Wednesday, April 3, 2013




7. ශුන්‍යතාවය.
(1) (සුඤ්‌ඤොලොකො, සුඤ්‌ඤොලොකොති, භන්‌තෙ වුච්‌චති. කිත්‌තාවතානු ඛො භන්‌තෙ, සුඤ්‌ඤො ලොකොති වුච්‌චතීති? යස්‌මාචඛො ආනන්‌ද, සුඤ්‌ඤං අත්‌තෙනවා අත්‌තනියෙනවා තස්‌මා සුඤ්‌ඤො ලොකොති වුච්‌චති) -සං.නි.සලා.සුඤ්‌ඤතලොකසුත්‌තං-

ලෝකය ශුන්‍යයි, කියනු ලැබේ! ලෝකය ශුන්‍යයි, කියන්නේ කෙසේද? ලෝකය නිර්මාණයවී තිබෙන සංයුතිය, ආත්මවලින් හා ආත්මයකට අයිති දේවල් වලින් ශුන්‍යයි, එම නිසා ලෝකය ශුන්‍යයි කියනු ලැබේ.මමසහ මගේ කියන දේවල් වලින් ලෝකය ශුන්‍යයි.
සත්වයෙක් ලෙස පෙනෙන්නේ, සිතේ හා කයේ ක්‍රියාකාරී පැවැත්මයි. ධර්මය නූගත් බහුතර ජනයාට කයේ විනාශය පැහැදිලි නිසා, කය එපාවී කයෙන් නිදහස්වීම සුදුසු බව පෙනේ. නමුත් සිතෙන් නිදහස් වීමට නොසිතන්නේ, අනන්ත සංසාරය පුරාම, මේ සිත, “මම- මගේ- මාවලෙස මමත්වයෙන් සැලකීමට පුරුදුවී ඇති නිසයි. ටික කාලයක්වත් පෙනෙන්නට තිබෙන කය, ආත්මය ලෙස ගත්තත්, ක්ෂණිකව පෙරළෙන සිත ආත්මයලෙස ගැනීම කොහෙත්ම නුසුදුසුය.

(...යමිදං වුච්‌චති චිත්‌තං ඉතිපි, මනො ඉතිපි, විඤ්‌ඤාණං ඉතිපි, තං රත්‌තියා ච දිවසස්‌ස ච අඤ්‌ඤදෙව උප්‌පජ්‌ජති අඤ්‌ඤං නිරුජ්‌ඣති) 
-සං.නි.නිදානවග්ග.අස්‌සුතවාසුත්‌තං-

කය තමන්ට වුවමනා විදිහට තබාගත නොහැකිව, නොකඩවා ජරාජීර්ණයට පත්වේ. සිත- මනස- විඤ්‌ඤාණය ලෙස හඳුන්වන දේ, කොහෙත්ම තමන්ට වුවමනා විදිහට නොපවතින අතර, ක්ෂණයක් පාසා අලුත් හා වෙනස් සිත් පහළවේ. සිත උපදින ආකාරය ප්‍රායෝගිකව විමර්ශනය කිරීමේදී එය, රිළවෙකුගේ ගමනට සමාන බව පැහැදිලිවේ. ගසක අත්තක් අල්ලාගෙන, ඒ අත්තට නගින රිළවා, ඊළඟට එය අතහැර වෙන අත්තක එල්ලෙන ආකාරයට, එක සිතක් ඉපදී, එය අතුරුදහන්වී, ක්ෂණිකව තවත් සිතක් උපදී. නැවත උපදින්නේ කලින් තිබුණ සිත නොවේ. සිතක් පහළ වූවිට, එම සිතේ තිබෙන තණ්හාව මගින් කර්ම නියාමය හා චිත්ත නියාමය අනුව තවත් සිතක් ඇති කිරීමට උනන්දු කරවා ඒ සිත අතුරුදහන්වේ. එම සිතේ තිබුණ ක්‍රියාකාරීත්වයට හා අරමුණට අනුරූපව ඊළඟට තව අලුත් සිතක් උපදින අතර, එය සිදුවන වේගය නිසා, සාමාන්‍ය ප්‍රඥාවට පෙනෙන්නේ එකම සිතක් දිගටම පවතින ලෙසය. නිතරම උපදින්නේ වෙනස් හා අලුත් සිතිවිලි බව, සුලු වෙලාවක් සිත දිහා බලා සිටින විට පෙනී යයි. සිත නොකඩවා වේගයෙන් ක්ෂණිකව උපදින හා අතුරුදහන් වන දෙයක් බව භාවනාව තුලින් පැහැදිලිව පෙනේ. ගිනි පෙල්ලක් හෝ වෙනත් ආලෝකමත් වස්තුවක් වේගයෙන් එහා මෙහා චලනය කරන විට, එය එකම රේඛාවක් මෙන් පෙනුනත්, තාත්විකව එවැනි රේඛාවක් නැත. එහි වේගය නිසා, එසේ තනි රේඛාවක් මෙන් පෙනීම හිස් මායාවකි. අධික වේගයෙන් ක්ෂණිකව උපදින සිත් පෙළක්, එකම සිතක් මෙන් පෙනීමත් එවැනිම හිස් මායාවකි.

