත්‌තං-
සිත, හැඟීම්, රූපය, ක්‍රියාකාරීත්වය සහිතව
නිර්මාණයවී- හැදෙන- උපදින- ලෙඩවෙන- මැරෙණ- කැඩෙන- බිඳෙන- දිරන දේවල් ගැන උනන්දුවීම
සුදුසු නැත. ඒ සියල්ල නොපවතින අවස්ථාවේ, දුක් කරදර ඇති නොවන සාන්ත සුවදායක ස්ථාවර
තත්වයක් ඇත. කිසිම ක්‍රියාකාරීත්වයක් නැති එම තත්වය තර්කයට විෂය නොවන අතර්කාවචර
නිවණයි.
(අස්‌සුතවා පුථුජ්‌ජනො අතසිතායෙ ඨානෙ
තාසං ආපජ්‌ජති...)
-සං.නි.ඛන්ධවග්ග.උදානසුත්‌තං-
ශුන්‍යතා ධර්මය නොඇසු අයට, සිත-කය ඇති නොවන තත්වයට පත්වීම ගැන බය, තැති ගැනීම ඇතිවේ. බය නොවිය යුතු
තත්වය වන, දුක ඉවර වෙන තැනදී බයවේ. සිත-කය පවත්වාගෙන
කරන-කියන-හිතන දේවල් නිසා නොකඩවා දිරායමින් හා නැවත හැදෙමින්, මරණයත්-ඉපදීමත් සිදුවෙන සංසාර පැවැත්ම තනිකරම දුකක් බව පැහැදිලිව අවබෝධ
වනතුරු, සිත-කය අතුරුදහන්වීම ගැන එසේ බයක් ඇතිවේ.
(නො චස්‌සං, නොච
මෙ සියා. නාභවිස්‌ස, න මෙ භවිස්‌සති)
-සං.නි.ඛන්ධවග්ග.උදානසුත්‌තං-
සිත හා කය නොතිබුණා නම්, මම-මගේ-මාව කියා කියන දෙයක් හෝ කෙනක් නැත. තිබෙන සිතේ හා කයේ පැවැත්ම
දැන් ඉවර කළොත්, ඉන්පසුව මම-මගේ-මාව කියා කියන දෙයක් හෝ කෙනක් ඉතුරු නොවේ.
තැති ගැනීමකින් තොරව එම අද්භූත සිද්ධාන්තය
අනුගමනය කිරීමෙන්, දැනට පවතින දුක් කරදර ලබාදෙන සිත හා කය
ඉවරවී යන අතර, අලුතෙන් කිසිම දුකක් කරදරයක් ඇති නොවන සාන්ත
ස්ථාවරය නිවණ සැබෑවක් බවට පත්වේ.
(7) (අත්‌ථි
භික්‌ඛවෙ තදායතනං, යත්‌ථ නෙව පථවී, න ආපො, න තෙජො, න
වායො, න ආකාසානඤ්‌චායතනං, න විඤ්‌ඤාණ
ඤ්‌චායතනං, න ආකිඤ්‌චඤ්‌ඤායතනං, න
නෙවසඤ්ඤා නාසඤ්ඤායතනං, නායංලොකො, න පරලොකො, න උභො චන්‌දිමසූරියා. තත්‍ථපාහං
භික්‌ඛවෙ නෙව ආගතිං වදාමි, න ගතිං, න ඨිතිං, න චුතිං, න
උපපත්‌තිං. අප්‌පතිට්‌ඨං, අප්‌පවත්‌තං, අනාරම්‌මණං එතං. එසෙවන්‌තො දුක්‌ඛස්‌ස)
-උදානපාලි.පඨමනිබ්‌බානපටිසංයුත්‌තසුත්‌තං-
ඝන- ද්‍රව- තාප- වායු- විඤ්ඤාණ යන
ජීව-භෞතික පදාර්ථ සහ මෙලොව- පරලොව- ඉර- හඳ යන කිසිම දෙයක් නැති, ස්ථාවර තත්වයක්
තිබේ. එහි, යාමක්-ඒමක්-සිටීමක් නැත, උපතක්-චුත වීමක් නැත, පිහිටීමක්-පැවත්මක් නැත.
