Wednesday, April 3, 2013



6. බ්‍රහ්මචරිය.
(1) (කරණීයං අත්ථං කුසලෙන, යං තං සන්‌තං පදං අභිසමෙච්‌ච)
-ඛුද්‌දකපාඨ.මෙත්‌තසුත්‌තං-

කුසලයෙන් කළයුතු පරම අර්ථය වන්නේ, ස්ථාවර සැනසීම වන නිවණ නිවැරදිව වටහා ගැනීමයි. නිවැරදිව නිවණ තේරුම් ගෙන, නිවැරදිව දුක ඉවර කරන ක්‍රමය වන, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිපැදීම බ්‍රහ්මචරියාවයි. බුද්ධසාසනයක් නැති කාලයේ බ්‍රහ්මයන්ගේ චර්යාවන් පුරුදුවීම සඳහා බ්‍රහ්මචරියාව කරනු ලැබේ. බ්‍රහ්මලෝකවල සත්වයන් ස්වභාවිකවම මිත්‍ර භාවය, කරුණාව, ප්‍රබෝධය, උපේක්ෂාව (මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා) යන උසස් මානසික චර්යාවන් වලින් යුක්තය. බ්‍රහ්ම විහාර ලෙස හැඳින්වෙන එම චර්යා-භාවනා පුහුණු වීමෙන්, බ්‍රහ්මයන්ගේ පැවැත්මට සමාන තත්වයට පත්වී, මරණයෙන් පසුව, බ්‍රහ්මලෝකයේ නැවත ඉපදීමට හැකිය. බ්‍රහ්මලෝකවල සැප විඳීමත් තාවකාලික වෙන නිසා, එය නිවැරදිව දුක ඉවර කරන ක්‍රියා මාර්ගයක් නොවේ.

බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවී, ලෝකයේ සිදුවෙන ක්‍රියාකාරී පැවත්ම හා ක්‍රියාකාරීත්වය අතුරුදහන්වන නිවණ, ස්වයං ඤාණයෙන් අවබෝධ කරගෙන පෙන්වාදෙනු ලබයි. බුදුරජාණන් වහන්සේ දේසනා කරන ධර්මයෙන්, නිවැරදිව දුක ඉවර වෙන, පිරිසිදු ආර්ය-බ්‍රහ්‌මචරියාව ප්‍රකාශ වේ.

මෙහිදී, සත්වයෙක් ලෙස පෙනෙනසේ දුකට භාජනය වෙන සිත හා කය, ප්‍රායෝගිකව හා විද්‍යාත්මකව ගැඹුරින් විමර්ශනය කරනු ලැබේ. එමගින් සත්වයන් ලෙස එක දිගට පවතින ප්‍රායෝගික පදාර්ථයක් ලෝකයේ නැති බව අනාවරණයවේ. එවිට සිත-කය පැවතීම තනිකරම බරපතල දුකක් බව පැහැදිලිවේ. ඒනිසා සිත-කය පැවැතීම අවසන් කරගෙන දුක ඉවර කිරීම ආර්ය බ්‍රහ්මචරියාවේ අරමුණයි. සාමාන්‍ය ප්‍රඥාවට විෂය නොවන මෙම අසාමාන්‍ය අද්භූත සත්‍යය, ආර්යෂ්ඨාංගික මාර්ගයෙන් උපදින ආර්ය ප්‍රඥාවට වැටහේ. එවිට ප්‍රඥාව දියුණුවීම හා ප්‍රායෝගික සත්‍ය දැකීම යන අංශ දෙක බ්‍රහ්‌මචරිය ක්‍රියාදාමයෙන් සිදුවේ. මෙහිදී, සත්වයාගේ පැවැත්ම දුකක් බව අවබෝධ වුවිට, දුකක් වන මෙම පැවැත්ම ගෙන යන්නේ සිතේ උපදින තණ්හාව නිසා බවත් අවබෝධවේ. තමන්ගේ සිතේ ඇතිවෙන ඒ තණ්හාව සම්පුර්ණයෙන්ම ඉවර කිරීමෙන්, සිතේ හා කයේ පැවැත්ම අවසන්වී නිවීමට පත්වෙන බවත් අවබෝධවේ. සිතේ හා කයේ පැවැත්ම ඉවරවෙන තැන ලෝකයක් නැති නිසා ලෝකයේ තිබෙන සාපේක්ෂ අර්ථ දැක්වීම් වලින් එම තත්වය පෙන්වීමට නොහැකිය. නමුත් මෙහිදී එය ප්‍රශ්නයක් නොවන්නේ, සිතේ හා කයේ පැවැත්ම තනිකරම දුකක් සහ ආත්මයක් නොවන බවට ප්‍රායෝගිකව පැහැදිලි වන නිසාය. ආත්මයක් නොවන සිතේ හා කයේ පැවැත්ම තනිකරම දුකක් නිසා, ඒ දුක ඉවර වීමෙන් කිසිම වරදක් නොවේ.

(2) කාන්තාරයක් මැද සිටින පුද්ගලයාට, කාන්තාර තරණය හෝ මරණය යන දෙකෙන් එකක් අනිවාර්ය වේ. ලෝකයේ ඉපදුන පුද්ගලයාට, ලෝකය තරණය හා මරණය යන දෙකම අනිවාර්ය වේ.

(අත්‌තදීපා භික්‌ඛවෙ, විහරථ අත්‌තසරණා අනඤ්‌ඤසරණා, ධම්‌මදීපා ධම්‌මසරණා අනඤ්‌ඤසරණා. කථඤ්‌ච පන භික්‌ඛවෙ භික්‌ඛු අත්‌ත දීපො විහරති අත්‌තසරණො අනඤ්‌ඤසරණො, ධම්‌මදීපො ධම්‌මසරණො අනඤ්‌ඤ සරණො? ඉධ භික්‌ඛවෙ භික්‌ඛු කායෙ කායානුපස්‌සී විහරති ආතාපී සම්‌පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣා දොමනස්‌සං. වෙදනාසු වෙදනානු පස්‌සී... චිත්‌තෙ චිත්‌තානුපස්‌සී... ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති)
 -සං.නි.මහාවග්ග.ගිලානසුත්‌තං-
මෙහිදී, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ අවවාදය වන්නේ, අනුන් විසින් තමන්ව තරණය කරවන තුරු බලා නොසිට, තමන්ව සහ ධර්මය සරණ කරගෙන, ලෝකය තරණය කර, මරණය ඉවර කිරීමයි. සරණ යනු තරණය කිරීමයි, “බුද්ධං සරණං ගච්ඡාමී” යන්නෙන් අදහස් කරන්නේ, බුදුරජාණන් වහන්සේව අනුගමනය කරමින් ලෝකය තරණය කිරීමට යන බවයි. “ධම්මං සරණං ගච්ඡාමී” යන්නෙන් අදහස් කරන්නේ, ආර්ය ධර්මය අනුගමනය කරමින් ලෝකය තරණය කිරීමට යන බවයි. “සඞ්ඝං සරණං ගච්ඡාමී” යන්නෙන් අදහස් කරන්නේ, ආර්ය සංඝයා වහන්සේලාව අනුගමනය කරමින් ලෝකය තරණය කිරීමට යන බවයි.