(2) සිතට නිතරම යමක් සිතන්නට උවමනා බව, සිත දිහා බලා සිටින විට පැහැදිලි වේ. සිත නැවත්වීමට නොදී, නැවත නැවත නොකඩවා සිතිවිලි උපදවන්නට බල කරන, ඒ උවමනාව උනන්දුව වගේ පෙනෙන හැඟීම, සත්වයාගේ සංසාර පැවැත්ම දිගටම ගෙනියන භව-තණ්හාවයි. ඒ තණ්හාව ඉවර කිරීමෙන් සිතේ පැවැත්මට අරමුණක් නැතිව, සිත ඉපදීම නතරවී, සිත අතුරුදහන්වීම නිවීමයි. මෙහිදී, එසේ සිත අතුරුදහන් වීමෙන් කිසිම දුකක් ඇති නොවන අතර, උපදින-මැරෙන-දුක්විඳින-එපා වෙන කරදර සියල්ල පමණක් අවසන්වී නිවීයයි.
සිත-කය දෙකම ප්‍රායෝගිකව තමන්ට වුවමනා විදිහට පවත්වා ගැනීමට නොහැකිය. නොකඩවා වෙනස් වෙන හා නොකඩවා අලුතෙන් උපදින දේවල්වල පැවැත්ම දුකක්ය. වෙනස් වෙන හා දුකක් වෙන පැවැත්මක් ආත්මය ලෙස සැලකීමට ප්‍රායෝගිකව කැමති වෙන කිසිම කෙනෙක් නැත. තණ්හාවෙන් අල්ලාගෙන සිටින්නේ අවිද්‍යාවෙන් දුක්ඛ සත්‍යය ආවරණයවී තිබෙන නිසාය. වෙනස් වෙන, අලුතෙන් උපදින හැම දෙයක්ම දුක් කරදර වලට මූලික හේතුවයි. සිත-කය හෝ සිත-කය ආශ්‍රිතව දැනෙන-පෙනෙන-විඳින දේවල්, මම” හෝ “මගේ ආත්මයලෙස සැලකීම අවිද්‍යාවෙන් මුළාවීම නිසා කරන වරදකි. මම-මගේ ආත්මයලෙස හැඳින්වීමෙන් අපේක්ෂා කරන තත්වය, එසේ හඳුන්වන කිසිම දෙයකින් නොලැබේ. සත්වයා ලෙස පවතින්නේ සංක්ෂිප්තවූ ක්‍රියාකාරීත්වයක් පමණය.