එය සිතින් අරමුණු කළ නොහැකි, සිත නොපවතින තත්වයකි. එම තත්වය දුක අවසන් වන එකම
ස්ථාවරයයි.
(...එත්‌තාවතා අධිවචන පථො, එත්‌තාවතා නිරුත්‌ති පථො, එත්‌තාවතා පඤ්‌ඤත්‌තිපථො,
එත්‌තාවතා පඤ්‌ඤාවචරං, එත්‌තා වතා වට්‌ටං
වත්‌තති ඉත්‌ථත්‌තං පඤ්‌ඤාපනාය, යදිදං නාමරූපං සහ විඤ්‌ඤාණෙන අඤ්‌ඤමඤ්‌ඤපච්‌චයතා පවත්‌තති)
-දී.නි.මහාවග්ග.මහානිදානසුත්‌තං-
ලෝකයේ තිබෙන වචන මාර්ග- අර්ථ දැක්වීම්
මාර්ග- නිවේදන මාර්ග- ප්‍රඥාවේ හැසිරීම හා සත්ව ලෝකයේ පැවැත්ම, යන සියල්ලම සිතේ සහ
කයේ අන්‍යෝන්‍ය- සාපේක්ෂ- ක්‍රියාකාරී පැවැත්මට සිමාවේ. එම ලෞකික ප්‍රඥා-වචන මාර්ග
වලට, ඒවා නොපවතින තත්වය වන නිවණ විෂය නොවේ. ඒ නිසා ලෞකික ප්‍රඥා-වචන මාර්ග වලින් නිවණ
හරියටම විස්තර කළ නොහැක. ලෝකයේ සිට නිවණ තේරුම්
ගතහැකි ක්‍රමය වෙන්නේ, ලෝකය දුකක් බව නිවැරදිව තේරුම් ගෙන, සිත ලෝකයෙන් ඈත් කරගෙන,
විරාගය හරහා ලෝකය ඇති නොවන තත්වය සැබෑ කරගැනීමයි.
(කිඤ්‌චි සඞ්‌ඛාරං සුඛතො සමනුපස්‌සන්‌තො
අනුලොමිකාය ඛන්‌තියා සමන්‌නාගතො භවිස්‌සතීති නෙතං ඨානං විජ්‌ජති,)
-අ.නි.ඡක්කනිපාත.දුක්‌ඛසුත්‌තං-
ලෝකයේ කරන-කියන-හිතන යම් ක්‍රියාකාරීත්වයක්
සැප ලෙස දකිනතුරු, නිවණ අවබෝධයට අනුකුලතාව ඇති විය නොහැක.
(යං පරෙ සුඛතො ආහු, තදරියා ආහු දුක්‌ඛතො
යං පරෙ දුක්‌ඛතො ආහු, තදරියා සුඛතො විදූ.
පස්‌ස ධම්‌මං දුරාජානං, සම්‌මූළ්‌හෙත්‌ථ අවිද්‌දසු
නිවුතානං තමො හොති, අන්‌ධකාරො අපස්‌සතං)
-සං.නි.සලයතනවග්ග.පඨමරූපාරාමසුත්‌තං-
අනුන් සැප බව කියන දේ, ආර්යයන් විසින්
දුකයයි කියන ලදි. අනුන් දුක බව කියන දේ, සැප බව ආර්යයන් විසින් දකින ලදි. තේරුම් ගැනීමට
අපහසු ධර්මය, විනිවිද නොදකින අය මුළාවේ. අවිද්‍යාවෙන් වැසී නොපෙනෙන අයට මෙය අන්‌ධකාරයකි.