මෙහිදී මරණයට හා ලෝක තරණයට භාජනය වෙන්නේ, කයත්- වේදනාවත්- සිතත්- සිතට දැනෙන ධර්මත්, යන ප්‍රායෝගික ජීව-භෞතික සංයුතියයි. ඒ නිසා මුලින්ම, තමන්වත්- ලෝකයත්- මරණයත් හැදී තිබෙන, කය- වේදනාව- සිත- ධර්ම යන මරණ සාධක හතර නිවැරදිව තේරුම් ගතයුතුය. ලෙඩකට බෙහෙත් කිරීමට නම් ලෙඩා ගැන සම්පුර්ණ, නිවැරදි හා ප්‍රායෝගික අවබෝධයක් තිබිය යුතුය. එසේම තමන්ව හැදී තිබෙන හැටි තේරුම් නොගෙන, තමන්ට ආවේනිකවූ මරණය හෝ ලෝක තරණය සඳහා විසඳුම් සෙවීමට නොහැක.

තමන්ව තේරුම්ගෙන, ලෝකය තරණය කර, මරණයට මුහුණදී සියලු දුක් ඉවර කිරීම සඳහා තිබෙන එකම මාර්ගය වන්නේ, කය-වේදනාව-සිත හා සිතට දැනෙන ධර්ම ගැන නිවැරදිව සිහිය ඉදිරිපත් කරගෙන සිටීමයි. එනම්, සතිපට්ඨාන භාවනාවෙන්, කය-වේදනාව-සිත-ධර්ම යන සත්ව සංයුතිය පිළිබඳව සම්පුර්ණ, නිවැරදි හා ප්‍රායෝගික අවබෝධය ලබා ගැනීමෙන් පසුව තමන්ගේ සියලු ප්‍රශ්ණ තමන් විසින්ම විසඳාගෙන, වෙන කිසිම ප්‍රශ්ණයක් නැති තත්වයට පත්වේ.

මෙහිදී, ලේ-මස්-ඇට-නහර ආදිය එකතුවී පෙණ පිඩක් මෙන් හැදී තිබෙන, දිනපතා දිරායන- කුණුවෙන- ගඳ ගහන සරීරයේ හැටි හොඳට බලාගෙන කවදාවත් අමතක නොවනසේ සම්පූර්ණයෙන් තේරුම් ගැනීම කායානුපස්‌සනා භාවනාවයි.
බාහිර අරමුණු ස්පර්ශ වෙනකොට, දිය බුබුලු මෙන් ක්ෂණිකව උපදින-අතුරුදහන් වෙන සැප-දුක් වේදනාවල හැටි හොඳට බලාගෙන කවදාවත් අමතක නොවනසේ සම්පූර්ණ යෙන් තේරුම් ගැනීම වෙදනානුපස්‌සනා භාවනාවයි.
වල් වඳුරෙක් වගේ චපල ලෙස ක්ෂණිකව වෙනස් වෙමින් වෙව්ලමින් උපදින-අතුරුදහන් වෙන අතර, එකක් වගේ පෙනෙන මායාවක්වූ, සිතේ හැටි හොඳට බලාගෙන කවදාවත් අමතක නොවනසේ සම්පූර්ණයෙන් තේරුම් ගැනීම චිත්තානුපස්‌සනා භාවනාවයි.
ලෝකයේ සියලු දුක් කරදර ඇති වෙන හැටි සහ අතුරුදහන් වෙන හැටි හොඳට බලාගෙන කවදාවත් අමතක නොවනසේ සම්පූර්ණයෙන් තේරුම් ගැනීම ධම්මානුපස්‌සනා භාවනාවයි.

(...ධම්‌මට්‌ඨිති ඤාණං පුබ්‌බෙ, පච්‌ඡා නිබ්‌බානෙ ඤාණං...)
-සං.නි.නිදානවග්ග.සුසීමසුත්තං-

සත්‍ය දැකීමේදී, ලෝකයේ පවතින තත්වය අස්ථිරබව-දුකබව-ආත්මයක් නැති බව ධම්‌මට්‌ඨිති ඤාණයෙන් අවබෝධවේ. අනතුරුව, ක්‍රියා කාරීත්වය හා සිත-කය නොපවතින, ස්ථාවර තත්වයක සුවදායක සැනසීමක් තිබෙන බවට නිබ්‌බාන-ඤාණය පහලවේ. එවිට, මෙතෙක් කල් තිබුණ සියලු ආසාවල් ඉවර වීමෙන් පසු ලැබෙන විමුක්තිය තුලින් අසාමාන්‍ය විමුක්ති-ඤාණය පහල වේ. තමන්ගේ ස්වභාවික ඉපදීම ඉවරවූ බවත්, මෙම තත්වයට එහා වෙනත් පරමාර්ථයක් ලෝකයේ නැති බවත් එම අසාමාන්‍ය-අද්භූත විමුක්ති-ඤාණයෙන් අවබෝධවේ. මෙම ස්වයං ඤාණාවබෝධය ප්‍රායෝගිකව සැබෑකර ගැනීමෙන් බ්‍රහ්‌මචරිය වාසය අවසන්වේ.

(3) ආර්ය සත්‍ය තේරුම් ගැනීමේදී මූලික වශයෙන් අවධාරණය කරන්නේ, නොකඩවා වෙනස් වෙමින්, විනාශ වෙමින් තාවකාලිකව සිත-කය හටගැනීම හා පැවතීම තනිකරම දුකක් බවයි. සත්වයන් හැටියට පෙනෙන කිසිම ස්වභාවයක් ස්ථිරව නොපවතින අතර, ඉපදීම-ජරාජීර්ණවීම-මරණය යන ලක්ෂණ සත්ව ස්වභාවයට ආවේණිකය.

සත්ව ලෝකයේ සංයුතිය විවිධ ක්‍රම වලට බෙදා බැලීමෙදී, ඒ සියල්ල දුක ලබාදෙන මරණ සාධක බව පැහැදිලිවේ. දුක ඇති කරන දෙවල් මම-මාව-මගේ යනුවෙන් සැලකීමට බැරි නිසා, ආත්ම ලෙස අර්ථ දැක්වීමට සුදුසු කිසිම දෙයක් ලෝකයේ නැති බව අවබෝධවේ. නාම-රූප වශයෙන් කොටස් දෙකකට බෙදා බැලිය හැක. පංච ස්කන්ධ ලෙස රූපය-වෙදනා-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ යන රාශීන් පහකට බෙදනු ලැබේ. ආයතන ලෙස ඇස්-කන්-නාස-දිව-කය-මනස ලෙස කොටස් හයකට බෙදනු ලැබේ. එම අභ්‍යන්තර ආයතන හයට විෂය වෙන, රූප-සද්ද-ගන්ධ-රස-ස්පර්ශ-ධර්ම යන බාහිර ආයතන හයත් සමග කොටස් දොළහකට බෙදනු ලැබේ. ඒ දොළහත් සමග ඇස්-කන්-නාස-දිව-කය-මනස යන අභ්‍යන්තර ආයතන හයේ උපදින සිතිවිලි ගොඩවල් හයත් සමග දහඅටකට බෙදනු ලැබේ. මේ ආකාරයට සත්වයාගේ සංයුතිය විවිධ ක්‍රම වලින් සිය දහස් ගණන් කොටස් වලට බෙදා දැක්විය හැකි වුවත්, ආත්මයක් ලෙස අර්ථ දැක්විය හැකි කිසිම දෙයක් නොලැබේ.