තමන්ව ඝාතනය කරන අදහසින්, බොරු මිත්‍රකමක් පෙන්වන කෙනාව, මිත්‍රයෙක් හැටියට හිතාගෙන හිටියත්, අවස්ථාවක් ලැබුණ විට ඔහු තමන්ව මරා දමයි. ඔහු ඝාතකයෙක් බව තමන්ට පෙනෙන්නේ එවිටය. මුලදී ඝාතකයාව මිත්‍රයෙක් හැටියට දැකීම හා පසුව ඝාතකයාව නිවැරදිව දැකීම යනු, තමන්ගේ වැරදි සහගත දැකීම නිවැරදි කිරීමකි. ඝාතකයා මුල සිටම ඝාතකයෙක් විය. එමෙන්ම, සිතේ හා කයේ ක්‍රියාකාරීත්වයට “මම-මගේ-මාව” කියා හිතාගෙන හිටියත්, සිතේ හා කයේ ක්‍රියාකාරීත්වය තනිකරම දුකක් බව පෙනෙන කොට, ඝාතකයාව හඳුනාගත් ආකාරයට, සිත හා කය එපාවීම සිදුවේ. එවිට, සිතේ හා කයේ ක්‍රියාකාරීත්වය අතුරුදහන් වෙන නිවීම එකම සැනසීම බව පැහැදිලි වේ.

(සුද්ධ සඞ්‌ඛාර පුඤ්‌ජො අයං, නයිධ සත්‌තාඋපලබ්‌භති)
-සං.නි.සගාථවග්ග.වජිරාසුත්‌තං-

සිත-කය සහිත ලෝකයේ සංශුද්ධ ක්‍රියාකාරකම් ගොඩක් හැර, ප්‍රායෝගික සත්වයෙක් පෙන්විය නොහැක. තමන් කරන- කියන- හිතන ක්‍රියාකාරකම් හැර, මම හෝ මගේ වශයෙන් ගතහැකි ප්‍රායෝගික පදාර්ථයක් ලෝකයේ විද්‍යමාන නොවේ. යම් දෙයක් මගේකීමෙන් අපේක්ෂා කරන්නේ, එය මට වුවමනා විදිහට තබාගත හැකි බවයි. අනුන්ගේ දෙයක් මගේකීම, මුළාවී කරන වරදකි. “මගේ” කියන දේවල් සහ “මගේ” කියන අය, වෙනස් වෙන විට දුකක් ඇති වෙන්නේ, ඒවා “මට” වුවමනා විදිහට තබා ගැනීමට බැරිව අපේක්ෂා භංග වීමෙන්ය. “මගේම” කියන සිත-කය දෙකවත් “මට” වුවමනා විදිහට තබාගත නොහැකි නිසා, මගේ යන අදහස, එයින් අපේක්ෂා කරන ප්‍රායෝගික අර්ථය නොලැබෙන අර්ථ-ශුන්‍ය මිථ්‍යාවකි.

(අත්‌තනිවා භික්‌ඛවෙ සති, අත්‌තනියංමෙති අස්‌සාති? එවං භන්තෙ! අත්‌තනියෙවා භික්‌ඛවෙ සති, අත්‌තාමෙති අස්‌සාති? එවං භන්තෙ! අත්‌තනිච භික්‌ඛවෙ, අත්‌තනියෙච සච්‌චතො ථෙතතො අනුපලබ්‌භමානෙ, යම්‌පි තං දිට්‌ඨිට්‌ඨානං, සො ලොකො සො අත්‌තා, සො පෙච්‌ච භවිස්‌සාමි, නිච්‌චො ධුවො සස්‌සතො අවිපරිණාමධම්‌මො, සස්‌සතිසමං තථෙව ඨස්‌සාමීති, නනු අයං භික්‌ඛවෙ, කෙවලො පරිපූරො බාල ධම්‌මො?)
-ම.නි.මූලපණ්ණාසක.අලගද්‌දූපමසුත්‌තං-

මේ මම කියා, කියන්නේ හෝ සිතන්නේ, මගේ කියා, සිත හා කය තිබෙන කෙනෙක්ය. සිත-කය නැති ගස්-ගල් වලින්, මේ මම කියා කියන්නේ නැත. ඒ නිසා, මේ “මම” කියා කීමට නම්, “මගේ” කියන දෙයක් තිබිය යුතුය. යම් දෙයක් මගේකීමට නම් මමකියා දෙයක් තිබිය යුතු බව කොහොමත් පැහැදිලිය. මම සහ මගේ යන දෙකම සත්‍ය වශයෙන් ප්‍රායෝගිකව තාත්විකව නොලැබෙන විට, පරලොව සදාකාලික ලෝකයක්, ආත්මයක් දකින දෘෂ්ඨිය, අංගසම්පුර්ණ අන්ධබාල ලෝල හා ළාමක පුද්ගලයන්ගේ මිත්‍යා මතයක් පමණි.