(8) නිවැරදිව දුක ඉවර වෙන මෙම ගැඹුරු
සිද්ධාන්තය තර්ක වලින් තේරුම් ගත නොහැකි, “අතර්කාවචර” ධර්මයකි. සමාජයේ සෑම
කෙනෙකුටම සමාන සැප සම්පත් තිබිය යුතුයි, කියන අමුලික සමාජවාදය සාධාරණ “තර්කයක්”
ලෙස පෙනුනත්, එය ප්‍රායෝගික නැත. පාප-කර්ම වල විපාක විඳින අයට සැප දීම හෝ පින් කළ
අයගේ සැප, උදුරා ගැනීම එසේ කළ නොහැකිය. ලෝකයේ ස්වභාවික පැවැත්ම යටතේ සැප-දුක් ඇති
වෙන්නේ, තම තමන් කරන- කියන- හිතන දේවල් වලින්ය. ලෝකයේ පවතින නියාම-ධර්ම වලට පිටින්
කිසිම යහපතක් කිරීමට නොහැකිය. නිවැරදි සමාජ වාදයකින් කල යුත්තේ, සමාජයේ සෑම
කෙනෙකුටම සමාන සැප ලැබෙන දිව්‍ය ලෝකයකටවත් යාම සඳහා බලෙන් හෝ ජනතාවට පන්සිල්
සමාදන් කරවීමය. එවැනි කුසල ධර්ම අනුන් ලවා බලෙන් කෙරෙව්වත්, යහපතක් මිස කාටවත්
හානියක් නොවේ. පවතින සමාජයට කරදර නැතුව සාමයෙන් සතුටින් සිටීමට ඒ හොඳටම ප්‍රමාණවත්ය.
බුදුරජාණන් වහන්සේ දේසනා කල පළවෙනි පන්සිල් පදයවත් තේරෙන සිංහල බෞද්ධයන් විසින්,
මිත්‍යා දෘෂ්ඨික රටවල ඝාතන-සමාජවාදයේ පරණ පව් වලට කරගැසීම අවශ්‍ය නැත.
එමෙන්ම නිවැරදිව දුක ඉවර කරන ආකාරයද, නූතන
සමාජවාදී තර්ක-විතර්ක වලට හසු නොවේ, එයට හේතුව සත්ව ලෝකය පවතින
පදනම තනිකරම දුකක් වන බැවිනි. ඒනිසා සත්වයා සහ ලෝකය යන සංකල්ප අනුව සිතන කිසිම
තර්කයක්, එම සංකල්ප වල පදනම වන දුක හා ලෝකය ඉක්මවා යාමට සමත් නොවේ. ලෝකයෙන් වෙන්
නොවී, දුකෙන් වෙන් වීමක් සිදු නොවේ. සත්වයා සහ ලෝකය
වශයෙන් ප්‍රායෝගිකව පෙනෙන්නට තිබෙන දේ කුමක්ද යන්න නිවැරදිව සම්පූර්ණ යෙන් තේරුම් නොගෙන,
සත්ව ලෝකයේ විඳින දුකට විසඳුම් සෙවීම, තමන්
නොදන්න ලෙඩකට බෙහෙත් සෙවීම වගේ අමූලික අසාර්ථක ප්‍රයත්නයකි.
(9) සත්වයා සහ ලෝකය නිවැරදිව තේරුම්
ගැනීමට හැකි වන විද්‍යාත්මක ධර්මය තනිවම ගවේෂණය කර සොයා ගෙන දේසනා කිරීමට අසම-සමවූ
බුදුරජාණන් වහන්සේ හැර ලෝකයේ වෙන කිසිම කෙනෙකුට නොහැකිය. “බුද්ධ” යන්නෙහි
තේරුම “අවබෝධවූ” යන්නයි. අවබෝධවූ බුදුරජාණන් වහන්සේ පහළ වන්නේ, ලෝකයේ සාමාන්‍ය
බුද්ධියෙන් විසඳුමක් නැති, ඉපදීම-ජරාජීර්ණවීම-මරණය යන මූලික දුක්ඛිත ස්වභාවයන් අසාමාන්‍ය
බුද්ධියකින් විසඳීමටයි. ලෝකයේ බහුතර ජනතාව මිථ්‍යා දෘෂ්ඨිකයන් බවට පත්වී අතරමංව
සිටින ආකාරයෙන්, මෙයට ලෝකයේ සාමාන්‍ය බුද්ධියෙන් විසඳුමක් නැති බව පැහැදිලිය.
(යෙ හි කෙචි සමණාවා බ්‍රාහ්‌මණාවා භවෙන
භවස්‌ස විප්‌පමො ක්‌ඛමාහංසු, සබ්‌බෙ තෙ අවිප්‌පමුත්‌තා භවස්‌මාති
වදාමි.)