කෙසෙල් ගසේ පොතු ගැලවීමෙන්, අරටුවක් නොලැබේ. එසේම, සත්වයෙක් ලෙස පෙනෙන, සිතේ හා කයේ, එක දිගට නොවෙනස්ව පවතින කිසිම දෙයක් අන්තර්ගත නොවේ. නාම-රූප වශයෙන් බෙදන විට, නාමධර්ම කොටසට අයත් වෙන්නේ ලෝකයේ තිබෙන ද්‍රව්‍යමය නොවන, ඇසට නොපෙනෙන, රූපයක් නැති, නාමිකව පමණක් දැනෙන සියලුම දේවල්ය. සිත හා සිතේ ඇතිවෙන කුසල් අකුසල් හැඟීම් ඇතුලු සජීවී අජීවී සියලුම දේවල්වල නම්ද, නාම ධර්මයන්ය. නිර්වාණය නාම ධර්මයක් වුණත්, එය ලෝක සංයුතියට සම්බන්ධ නැත. මෙහිදී නාමරූප ලෙස සලකන්නේ, නිවණ හැර අවසේස ලෝකයේ අන්තර්ගත වන දේවල්ය. රූප ධර්ම කොටසට අයත් වෙන්නේ ලෝකයේ තිබෙන ද්‍රව්‍යමය වූ, ඇසට පෙනෙන සහ නොපෙනෙන සියලුම භෞතික දේවල්ය.

මොන ක්‍රමයකින් බෙදා දැක්වුවත්, එමගින් සත්ව ලෝකයේ සංයුතිය පෙන්නුම් කරන බව පැහැදිලිව තේරුම් ගතයුතුය. සත්වයාගේ සංයුතිය වන, සිත-කය හා කරන- කියන- හිතන ක්‍රියාකාරීත්වය තනිකරම එපාවෙන දුකක් බවට පත්වෙන්නේ, ඒවායේ පැවැත්ම සම්පූර්ණයෙන් වෙනස්වී, ඉවරවෙන නිසාය. වෙනස් වෙන, ඉවරවෙන සිත-කය හා ක්‍රියාකාරීත්වය, “මම-මගේ-මාව” වශයෙන් සැලකීමෙන් සිදුවන්නේ දුක ලබාදෙන දේවල් වලට, මම-මගේ-මාව යනුවෙන් කියා ගැනීමයි. දුක ලබා දෙන දේවල්, මම-මගේ-මාව හැටියට අල්ලාගෙන දුක ඉවරයක් නොවෙන බව පැහැදිලිව තේරුම්ගත යුතුය.

කරන- කියන- හිතන ක්‍රියාකාරීත්වය හැර සත්වයෙක් හැටියට වෙන කිසිම දෙයක් නැති බව පැහැදිලි වෙන නිසා, සත්වයා යන සංකල්පය අර්ථයෙන් ශුන්‍යය. එපා-වෙන, දුකක් වෙන, ආත්ම යක් නැති ලෝකයේ තිබෙන හැම දෙයක්ම අත්හැර ලෝක යෙන් වෙන්වීම, නිදහස්වීම, නිවීම සුදුසුය. පටන්ගත් කෙලවර නොපෙනෙන අනන්ත සංසාරයේ, ඉවරයක් නැති සියලු දුක් කරදර වලින් ස්ථිරවම නිදහස්වීම සඳහා, ලෝකයේ තිබෙන සියල්ල අත්හැරීම සුදුසුය. මේ ආකාරයෙන් ප්‍රායෝගිකව නිවැරදිව පැහැදිලිව සත්‍ය තත්වය දකිනවිට, මේ දක්වා තිබුණ සියලු ආසාවල් වලින් සිත නිදහස් වීමෙන්, සියලු කරදර නිමා වෙන විමුක්තිය, නිවීම ප්‍රායෝගිකව සැබෑවක් බවට පත්වේ.

(සබ්‌බෙ සඞ්‌ඛාරා අනිච්‌චාති, යදා පඤ්‌ඤාය පස්‌සති,
අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙ, එස මග්‌ගො විසුද්‌ධියා!
සබ්‌බෙ සඞ්‌ඛාරා දුක්‌ඛාති, යදා පඤ්‌ඤාය පස්‌සති,
අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙ, එස මග්‌ගො විසුද්‌ධියා!
සබ්‌බෙ ධම්‌මා අනත්‌තාති, යදා පඤ්‌ඤාය පස්‌සති,
අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙ, එස මග්‌ගො විසුද්‌ධියා!) 
-ධම්මපද.මහාවග්‌ග-

සත්වයෙක් ලෙස පෙනෙනසේ, කරන- කියන- හිතන සියලු දේවල් අනිත්‍ය අස්ථිර බව හෝ දුකක් බව හෝ ආත්මයක් නැති ශුන්‍ය දේවල් බව ප්‍රායෝගිකව හා පැහැදිලිව තේරුම් ගැනීම, සියලු කරදර නිමාවෙන විසුද්ධි මාර්ගයයි.

(4) (අයං ඛො පන, කායො රූපී චාතුමහාභූතිකො මාතා පෙත්‌ති ක සම්‌භවො ඔදනකුම්‌මාසුපචයො අනිච්‌චුච්‌ඡාදන පරිමද්‌දන භෙදන විද්‌ධංසන ධම්‌මො, අනිච්‌චතො, දුක්‌ඛතො, රොගතො, ගණ්‌ඩතො, සල්‌ලතො, අඝතො, ආබාධතො, පරතො, පලොක තො, සුඤ්‌ඤතො අනත්‌තතො සමනුපස්‌සිතබ්‌බො)
-ම.නි.මජ්ඣිමපණ්ණාසක.දීඝනඛසුත්‌තං-

මවුපියන්ගෙන් පැවත එන රූප කයේ සංයුතිය, ඝන-ද්‍රව-තාප-වායු වලින් හැදී තිබෙන අතර, කන-බොන ආහාරපාන වලින් වර්ධනය වේ. දිරන කුණු අතුල්ලාගෙන-සම්බාහනය කරගෙන-සුවඳ ගල්වා ගෙන, අපිරිසිදු තැන් වහගෙන, එළියට ගලන කබ-සෙම-සොටු-ලේ-සැරව-දාඩිය ආදිය පිසදාගෙන තබා ගතයුතු සරීරය, කොයි මොහොතක හෝ සිත ඉවත්වූ විට දර කොටයක් මෙන් දිරායන පස් ගොඩක් බවට පත්වන තුරු නොකඩවා වෙනස් වෙන, කුණු වෙන ලේ-මස් හා කටු ගොඩක්ය. මේ කය තනිකරම සැරව ගෙඩියක්- ආබාධයක්- තුවාලයක්- වදයක්- දුකක්- ඇණයක්- අයිතියක් නැති තාවකාලික දෙයක්- ආත්මයක් නැති දෙයක්- තමන්ගේ නොවන දෙයක්- කිසිම හරයක් නැති හිස් දෙයක්, යනාදී වශයෙන් පවතින සත්‍ය තත්වය නිවැරදිව තේරුම්ගත යුතුය.