(3) මෙම ශුන්‍යතා-ප්‍රතිසංයුක්ත ගැඹුරු ධර්මය අර්ථ දැක්වීමේදී, සත්වයා-පුද්ගලයා-දෙවියා-මනුස්සයා යනාදී සම්මත ලෝක ව්‍යවහාරය ඉක්මවා යන්නේ නැතිව, එම වචන වලින්ම කරුණු පැහැදිලි කරනු ලැබේ. සත්ව-පුද්ගල සඤ්ඤාවෙන් පවතින ලෝකයේ, ඒකාන්තයෙන්ම සත්වයන් නැති බව කීම, සියලු දෙනාටම එකසේ වැටහෙන්නේ නැත. බුදුරජාණන් වහන්සේ ධර්ම දේසනා කිරීමේදී, සම්මතය ව්‍යවහාර කරමින් අදාල පදවල අර්ථය ශුන්‍ය බව පෙන්වා, පද නිරුක්තිය හා අවබෝධය අතර ගැටීම වළක්වා ඇත. එය බුදුරජාණන් වහන්සේගේ අර්ථ දැක්වීම් වල ශ්‍රේෂ්ඨත්වයයි. ඒ නිසා සාමාන්‍ය ව්‍යවහාරයෙන්, නිවැරදි ශුන්‍යතා-ධර්මය තේරුම් ගැනීම වැදගත් වේ. දුක තරණය කිරීම සඳහා අවශ්‍ය වන්නේ අවබෝධය මිස වචන නොවේ. වචන සහ අවබෝධය නිවණේ ඇත්තේද නැත.

සත්වයෙක් විද්‍යාමාන නොවුනත්, තාත්විකව හා ප්‍රායෝගිකව බරපතල දුක් විඳීමක් තිබෙන නිසා, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ, දුක ඇතිවන තත්වය සහ දුක ඇති නොවන තත්වයයි. ඉපදීම- ජරාජීර්ණවීම- ලෙඩවීම- මරණය- සෝක-විලාප- දුක- දොම්නස යනාදී, තනිකරම දුක් කරදර ගොඩක් ආ‍වේනික වූ සත්වයන්, කල්පනා කළයුතු මූලික දේ වන්නේ, ප්‍රායෝගිකව මේ දුකෙන් ගැලවෙන ක්‍රමයක් මිස ආත්මය, ලෝකය, යනාදී ප්‍රායෝගිකව අර්ථ දැක්විය නොහැකි අමූලික-අතාත්වික-පදනම් විරහිත මිත්‍යා ගැන නොවේ. එවැනි දේවල් සිතීම, ලෙඩා පැත්තක සිටියදී වෙන අයට බෙහෙත් කීම වැනි අමන ක්‍රියාවකි. අමූලික දේවල් කල්පනා කිරීම දුකට විසඳුමක් නොවන අතර, එයින් දුක තවත් වැඩිවේ. අමූලික දෙවල් කල්පනා කරන විට කර්ම විපාක න්‍යාය නොපෙනී අවිද්‍යාවෙන් ආවරණය වී සදාකාලික සුරංගනා ලෝක ගැන සිහින මවන විට කරන පාප කර්ම වලින් අපාගත වේ. ප්‍රායෝගිකව පවතින කර්ම විපාක න්‍යාය නොදැක, මුළාවෙන මිත්‍යාදෘෂ්ඨි මෝහයට විපාක වශයෙන් තවත් අපාගත වේ.