-උදානපාලි.ලෝකසුත්තං-
ලෝකයේ පැවැත්ම තුලින්ම, ලෝකයේ පවතින
මරණයට විසඳුම් ඉදිරිපත් කරන අයට කවදාවත් ලෝකයෙන් නිදහස්වීමට නොලැබේ. ලෝකය වටේ
මළ-ගෙවල් වල යාම හැර ඔවුන්ට, මරණය අත්හැර ලෝකයෙන් පිටවී යාමට නොහැකිය.
(භව විප්‌පහානාය ඛො පන ඉදං බ්‍රහ්‌මචරියං
වුස්‌සති)
-උදානපාලි.ලෝකසුත්තං-
ලෝකයේ සිදුවෙන දේවල් සහ ලෝකයේ සිදු
නොවෙන දේවල් නිවැරදිව දැනගත් බුදුරජාණන් වහන්සේ විසින්, මරණය අත්හැර ලෝකයෙන් එතෙර
වීම සඳහා ලෞකික පැවැත්ම අවසන් කිරීමට කලයුතු බ්‍රහ්‌මචරියාව ප්‍රකාශයට පත්කරන ලදි.
අවුරුදු දෙදාහකට වඩා පැරණි බුද්ධ වචනය අනුගමනය කිරීමට, ලෝකයේ සිටින බුද්ධිමත් ප්‍රජාව
ස්වෙච්චාවෙන් සියල්ල අත්හැර ඉදිරිපත් වෙන්නේ, මෙයට ලොකයේ වෙන විසඳුමක් නැති බව
පැහැදිලි නිසාය.
(යං භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්‍රහ්මක ස්ස සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං
මනසා, තමහං අබ්භඤ්ඤාසිං. තං තථාගතස්ස විදිතං, තං තථාගතො න උපට්ඨාසි)
-අ.නි.චතුක්කනිපාත.කාළකාරාමසුත්තං-
-අ.නි.චතුක්කනිපාත.කාළකාරාමසුත්තං-
දෙවියන්- මාරයන්- බ්‍රහ්මයන්-
මිනිසුන් ඇතුලු ලෝකයා, දකින- අහන- විඳින- දන්න- පත්වෙන- සොයන- සිතන හැම දෙයක්ම
බුද්ධ ඤාණයට විනිවිද පෙනුනත්, බුදුවරුන් ඒවා දිහා බලා සිටීමට ඉදිරිපත් නොවේ.
නිරයේ සිට නිවණ දක්වා විද්‍යාමාන වන
භවයේ සියලු අවස්ථා සහ එම තත්වයන් වලට සත්වයන් යන විද්‍යාත්මක ක්‍රම බුදුරජාණන්
වහන්සේ විසින් සොයාගෙන ලෝකයට ප්‍රකාශ කරන ලදි. සංසාර පැවැත්ම යටතේ සත්වයන් ලෙස
ජීවත් වීමේදී සිදු වෙන්නේ උසස් හා පහත් වූ විවිධ සැප-දුක් විඳින ක්‍රියාකාරීත්වයකි.
නිරයේ සිටින සත්වයන් තනිකරම බරපතල දුක්විඳින අතර එහි කිසිම සැපක් නැත. නිරයට වඩා
තිරිසන් ලෝකය සැපයකි. තිරිසන් ලෝකයට වඩා ප්‍රේත ලෝකය සැපයකි. ප්‍රේත ලෝකයට වඩා
මනුස්ස ලෝකය සැපයකි. මනුස්ස ලෝකයට වඩා කාම දිව්‍ය ලෝක සැපයකි. කාම දිව්‍ය ලෝක වලට
වඩා බ්‍රහ්මලෝක සැපයකි. බ්‍රහ්මලෝක දක්වා තිබෙන විඳින සැපයට වඩා, ඒ විඳීම අතුරුදහන්වී නිවීයාම සුවයකි. මුලක් නොපෙනෙන අනන්තයක සිට ඇවිලෙන
සිත, පහනක් මෙන් නිවීයන අවස්ථාව නිවණ ලෙස හඳුන්වනු ලැබේ.