(සො තෙහි ධම්‌මෙහි චිත්‌තං පටිවාපෙති. සො තෙහි ධම්‌මෙහි චිත්‌තං පටිවාපෙත්‌වා අමතාය ධාතුයා චිත්‌තං උපසංහරති; එතං සන්‌තං එතං පණීතං යදිදං සබ්‌බසඞ්‌ඛාර සමථො සබ්‌බූපධි පටි නිස්‌සග්‌ගො තණ්‌හාක්‌ඛයො විරාගො නිරොධො නිබ්‌බානන්‌ති. සො තත්‌ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති) 
-අ.නි.නවක.ඣානසුත්‌තං-

එසේ සිත-කය පවතින ලෝකය සිතට එපා කරගෙන, සිත-කය නොපවතින තත්වය ගැන සිත යොමු කළ යුතුය. කරන- කියන- හිතන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නතර වීම, ලෝකයෙන් වෙන්වීම හා කිසිම දෙයක් අලුතෙන් ඇති නොවන, ස්ථාවර තත්වයක තිබෙන සැනසීම නිවීමයි.

(යථා බුබ්‌බුළකං පස්‌සෙ, යථා පස්‌සෙ මරීචිකං...) -ධ.ප.ලෝකවග්ග-

ලෝකයේදී දකින- අහන- විඳින- දැනෙන, සජීවී-අජීවී සියලුම දේවල් කිසිම හරයක් නැති, දිය බුබුලක්මෙන්-මිරිඟුවක්මෙන්-මායාවක් මෙන් බලන විට, ලෝකය සමග තිබෙන මරණ-සාධක සම්බන්ධතා බිඳී යාමෙන්, මෙතෙක් කල් තිබුණ සියලු ආසාවල් ඇතුලු සියලු කරදර වලින් සිත නිදහස් වීමෙන් ලබන පරම ස්ථාවර විමුක්තිය, නිවීම සැබෑවක් බවට පත්වේ.

(5) බුදුරජාණන් වහන්සේ දේසනා කළ, පෙර නොඇසූ අද්භූත ගැඹුරු ධර්මය අහන, දැනුම් තේරුම් ඇති අයට, ඒ අනුව දුක ඉවර කළහැකි බවට සද්ධාව ඇතිවේ. රාග-පථයක් වන ගිහි ජීවිතය තුල, රාගය වෙනස් කිරීම දුෂ්කර නිසා, මෙම බ්‍රහ්මචරිය ක්‍රියාදාමය සම්පූර්ණ කිරීමට ගිහි ජීවිතය බාධාවක් බව වැටහේ.

(ඉමස්‌මිං ධම්‌ම විනයෙ අනුපුබ්‌බ සික්‌ඛා, අනුපුබ්‌බ කිරියා, අනු පුබ්‌බ පටිපදා)
-උදානපාලි.උපොසථසුත්‌තං-

අනතුරුව එම නිවැරදි අරමුණෙන් පැවිදිවී, අනුපිළිවෙලින් පුහුණු කළයුතු බ්‍රහ්මචරිය ප්‍රතිපත්ති ක්‍රියාදාමයට අවතීර්ණවේ.

(...යත්‌ථ ඛො ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්‌ජති, නාහං තං ගමනෙන ලොකස්‌ස අන්‌තං ඤාතෙය්‍යං දට්‌ඨෙය්‍යං පත්‌තෙය්‍යන්‌ති වදාමි. න චාහං ආවුසො, අ‌පත්‌වාව ලොකස්‌ස අන්‌තං දුක්‌ඛස්‌ස අන්‌තකිරියං වදාමි. අපි චාහං ආවුසො, ඉමස්‌මිංයෙව බ්‍යාම මත්‌තෙ කළෙවරෙ සසඤ්‌ඤිම්‌හි සමනකෙ ලොකඤ්‌ච පඤ්‌ඤාපෙමි, ලොක සමුදයඤ්‌ච, ලොක නිරොධඤ්‌ච, ලොකනිරොධගාමිනිඤ්‌ච පටිපදං)
-අ.නි.චතුක්කනිපාත.රොහිතස්‌සසුත්‌තං-

උපදින-මැරෙණ දුකක් නැති ලෝකාන්තයට, ගමනින් යාමට නොහැකිය. ලෝකාන්තයට නොගොස් උපදින-මැරෙණ දුක අවසන් කිරීමටත් නොහැකිය. ආර්ය විනයට අනුව ලෝකයත්, ලෝකයේ ආරම්භයත්, ලෝකයේ අවසානයත්, ලෝකය අවසන් වෙන ක්‍රමයත්, මේ සිත හා කය තුලම පෙන්වාදෙනු ලැබේ. ලෝකයේ ශ්‍රේෂ්ඨතම ආශ්චර්ය අද්භූත විද්‍යාත්මක ආර්ය-ධර්මය අනුව, අහසට පොළවට සාපේක්ෂව ලෝකය හා ලෝකාන්තය මනින්නේ නැත. මෙහිදී, ලෝකය යන හැඟීම හා ලෝකය යන මානය තමන් තුල ඇති වීමට ප්‍රායෝගිකව හේතුවන දේ, ලෝකය ලෙස, හඳුන්වනු ලැබේ. තමන් කරන-කියන-හිතන දේවල් වලින් ලෝකය යන හැඟීමත්, ලෝකය යන මානයත් ඇතිවේ. ඒනිසා, තමන් කරන- කියන- හිතන දේවල් තමන්ගේ ලෝකය වේ. තමන්ම ක්‍රියාකාරී නොවී, ලෝකය හෝ තමන්ව අත්දැකීමට නොලැබේ. එවිට, ලෝකය සහ දුක ඉවරවෙන සැබෑ ලෝකාන්තය වෙන්නේ, තමන් කරන- කියන- හිතන සියල්ල අවසන් වෙන අවස්ථාවේ තිබෙන තත්වය වන නිවීමයි. ලෝකාන්තයට යන බ්‍ර‍හ්මචරිය වාසයෙන් ප්‍රායෝගිකව සිදු වෙන්නේ, තමන් කරන- කියන- හිතන සියල්ල විවෘතව- නිවැරදිව- පිරිසිදුව- කුසල සම්පන්නව පවත්වාගෙන සාමාන්‍ය මනුස්සත්වය ඉක්මවා යාමයි. කරන- කියන- හිතන සියල්ල සම්පූර්ණයෙන්ම පිරිසිදු වූවිට, සිත නිවැරදිව සමාධිගතවී ආසාවල් ඉවර වීමෙන් සියලු කරදර සනීපවේ. ඉන් පසුව කිසිවක් කරන්නට- කියන්නට- හිතන්නට අවශ්‍ය නැති තත්වයට පත්වී, සිතේ හා කයේ ඇවිලෙන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් අතුරුදහන්වී නිවීයන විමුක්තිය නිර්වාණයයි.

(6) (සෙය්‍යථාපි, භික්‌ඛවෙ, කුම්‌භො අනාධාරො සුප්‌පවත්‌තියො හොති, සාධාරො දුප්‌පවත්‌තියො හොති. එවමෙවඛො භික්‌ඛවෙ, චිත්‌තං අනාධාරං සුප්‌පවත්‌තියං හොති, සාධාරං දුප්‌පවත්‌තියං හොති. කො ච භික්‌ඛවෙ චිත්‌තස්‌ස ආධාරො? අයමෙව අරියො අට්‌ඨඞ්‌ගිකො මග්‌ගො...) -සං.නි.මහාවග්ග.කුම්‌භසුත්‌තං-

බිම තිබෙන වතුර කළගෙඩිය මේසයක් වැනි ආධාරකයක් උඩ තිබ්බොත් වැඩිකල් පවතින්නේ නැත. එසේම, ලෝකයේ තිබෙන සිත, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නමැති ආධාරකය උඩ තැබූ විට, වැඩිකල් පවතින්නේ නැත. ප්‍රායෝගිකව සිත අතුරු දහන් කිරීමෙන් නිවීමට පත්වන ආශ්චර්ය අද්භූත අත්දැකීම ලැබීම සඳහා යන ආර්ය අෂ්ඨාංගික මාර්ග බ්‍ර‍හ්මචරිය ආරම්භ වෙන්නේ සීලයෙන්ය.