(...අයොනිසො භික්‌ඛවෙ, මනසිකරොතො අනුප්‌පන්‌නා චෙව අකුසලා ධම්‌මා උප්‌පජ්‌ජන්‌ති උප්‌පන්‌නාච කුසලාධම්‌මා පරිහා යන්‌ති) 
-අ.නි.එකකනිපාත.වීරියාරම්‌භාදිවග්‌ග-

(...අයොනිසො භික්‌ඛවෙ, මනසිකරොතො අනුප්‌පන්‌නා චෙව විචිකිච්‌ඡා උප්‌පජ්‌ජති උප්‌පන්‌නාච විචිකිච්‌ඡා භිය්‍යොභාවාය වෙපුල්‌ලාය සංවත්‌තති) -අ.නි.එකකනිපාත.නීවරණප්‌පහානවග්‌ග-

(...අයොනිසො භික්‌ඛවෙ, මනසිකරොතො අනුප්‌පන්‌නා චෙව මිච්‌ඡාදිට්‌ඨි උප්‌පජ්‌ජති උප්‌පන්‌නා ච මිච්‌ඡාදිට්‌ඨි පවඩ්‌ඪති)

(...මිච්‌ඡා දිට්‌ඨිකස්‌ස භික්‌ඛවෙ, අනුප්‌පන්‌නා චෙව කුසලා ධම්‌මා නුප්‌පජ්‌ජන්‌ති උප්‌පන්‌නා ච කුසලා ධම්‌මා පරිහායන්‌ති)

(මිච්‌ඡාදිට්‌ඨිකස්‌ස, භික්‌ඛවෙ, අනුප්‌පන්‌නාචෙව අකුසලාධම්‌මා උප්‌පජ්‌ජන්‌ති උප්‌පන්‌නා ච අකුසලා ධම්‌මා භිය්‍යො භාවාය වෙපුල්‌ලාය සංවත්‌තන්‌ති) 
-අ.නි.එකකනිපාත.දුතියවග්‌ග-

අමූලික වශයෙන් කල්පනා කරන විට, කලින් නොතිබුණ අකුසල් උපදින අතර, කලින් තිබුණ කුසල් පරිහානියට පත්වේ!

අමූලික වශයෙන් කල්පනා කරන විට, කලින් නොතිබුණ විචිකිච්ඡාව උපදින අතරම, කලින් තිබුණ විචිකිච්ඡාව වැඩිවේ!

අමූලික වශයෙන් කල්පනා කරන විට, කලින් නොතිබුණ මිත්‍යාදෘෂ්ඨි උපදින අතර, කලින් තිබුණ මිත්‍යාදෘෂ්ඨි වැඩිවේ!

මිත්‍යා දෘෂ්ඨියෙන් කරන-කියන-හිතන සියල්ලෙන්ම, කලින් නොතිබුණ කුසල් නූපදින අතරම, කලින් තිබුණ කුසල් පරිහානියට පත්වේ. කලින් නොතිබුණ පාප අකුසල් උපදින අතරම, කලින් තිබුණ අකුසල් තවත් වැඩිවේ!

(මා භික්‌ඛවෙ පාපකං අකුසලං චින්‌තං චින්‌තෙය්‍යාථ! සස්‌සතො ලොකොතිවා අසස්‌සතො ලොකොතිවා... චින්‌තෙන්‌තාච ඛො තුම්‌හෙ භික්‌ඛවෙ, ඉදං දුක්‌ඛන්‌ති චින්‌තෙය්‍යාථ! අයං දුක්‌ඛ සමුද යොති චින්‌තෙය්‍යාථ! අයං දුක්‌ඛ නිරොධොති චින්‌තෙය්‍යාථ! අයං දුක්‌ඛ නිරොධගාමිනී පටිපදාති චින්‌තෙය්‍යාථ!)
-සං.නි.මහාවග්ග.චින්‌තසුත්‌තං-

ලෝකය සදාකාලිකද? ආත්මය සදාකාලිකද? යනාදී වශයෙන් කල්පනා කරන්න එපා! එවැනි අමූලික දේ කල්පනා කිරීම, මුළාවී අපාගතවෙන පාප අකුසල්ය.
කල්පනා කරනවා නම්, දුක මේකයි, කියා කල්පනා කරන්න! දුක උපදින්නේ මෙහෙමයි, කියා කල්පනා කරන්න! දුක ඇති නොවන තත්වය මේකයි, කියා කල්පනා කරන්න! දුක ඇති නොවන තත්වයට පත්වෙන මාර්ගය මේකයි, කියා කල්පනා කරන්න! එය බුදුරජාණන් වහන්සේ ලෝකයට අනුකම්පාවෙන් කරන ලද කාරුණික අවවාදයයි!