නිරයේ සිට බ්‍රහ්මලෝක දක්වා
අනුපිළිවෙලින් විඳින සැපය ක්‍රමයෙන් උසස් හා සියුම් වන අතර, ඊට සමගාමීව සිතේ ක්‍රියාකාරීත්වය සියුම් බවට පත්වේ. අරූපී බ්‍රහ්ම ලෝකයේදී,
කයක් නොමැතිව, සිතත් ඉතා සියුම්
තත්වයෙන් පවතී. මෙහිදී, සිත හා ක්‍රියාකාරීත්වය සියුම් වෙන තරමට එය සනීපයක් බව ප්‍රායෝගිකව
තේරුම් ගෙන, සිත-කය නොපවතින අවස්ථාව වන නිවණ, හොඳම සැපය ලෙස
සැලකිය යුතුය.
(යං කිඤ්‌චි වෙදයිතං තං දුක්‌ඛස්‌මිං)
-සං.නි.සලායතනවග්ග.රහොගතසුත්‌තං-
-සං.නි.සලායතනවග්ග.රහොගතසුත්‌තං-
විඳීමක් තිබෙන තැන, විඳීම ඉවර වෙන නිසා, සැප හා දුක යන දෙකම “විඳීම”
දුකක්ය. දුක “විඳීම” කොහොමත් දුකකි, සැප “විඳීම” ඉවරවීම දුකකි. විඳීමේ ක්ෂණික සැපය
තාවකාලික නිසා, සියලුම විඳීම් වල එකතුව තනිකරම දුකක් වන බව,
පැහැදිලිව තේරුම් ගතයුතුය. “විඳින” ජාතියේ සැප, විඳින විට ඉවර වෙන නිසා, නවත නැවත
අලුතෙන් උපදවා ගැනීමට සිදුවීම තවත් දුකකි.
(සුඛා භික්ඛවෙ
වෙදනා දුක්ඛතො දට්ඨබ්බා, දුක්ඛා වෙදනා සල්ලතො දට්ඨබ්බා, අදුක්ඛමසුඛා
වෙදනා අනිච්චතො දට්ඨබ්බා. යතො ඛො භික්‌ඛවෙ, භික්‌ඛුනො සුඛා වෙදනා දුක්‌ඛතො
දිට්‌ඨා හොති, දුක්‌ඛා වෙදනා සල්‌ලතො දිට්‌ඨා හොති,
අදුක්‌ඛම සුඛා වෙදනා අනිච්‌චතො දිට්‌ඨා හොති, අයං වුච්‌චති භික්‌ඛවෙ
භික්‌ඛු අරියො සම්‌මද්‌දසො...) -ඉතිවුත්තකපාලි.දුතියවෙදනාසුත්‌තං-
ලෝකයේ පවතින සැප “විඳීම” දුකක්ය, දුක
“විඳීම” ඇණයක්ය, උපේක්ෂාව “විඳීම” තාවකාලිකය. සැප-දුක් විඳීම ඒ අනුව දැකීම, සියලු
දුක් ඉවර වෙන, අර්ය භාවයට යන නිවැරදි දැකීමයි. කරන- කියන- හිතන- දැනෙන- පෙනෙන- විඳින
කිසිම විදිහක ක්‍රියාකාරීත්වයක් ඇති නොවීම හා සිත-කය නොපැවතීම නිවණේ තිබෙන
සනීපයයි. ලෝකයේ තිබෙන සියලුම කරදර වෙන්නේ සිත හා කය තිබෙන නිසාය, නිවණේ ඒ කිසිම
කරදරයක් නැත. නිවණේදී සිත සම්පූර්ණයෙන්ම නිවී ගොස් අතුරුදහන් වීම ගැන බය හිතෙන්නේ,
සිතේ ක්‍රියාකාරීත්වය තනිකරම දුකක්බව නොතේරෙන නිසයි. ධර්මය ඉගෙනගෙන තේරුම්ගත
යුත්තේ, ලෝකය තනිකරම දුකක් වෙන ආකාරය සහ නිවීමෙන් ඒ දුක
සනිපවී සුවය ලැබෙන ආකාරයයි.෴
No comments:
Post a Comment