(7) සීලය.
මෙහිදී, සීලය මගින් තමන් කරන සහ කියන සියලු දේ කුසල ධර්ම න්‍යායට අනුව අකුසලයෙන් තොරව, කුසලයෙන් යුක්ත වනසේ ප්‍රවේසමෙන් පවත්වමින්, නිවැරදි සීල-ආචාර ධර්ම පද්ධතියක් පුහුණුවේ. ඒඅනුව මූලික වශයෙන් පහත සඳහන් ශික්ෂා පද සමාදන්වී අනුගමනය කෙරේ.

සතුන් මැරීමෙන් හා සත්ව හිංසාවෙන් වැළකීම. සොරකම් කිරීමෙන් වැළකීම. මේථුන සේවනයෙන් වැළකීම. බොරු කීමෙන් වැළකීම. කේලම් කීමෙන් වැළකීම. පරුෂ වචන කීමෙන් වැළකීම. ප්‍ර‍ලාප කීමෙන් වැළකීම. පැලවෙන ගස් වැල් බීජ යනාදිය කැඩීමෙන් වැළකීම. උදේ වරුවෙන් පසුව ආහාර ගැනීමෙන්, ආහාර ද්‍ර‍ව්‍ය කල්තබා ගැනීමෙන් හා අමු අහාර ද්‍ර‍ව්‍ය පිළිගැනීමෙන් වැළකීම. සංගීත, නැටුම්, නාට්‍ය, සූදු, ක්‍රීඩා ආදී වල්මත් වෙන විකාර බැලීමෙන් හා කිරීමෙන් වැළකීම. ආභරණ පැළඳීම, සුවඳ ගැල්වීම ආදී සැරසිලි වලින් වැළකීම. උස හා සුඛෝපභෝගී ආසන පාවිච්චියෙන් වැළකීම. රත්තරන්, මැණික්, මුදල් යනාදී වටිනා වස්තු පිළිගැනීමෙන් වැළකීම. ස්ත්‍රීන්ව හා වහල් සේවකයන්ව පිළිගැනීමෙන් වැළකීම. විවිධ සතුන් පිළිගැනීමෙන් වැළකීම. වෙළඳ ව්‍යාපාර දේපල සම්බන්ධ කටයුතු වලින් වැළකීම. වෙදකම්, නැකත් බැලීම ආදී විවිධ රැකියා කිරීමෙන් වැළකීම. අනුන්ගේ මෙහෙකරුවන් වීමෙන් වැළකීම. කපටිකම්, වංචා, දූෂණ, භීෂණ හා ත්‍රස්තවාදී කටයුතු වලින් වැළකීම. ධර්මයට අදාල නොවන කතාබහ, වාදවිවාද වලින් වැළකීම.

මෙම ශික්ෂාපද සමාදන්වී පුහුණු වීමේදී, සුළු වරදක්වත් නොවන සේ ප්‍රවේසමෙන් තමන් කරන-කියන දේවල් නිවැරදිව විවෘතව, පවත්වාගනු ලැබේ. එමගින් අවංකව ලෝකයට මුහුණදිය හැකි වන අතර, සීලය මගින් නිවැරදි සුවයක් අත්විඳිනු ලැබේ.

(8) ඉන්ද්‍රිය සංවරය.
මෙහිදී, ඇස්-කන්-නාස-දිව-කය-මනස යන ඉන්ද්‍රිය වලට බාහිර ලෝකයෙන් එල්ලවෙන රූප-සද්ද-ගන්ධ-රස-ස්පර්ශ-ධර්ම යන විවිධ අරමුණු නිසා සිතේ අසහනය, ආසාව, ලෝභකම යනාදී පාප අකුසල් ඇතිවන බව මූලික වශයෙන් සළකා බැලිය යුතුයි. ඉන්පසු එවැනි අකුසල් සිතිවිලි ඇති නොවන පරිදි අදාල ඉන්ද්‍රිය වලට නුසුදුසු අරමුණු එල්ලවීම පාලනය කරමින් තපස් රැකීම ඉන්ද්‍රිය සංවරයයි.
(9) ආහාරයේ අර්ථය සලකාබැලීම.
මෙහිදී, මූලික වශයෙන් ආහාර ගැනීමට හේතුව සලකා බලමින් ආහාර ගතයුතුයි. ආහාර ගන්නේ සෙල්ලමටවත්, මත්වීමටවත්, මහත් වීමටවත්, ලස්සන වීමටවත් නොවේ. ආහාර ගත යුත්තේ කායික පැවැත්මට හා යැපීමටයි. බඩගින්න, මහන්සිය නිවා ගෙන පහසුවෙන් හා නිවැරදිව ජීවත් වෙමින් බ්‍ර‍මචරියාව කිරීමටයි. එමගින්, ආහාර ගැනීමේදී සිදු වෙන වැරදි අකුසල් වළක්වනු ලැබේ.

(10) නිදිවැරීම.
මෙහිදී, දවල් කාලය හා රාත්‍රී පළමු යාමයත්, රාත්‍රී අලුයම් යාමයත්, ඉඳගෙන හා සක්මන් කරමින් ගත කරන අතරතුර, සිතේ ඇති වෙන අකුසල ආවරණ සහිත හැඟීම් ඉවත් කරමින් සිත පිරිසිදු කරනු ලැබේ. රාත්‍රී මධ්‍යම යාමයේ සිංහ සෙය්‍යා වෙන්, දකුණ පසට ඇලවී, එක පාදයක් පසුකර අනෙක් පාදය තබාගෙන සයනය කළයුතුය.
(11) සිහි-කල්පනාව ඇතිකර ගැනීම.
මෙහිදී, කය සොලවා කටයුතු කරන විට, සිතේ සම්පූර්ණ අවධානය අදාල කායික ඉරියව් පැවැත්වීමට පමණක් යොමු කරගෙන තබාගෙන, සිතේ අසහනකාරී පාප අකුසල ආසාවල් ඇතිවීම වළක්වා ගෙන, හොඳ සිහි කල්පනාවෙන් එදිනෙදා සියලු කටයුතු කරනු ලැබේ. වටපිට බැලීම, අතපය සෙලවීම, පාත්තර සිවුරු දැරීම, වැසිකිළි කැසිකිළි යාම හා ගමන-සිටීම-ඉඳීම-නිදියෑම-නිදිවැරීම-කතාව-නිහඬවීම යනාදී කය සොලවන සෑම අවස්ථාවකම හිත සම්පූර්ණයෙන්ම අදාල කායික ඉරියව්ව කෙරෙහි යොමු කරගෙන හොඳ සිහිකල්පනාවෙන් කළ යුතුය.