(4) (අවිජ්‌ජා නීවරණානං ඛො ආවුසො, සත්‌තානං තණ්‌හා සංයොජනානං තත්‍ර තත්‍ර අභිනන්‌දනා, එවං ආයතිං පුනං භව අභිනිබ්‌බත්‌ති හොති) 
-ම.නි.මූලපණ්ණාසක.මහාවෙදල්‌ලසුත්‌තං-

අවිද්‍යාවෙන් ආවරණය වුන සත්වයාගේ සිත, තණ්හාව මගින් තැති ගන්වා, යන යන තැන්වල ඇලෙමින් උනන්දු කරන අතර, නොකඩවා ක්‍රියාකාරී පැවැත්මක් නිර්මාණය කරගෙන යාම පුනර්භවයයි. මරණයෙන් කය විනාශ වෙනවිට, තණ්හාවෙන් ලෝකයට බැඳෙන සිත, කර්මය පදනම් කරගෙන වෙනත් කයකට ඇතුල්වී, අලුත් පැවැත්මක් නිර්මාණය කරගනු ලැබේ.

(යඤ්‌හි භික්‌ඛවෙ මඤ්‌ඤති, යස්‌මිං මඤ්‌ඤති, යතො මඤ්‌ඤති, යං මෙති මඤ්‌ඤති, තතො තං හොති අඤ්‌ඤථා. අඤ්‌ඤථාභාවී භවසත්‌තො ලොකො භවමෙව අභිනන්‌දති)
-සං.නි.සළායතනවග්ග.දුතියඑජාසුත්‌තං-

මේ සිත-කය තුලම තමන්ට දැනෙන, පෙනෙන දේවල් දිහා බලාගෙන, “ඒ මමයි”, “මාව එහි ඇත”, “එයින් පිටත මාව ඇත”, “එය මගේ” යනුවෙන් හිතන තරමක් හිතන්නේ, නොකඩවා වෙනස් වෙන තාවකාලික දේවල් ගැනය. සිතේ-කයේ ක්‍රියාකාරීත්වය හැර වෙන දෙයක්, මම-මාව-මගේ කියා සිතීමට නොහැක. හිතුවත් එවැනි දෙයක් පෙන්වීමට නොහැකිය.

“මම” වගේ පෙනෙන හැම දෙයක්ම “මම” බලා සිටියදීම වෙනස්වී ඉවරවී ගෙවී අතුරුදහන්වී යයි...
“මාව” වගේ පෙනෙන කිසිම දෙයක් “මට” උවමනා විදිහට පවතින්නේ නැත....
“මගේ” වගේ පෙනෙන හැම දෙයක්ම “මගෙන්” වෙන්වී වෙනස්වී ඉවරවී ගෙවී අතුරුදහන්වී යයි...
එවිට, කොච්චර වෙනස් වුනත්, මැරුණත් කමක් නෑ, මට “මම කෙනෙක්” ඕනෑ, කියා සිතන ලෝක සත්වයා, මේ සිත-කය නැවත නැවත දිගටම පවත්වාගෙන යාමට උනන්දුවේ. නැති “මම කෙනෙක්” ලබා ගැනීම සඳහා දිගටම ලෝකයේ පවතිමින් මරණයට කැපවී දුක් විඳීමට ඉදිරිපත් වේ. “මම කෙනෙක්” වෙනුවට ලොකයේ තිබෙන්නේ කෙළවරක් නැති “මළ-ගෙවල්” බව තේරුම් ගන්නේ නැත.