(12) සතුටුවීම.
මෙහිදී, නිවැරදිව දුක ඉවර කිරීම සඳහා බුද්ධසාසනයේ පැවිදි වූ පුද්ගලයා තමන් අඳින සිවුරෙන් හා ආහාර අනුභව කරන පාත්‍රයෙන් සෑහීමට-සතුටට පත්විය යුතුය. අත්තටු දෙකෙන් යන කුරුල්ලෙක්‍ වගේ, පාත්තර-සිවුරු අරන් යන පැවිද්දෙක් වේ.
(13) නීවරණ ඉවත් කිරීම.
මේ දක්වා තමන් කරන-කියන-හිතන දේවල් වලින් සිදුවන රළු අකුසල් වළක්වා ගෙන, මීළඟට සිතේ යටපත්වී තිබෙන, මධ්‍යම හා සියුම් අකුසල් ඉවත්කිරීම සඳහා සුදුසු නිහඬ පරිසරයක වාසය කළ යුතුය. ආහාර ගැනීමෙන් පසුව ඇඟ කෙළින් තබාගෙන වාඩිවී, තමන්ගේ අභ්‍යන්තරයේ සිදුවෙන ක්‍රියාකාරීත්වය ගැන සිහිය ඉදිරිපත් කරගෙන නිසොල්මන්ව සිතේ හැසිරීම ප්‍රායෝගිකව නිරීක්ෂණය කළ යුතුය. ලෝභ-ද්වේශ-මෝහ යන අකුසල මූලයන් වල ප්‍ර‍බල ක්‍රියාකාරී ප්‍ර‍භේදයන් වන නීවරණ ධර්මයන්, සිතේ ඇති වෙන කරදරකාරී අකුසල් හැඟීම්ය. අසහනය, චිත්ත පීඩාව, කණස්සල්ල යනාදී සිතට අමාරු වෙන, සිතේ කරදර ඇතුලු සියලු අකුසල් නීවරණවේ. නීවරණ සිතේ තිබෙන තුරු කිසිම දෙයක් තේරුම් ගැනීමට නොහැකිව, ප්‍රඥාව අන්ධවී, අඤ්ඤාණ බවට පත්වේ. මෙසේ අවබෝධය වළක්වා සත්‍යය ආවරණය කරන ප්‍රධාන නීවරණ පහක් ඇත. එම නීවරණ හරියට තෙරුම් ගෙන ඒවා සිතෙන් ඉවත් කළ යුතුය.

කාම සැපයේ ආස්වාදයට අසාවෙන් ලොල් වෙන ලෝභ සහගත සිතිවිලි හෙවත් කාමඡන්ද නීවරණය සිතෙන් ඉවත් කරමින්, කාමවස්තු රාගය පහ කළයුතුය. කාම රාගයෙන් පෙළෙන සිත, එයින් නිදහස්වීම, හරියටම පරණ ණයක් ගෙවා දැමීමෙන් සිතට දැනෙන සහනයට සමානවේ.

අනුන්ට වෛර කරන හා අනුන් නැති කිරීමට හිතෙන දුෂ්ඨ සිතිවිලි හෙවත් ව්‍යාපාද-නීවරණය සිතෙන් ඉවත් කරමින්, මිත්‍ර‍ත්වය-අනුකම්පාව ඇති කරගෙන ද්වේශය පහ කළ යුතුය. දුෂ්ඨකමෙන් පෙළෙන සිත, එයින් නිදහස්වීම, හරියටම පරණ රෝගයක් සුව වීමෙන් සිතට දැනෙන සහනයට සමානවේ.

සිත ඇකිළී කම්මැළිවී නිදිමත වෙන ගතිය හෙවත් ථිනමිද්ධ නීවරණය සිතෙන් ඉවත් කරමින්, ප්‍ර‍බෝධමත්වී නිදිමත ගතිය පහ කළ යුතුය. නිදිමතෙන් පෙළෙන සිත, එයින් නිදහස් වීම, හරියටම බන්ධනාගාරයකින් නිදහස් වීමෙන් සිතට දැනෙන සහනයට සමානවේ.

සිත නොසන්සුන්වී ඇවිස්සෙන ගතියත්, එක විදිහකට සිටීමට බැරිව නුරුස්සන හා කනස්සලු ගතිය හෙවත් උද්ධච්ච- කුක්කුච්ච නීවරණය සිතෙන් ඉවත් කරමින්, අභ්‍යන්තරය සන්සුන් කරගෙන, නොසන්සුන් බව හා නුරුස්සන කනස්සල්ල පහ කළයුතුය. නොසන්සුන් කමෙන් හා නුරුස්සන ගතියෙන් පෙළෙන සිත, එයින් නිදහස් වීම, හරියටම වහල් කමකින් නිදහස් වීමෙන් සිතට දැනෙන සහනයට සමානවේ.
කුසල-ධර්ම ගැන විමසා, විචාරණය කර තේරුම් ගැනීමට අමාරුවෙන් අවිස්වාසයෙන් හිත හිතා සිටීම හෙවත් විචිකිච්ඡා නීවරණය සිතෙන් ඉවත් කරමින්, කුසල ධර්ම නිවැරදිව විමසා තේරුම්ගෙන විචිකිච්ඡාව පහකළ යුතුය. විචිකිච්ඡාවෙන් පෙළෙන සිත, එයින් නිදහස්වීම, හරියටම කාන්තාරයකින් එතෙර වීමෙන් සිතට දැනෙන සහනයට සමානවේ.

(තස්‌සිමෙ පඤ්‌ච නීවරණෙ පහීනෙ අත්‌තනි සමනුපස්‌සතො පාමොජ්‌ජං ජායති, පමුදිතස්‌ස පීති ජායති, පීතිමනස්‌ස කායො පස්‌සම්‌භති, පස්‌සද්‌ධ කායො සුඛං වෙදෙති, සුඛිනො චිත්‌තං සමාධියති) 
-දී.නි.සීලක්ඛන්ධවග්ග.සාමඤ්‌ඤඵලසුත්‌තං-
         
නීවරණ ඉවත් වූවිට සිත-කය ප්‍ර‍බෝධමත්වේ, ප්‍ර‍බෝධය නිසා නිරාමිස ප්‍රීතිය ඇතිවේ, නිරාමිස ප්‍රීතිය නිසා ඇඟට අමුතු පහසු වක් දැනෙන අතර, එම සුවපහසු බව නිසා සිත සමාධිගතවේ. සමාධියට සමථයට පත්වූ සිතෙන්, යම්කිසි දෙයක් සිදුවෙන ආකාරය නිවැරදිව පැහැදිලිව බලා ගැනීමට හැකිය.
(14) ප්‍රඥා-විමුක්ති මාර්ගය.
සත්‍ය අනාවරණය වීම වලක්වා, සිත ආවරණය කරන නීවරණ, සිතේ හටගන්නා වෛරස් මෙන් ක්‍රියාත්මකවී සිත දුර්වල කර, ප්‍රඥාව අතුරුදහන් කර, සිතට අමාරුවක් ඇති කරයි. ලෝකයේ විද්‍යමාන සත්‍යය නොපෙනෙන ලෙස ආවරණය කරන අවිද්‍යාව ඇති වන්නේ නීවරණ වෛරස් වලින්ය. එම නිසා නීවරණ සිතෙන් ඉවත්වූ විට, මාරාන්තික වෛරස් රෝගයක් සනීප වීම මෙන්, සිතට-කයට හොඳින් දැනෙන සැබෑ වෙනසක් ඇතිවේ. මේ තත්වයට පැමිණීම ප්‍රඥා-විමුක්තක්‍ර‍මයට නිවණ් අවබෝධය සඳහා ප්‍රමාණවත්ය. මෙහිදී, නීවරණ ඉවත් කර ගෙන, ධ්‍යාන සමාධි වලට නොගොස්, සත්‍ය අබෝධයට අවශ්‍ය අවම සමාධි මට්ටමක සිට ප්‍ර‍ඥාවෙන් අවිද්‍යාව හා ලෞකික සම්බන්ධතා බිඳීමෙන් නිර්වාණ සුවය සැබෑ කරගනු ලැබේ.

(කල්‌ලචිත්‌තං, මුදු-චිත්‌තං, විනීවරණ-චිත්‌තං, උදග්‌ග-චිත්‌තං, පසන්‌න-චිත්‌තං...) 
-ම.නි.මහාවග්ග.මහාපදානසුත්‌තං-

යම්කිසි දෙයක් ගැන සත්‍ය තත්වය අවබෝධ වීම සඳහා, සිත අවබෝධයට සුදුසු තත්වයට පත්විය යුතුය. සිත නිරාවරණයවී නම්‍යශීලීව, මෘදුව, උද්යෝගයෙන්, පැහැදිලිව, නිරවුල්ව අදාල කාරණයට යොමු කළ යුතුය. විවිධ හැඟීම් වලට වහල්වූ සිතට සත්‍ය නොපෙනේ. එසේම, තද හා දැඩි සිතට නොපෙනෙන දේවල් නම්‍යශීලී, මෘදු සිතකට පෙනේ. සිතේ කණගාටුවෙන්, අපැහැදිලි සිතින් හෝ අවුල් සිතින්ද යමක් නිවැරදිව තේරුම්ගත නොහැක. මෙහිදී, බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගිකව සත්‍යය අවබෝධ කරගත් ක්‍ර‍මය බුද්ධ සාසනය ලෙස ප්‍රකාශ කර ඇත.

(සබ්‌බ පාපස්‌ස අකරණං, කුසලස්‌ස උපසම්‌පදා
සචිත්‌ත පරියොදපනං, එතං බුද්‌ධානං සාසනං) 
-ධම්මපද.බුද්‌ධවග්‌ග-

සියලු අකුසල් නොකර සිටින විට, කුසලය විතරක් ඉතුරු වන සිත පිරිසිදුය. පිරිසිදු රෙද්දකට එකවරම කා-වදින පාට සායමක් මෙන්, පිරිසිදු සිතට සත්‍ය කා-වැදී අවබෝධවේ. මේ අනුව ක්‍රමයෙන් සිත පිරිසිදු කරගෙන, මූලික වශයෙන් කල්පනා කිරීමේදී, උපදින සත්වයාට තිබෙන ප්‍රධාන ප්‍රශ්ණය වන, දුක එන්නේ, තමන්ගේ තණ්හාවෙන් වහල් වෙලා කරන-කියන-හිතන දේවල් නිසා බව පැහැදිලිවේ. ඒ තණ්හාව සම්පූර්ණයෙන් ඉවර කිරීමෙන් දුක ඉවර වෙන බවත් පැහැදිලි වේ. තණ්හාව ඉවරවෙන මාර්ගය තමන්ගේ සිත පිරිසිදු කිරීම බවත් පැහැදිලි වේ. එම අවබෝධය ඇති වූවිට ලෝකය එපාවී, මෙතෙක් කල් තිබුණ සියලු ආසාවල් ඉවරවී යයි. තණ්හාව සම්පූර්ණයෙන්ම ඉවරවේ. තණ්හාවෙන් තොරවූ සිතේ පැවැත්ම මරණයේදී අතුරුදහන්වී නිවීයන බවත්, ඉන් පසුව කිසිම දෙයක් අළුතෙන් ඇති නොවන ස්ථාවර තත්වයක් තිබෙන බවත් පැහැදිලිවේ. තමන්ට ලෝකයේ වෙන කළයුත්තක් නැති බවට හා නැවත උපදින්නේ නැති බවට අසාමාන්‍ය විමුක්ති ඤාණය පහළ වේ.

(15) උභතෝභාග විමුක්ති මාර්ගය.
නීවරණ ඉවත්වූ සිතින් ධ්‍යාන සමාධි උපදවා, එමගින් පෙර ආත්ම සිහිකිරීම හා සත්වයන් උපදින-මැරෙන හැටි දිවැසින් බැලීම යන විද්‍යාවන් ලැබීමෙන් සත්‍ය අවබෝධ වනවිට, සියලු ආසාවල් ඉවරවී යාමෙන් නිවීමට පත්වීම උභතෝ-භාග ක්‍රමයයි. මෙහිදී, නිවණ අවබෝධ වන අසාමාන්‍ය ප්‍රඥාව හා උපරිම චිත්ත සමාධිය ලැබීම යන දෙපැත්තෙන්ම විමුක්තියක් ලබන නිසා එය උභතෝ-භාග විමුක්ති ලෙස හඳුන්වනු ලැබේ. ඊට අමතරව, පෙර ආත්ම සිහිකිරීම යනාදී විද්‍යාවන් නොලබා, ධ්‍යාන සමාධි උපයෝගී කරගෙන, සමාධිය ඔස්සේ සිතත්-කයත් නිරීක්ෂණය කිරීමෙන්ද, සත්‍ය අවබෝධවී සියලු ආසාවල් ඉවරවී නිවීම සිදුවේ. ධ්‍යාන නොලබා සත්‍ය අවබෝධ වුනත්, අවබෝධයේ වෙනසක් නැත. ධ්‍යාන සමාධියෙන් ලැබෙන විමුක්තිය තාවකාලිකව ලබන කුසලමය සැපයක් හා අවබෝධ යට උපකාර වෙන අංගයකි. (සමාධි-සම්බොජ්ඣඞ්ග)

කාම සැපය හා නීවරණ-ආවරණ අකුසල් ඉවත් කරගෙන පිරිසිදු කළ සිතෙන් පළමු ධ්‍යාන සමාපත්තියට සමවැදීමෙන් ලැබෙන අසාමාන්‍ය, අද්භූත නිරාමිස ප්‍රීති-සැපය, පිටි ගොඩකට වතුර උරාගන්නා ආකාරයෙන්, මුළු ඇඟපුරා පැතිරී පවතී. පළමු ධ්‍යානය පසුකර දෙවන ධ්‍යානයට සමවැදීමෙන් ලැබෙන අසාමාන්‍ය, අද්භූත සමාධි-සැපය, උල්පත් වලින් එන සිසිල් වතුර පිරි ළිඳක් මෙන් මුළු ඇඟපුරා පැතිරී පවතී. දෙවන ධ්‍යානය පසුකර තුන් වන ධ්‍යානයට සමවැදීමෙන් ලැබෙන අසාමාන්‍ය, අද්භූත සැපය, නෙළුම් පොහොට්ටුවක් වතුරට යටවී තිබෙන ආකාරයෙන් මුළු ඇඟපුරා පැතිරී පවතී. තුන්වන ධ්‍යානය පසුකර හතරවන ධ්‍යානයට සමවැදීමෙන් ලැබෙන අසාමාන්‍ය, අද්භූත උපේක්ෂා සහගත සියුම් සැපය, සුදු පිරුවටයකින් මුළු ඇඟම වසා තිබෙන ආකාරයෙන් මුළු ඇඟපුරා පැතිරී පවතී.