සිතේ හා කයේ තාවකාලික ක්‍රියාකාරීත්වයත් බාහිර ලෝකයත් නොකඩවා වෙනස් වෙනවිට, එය දරාගැනීමට නොහැකිව තැති ගැනීම නිසා නැවතත් ලෝකයම බදාගෙන ඉන්නට උනන්දු කර වන්නේ තණ්හාවයි. ඒ තණ්හාව සම්පූර්ණයෙන්ම එපාවීම-ඉවර කිරීම- අත්හැරීම- මුදාහැරීම- පරිත්‍යාග කිරීම හා තණ්හාව ඇති වන දේවල් වලට ආලය නොකිරීම මගින් ස්වභාවික පැවැත්ම අවසන් කිරීම සියලු දුක් වල අවසානයයි. සිත හා කය පහන් තිරයක් හා පහනක් මෙන්, රාගය-ද්වේශය-මෝහය අවුලවන්නේ, තණ්හාව නැමති තෙල් වලින්ය. අපාගත වන සංසාර පැවැත්ම අවුලවන ඉන්ධනය තණ්හාවයි. තෙල් ඉවරවී පහනක් නිවීයාම මෙන්, තණ්හාව ඉවරවීමෙන්, අනන්ත කාලයක සිට රාග ද්වේශ මෝහ ගිනි ඇවිලුන සිත නිවී අතුරු දහන්වේ. ඉපදීම-ජරාජීර්ණවීම-මරණය මවන භයානක සංසාර පැවැත්ම අවසන්වන එකම නිවැරදි ක්‍රමය එයයි. සිත හා කය ඉපදීමක් නොවෙන අවස්ථාව, දුක නැති තත්වයක් බව තේරුම් ගැනීමට නම්, ලෝකයේ විඳින දුක පැහැදිලිව දැකිය යුතුය.

දුක හා දුක ඇතිවෙන හැටි නිවැරදිව පැහැදිලිව නොදැන, දුකක් ඇති නොවන තත්වය තේරුම් ගැනීමට නොහැක. ලෝකයේ පැවැත්ම ක්‍රියාකාරීත්වයට සීමාවෙන නිසා, ක්‍රියාකාරීත්වය ඇති නොවෙන තැන, හිස් බවක් මෙන් ලෝකයට පෙනෙන්නේ, සිතේ හා කයේ පැවැත්ම ඉවරවෙන අවස්ථාව ලෝකයේදී කවදාවත් සිහිනෙන්වත් නොදකින ලද දෙයක් නිසාය.
එය වෙනස් නොවන ස්ථාවර සැපයක් බව අනාවරණය වීමට, අවිද්‍යාවේ ආවරණ ඉවත් කරගෙන දුක කුමක්ද කියා සම්පූර්ණයෙන් හා නිවැරදිව තෙරුම් ගත යුතුය. ලෝකයේ පවතින දුක ඉවර කිරීමට වෙන කිසිම ක්‍රමයක් නැත. කිසිම දුකක් හෝ ක්‍රියාකාරීත්වයක් ඇති නොවීම නිබ්බාණ තත්වයේ තිබෙන සුවයයි. කිසිම කෙනෙක් දෙවරක් නිවණ් දකින්නේ නැත. නිවණ අත්දුටු කෙනා නැවත ලෝකයට එන්නේ නැත. නිවණට සම්ප්‍රාප්ත වුවිට, කෙනෙක් වශයෙන් හැඳින්වීමට සිතක් හෝ කයක් ඉතුරු වෙන්නේද නැත.

(5) (කො ඉමං පථවිං විචෙස්‌සති, යම ලොකඤ්‌ච ඉමං සදෙවකං, කො ධම්‌මපදං සුදෙසිතං, කුසලො පුප්‌ඵමිව පචෙස්‌සති?) -ධම්මපද.පුප්පවග්‌ග-

ලස්සන මල් සොයාගෙන කඩන්නට දක්ෂ කෙනෙක් වගේ, මේ සුභාෂිත ධර්මය විමසා කඩා බලන්නට පුලුවන් කාටද? බුදුරජාණන් වහන්සේ නිවැරදිව පෙන්වා දුන්, නිරයේ සිට නිවණ දක්වා, යම ලෝකයත් දිව්‍ය ලෝකයත් හැදී තිබෙන “පස” විමසා බලන්නට දක්ෂයන් කවුද?

(එතු විඤ්‌ඤූ පුරිසො අසඨො අමායාවී උජු ජාතිකො, අහමනුසාසාමි, අහං ධම්‌මං දෙසෙමි. යථානුසිට්‌ඨං තථා පටිපජ්‌ජමානො නචිරස්‌සෙව සාමඤ්‌ඤෙව ඤස්‌සති, සාමං දක්‌ඛිති, එවං කිර සම්‌මා බන්‌ධනා විප්‌පමොක්‌ඛො හොති, යදිදං අවිජ්‌ජා බන්‌ධනාති) -ම.නි.මජ්ඣිමපණ්ණාසක.වෙඛනසසුත්‌තං-

සඨ-කපටි මායා කාරයන් නොවන, අවංකව කෙලින් කටයුතු කරන ජාතියේ, දැනුම් තේරුම් ඇති පුද්ගලයන් පැමිණෙන්න. බුදුරජාණන් වහන්සේ නිවැරදිව දෙසනා කරන ලද ධර්මය, තේරුම්ගෙන නිවැරදිව ප්‍රායෝගිකව පිළිපදින්න. ධර්මය නිවැරදිව පිළිපදින විට වැඩිකල් නොගොස්, මේ කියන ලද ආකාරයට තමන්ටම දැක ගන්නට හා දැනගන්නට ලැබේ.

මෙතෙක් කල් අමාරුවෙන් සිත හා කය පවත්වාගෙන තණ්හා වෙන් කරන-කියන-හිතන ලද හැම දෙයක්ම තනිකර දුකක් බවත්, ඒ සියල්ල තමන්ගේ නොදැනුවත්කම නිසා සත්‍ය විද්‍යමාන නොවීම නමැති අවිද්‍යාවෙන් අන්ධවී, බරපතල වැරදීමකින් කරන ලද බව තමන්ටම ප්‍රායෝගිකව පැහැදිලිව අවබෝධ වනු ඇත.

සත්වයෙක් වශයෙන් ලෝකය තුල ක්‍රියාත්මක වෙන තැනට තමන්ව තල්ලු කර උනන්දු කරවනු ලබන, ඒ තණ්හාව සම්පුර්ණයෙන්ම ඉවර කිරීමෙන්, ඒ තණ්හාව සම්පුර්ණයෙන්ම පරිත්‍යාග කර අත්හැරීමෙන්, ඒ තණ්හාව ගැන තිබෙන ආලය මුදාහැර නිදහස් වීමෙන් හා කරන-කියන-හිතන හැමදෙයක්ම එපාවී නැවත ඒවා ගැන කිසිම තණ්හාවක් ඇති නොවන තත්වයට පත් වීමෙන් සියලු දුක් කරදර ඉවරවෙන බව තමන්ටම ප්‍රායෝගිකව පැහැදිලිව අවබෝධ වනු ඇත.  

සත්වයාට දුක ලබාදෙන ඇණය වූ තණ්හාව ගලවන එකම ක්‍රමය වන්නේ, තමන් කරන-කියන-හිතන දේවල් වලින්ම ඇති වෙන ඒ තණ්හාව ඉවරවෙන ආකාරයට නිවැරදිව හැසිරීම පුරුදු කරන අර්යෂ්ඨාංගික මාර්ගය බව තමන්ටම ප්‍රායෝගිකව පැහැදිලිව අවබෝධ වනු ඇත. එම ආර්ය සත්‍ය අවබෝධය ලැබී මෙන් අනතුරුව මෙතෙක් කල් තමන්ට දුකක් වූ හැම දේකින්ම නිදහස්වී අවිද්‍යා බන්ධනයෙන් මිදෙන ආකාරය තමන්ටම තේරුම්ගත හැක. එම ආර්ය සත්‍ය අවබෝධවීම, මේ ලෝකයේ වෙන කළයුතු දෙයක් නැතිවන එකම ස්ථාවර විමුක්තියයි.෴

No comments:

Post a Comment