මෙසේ සිත, පිරිසිදුවී, මෘදුවී, නිශ්චලවී, කර්මන්‍යවී, කරදර පහවී, සමාධිගතවී තිබෙන විට ඇති වෙන අසාමාන්‍ය අද්භූත ඤාණයෙන් සිත හා කය දෙස බැලූ විට පෙනෙන්නේ, මැණික් ගලක සිදුරක් විද, ඒ තුලින් නූලක් යවා ඇති ආකාරයට, සිත හා කය එකිනෙක සම්බන්ධවී පවතින බවයි.

මෙසේ සමාධිගතවූ සිත, මනෝමය කාය නිර්මාණයට යොමු කලහැක. එවිට කොපුවකින් කඩුව එළියට ගැනීම මෙන් තමන්ගේ ඇඟෙන් තවත් අංගසම්පූර්ණ කයක් මැවීමට හැකිය.

මෙසේ සමාධිගතවූ සිත ඉර්ධි-විද්‍යාවට යොමු කල හැක. එවිට, සත්වයන් මැවීම, පොළවේ ගිලීයාම, වතුර උඩ ඇවිදීම, අහසින් යාම, ඉර-හඳ ඇල්ලීම යනාදී විවිධ ඉර්ධි ප්‍රාතිහාර්ය කළ හැකිය.

මෙසේ සමාධිගතවූ සිත, දිව්‍ය සෝතයට යොමු කළහැක. එවිට, දුර හා ළඟ, දිව්‍ය-මනුස්ස සද්ද වලට සවන්දීමට හැකිය.

මෙසේ සමාධිගතවූ සිත, අනුන්ගේ සිත් දැනගැනීමට යොමු කළහැක. එවිට, කණ්නාඩියකින් මූණ බැලීම මෙන්, අන්‍ය සත්වයන්ගේ සිත්වල හැඟීම් තමන්ගේ සිතින් දැනගත හැකිය.

මෙසේ සමාධිගතවූ සිත, පෙර ආත්ම සිහිකිරීමට යොමු කල හැක. එවිට, අතීතයේ ගිය සංචාරයක් නැවත සිහි කරන ආකාරයට, පෙර ආත්මවල විස්තර සිහි කිරීමට හැකිය.

මෙසේ සමාධිගතවූ සිත, සත්වයන්ගේ චුති-උප්පත්ති දැකීමට යොමු කළ හැක. එවිට, ගෙවල් දෙකක් අතරමැද සිටින කෙනෙක්, ඒ ගෙවල් වල මිනිසුන් ඇතුල්වෙන පිටවෙන හැටි දකින ආකාරයට, කර්මය අනුව සත්වයන් සුගතියට හා දුගතියට යන හැටි තමන්ටම දැකබලා ගතහැකිය. මිත්‍යා-දෘෂ්ඨිකයන් සහ වැරදි දේ කරන-කියන-හිතන අය, නිරය-තිරිසන්-ප්‍රේත යන දුගති අපාය වල උපදින හැටි බලාගත හැකිය. සම්මා-දෘෂ්ඨිකයන් සහ නිවැරදි දේ කරන-කියන-හිතන අය, දිව්‍ය-මනුස්ස යන සුගති ස්වර්ග වල උපදින හැටි බලාගත හැකිය.

මෙසේ සමාධිගතවූ සිත, ආසාවල් ඉවර කිරීම සඳහා යොමු කළහැක. එවිට, බොර වතුර තිබුණ පොකුණක වතුර පැහැදිලිවූ පසුව, පතුලේ සිදුවෙන හා තිබෙන දේවල් පැහැදිලිව පෙනෙන ආකාරයට, තමන්ගේ තණ්හාව නිසා බදාගෙන කරන-කියන-හිතන සියල්ල තනිකරම දුකක් බව පැහැදිලිවේ. ඒ තණ්හාව සම්පූර්ණයෙන්ම ඉවර වීමෙන්, තමන් කරන-කියන-හිතන සියල්ල නිමාවී, කිසිම දෙයක් අලුතෙන් ඇති නොවන ස්ථාවර තත්වයට පත්වීම නිවීම, සියලු දුක්වල අවසානය බවත් පැහැදිලිවේ. එය සිදු වෙන මාර්ගය, තමන්ගේ සිත පිරිසිදු කරගැනීම බවත් පැහැදිලි වේ. එවිට මෙතෙක් කල් තිබුණ සියලුම ආසාවල් ඉවරවීමෙන් සිත නිවෙන, වෙනස් නොවන ස්ථාවරයට පත්වේ. තවදුරටත් කළයුත්තක් නැතිබව හා නැවත උපදින්නේ නැති බවට අසාමාන්‍ය-අද්භූත ඤාණය පහළවේ.

(16)- (අප්‌පමිදං භික්‌ඛවෙ, මනුස්‌සානං ආයු. ගමනීයො සම්‌පරායො, කත්‌තබ්‌බං කුසලං, චරිතබ්‌බං බ්‍රහ්‌මචරියං, නත්‌ථි ජාතස්‌ස අමරණං) 
-සං.නි.සගාථවග්ග.දුතියආයුසුත්‌තං-

මිනිසුන්ගේ ආයුෂ අල්පයකි! පරලොව ගමන යා යුතුය! කුසල් කළ යුතුය! බ්‍රහ්‌මචරියාව කල යුතුය! ඉපදුන අයට අමරණිය වීමක් නැත!

(න තං දළ්‌හං බන්‍ධනං ආහු ධීරා, යදායසං දාරුජං පබ්‌බජඤ්‌ච,
සාරත්‌ත රත්‌තා මණි කුණ්‌ඩලෙසු,
පුත්‌තෙසු දාරෙසුච යා අපෙක්‌ඛා.
එතං දළ්‌හං බන්‍ධනං ආහු ධීරා, ඔහාරිනං සිථිලං දුප්‌පමුඤ්‌චං,
එතම්‌පි ඡෙත්‍වාන පරිබ්‌බජන්‌ති අනපෙක්‌ඛිනො කාමසුඛංපහාය)
-ධම්මපද.තණ්‌හාවග්‌ගො-

යකඩ මාංචු, ලණු, දම්වැල් ආදියෙන් බඳින බැඳීම්, දැඩි බන්ධන නොවේ. මුදල්-වස්තු-දේපල-ගෙවල්-අඹුදරුවන් ආදිය ගැන තිබෙන අපේක්ෂාව, ලෙහෙසියෙන් ගැලවීමට අමාරු දැඩි බන්ධනයයි. දරාගැනීමේ හැකියාව ඇති බුද්ධිමත් පුද්ගලයා ඒ බැඳීම් වුනත් බිඳගෙන කාම සැපය ගැන නොබලා පැවිදි වේ.

(නයිදං භික්‌ඛවෙ බ්‍රහ්‌මචරියං වුස්‌සති ජන-කුහනත්‌ථං, න ජන-ලපනත්‌ථං, න ලාභ-සක්‌කාර-සිලොකානිසංසත්‌ථං, න ඉති මං ජනො ජානාතූති. අථ ඛො ඉදං භික්‌ඛවෙ බ්‍රහ්‌මචරියං වුස්‌සති සංවරත්‌ථඤ්‌චෙව පහානත්‌ථඤ්‌චාති) (...අභිඤ්‌ඤත්‌ථඤ්‌චෙව පරිඤ්‌ඤත්‌ථඤ්‌චාති)
-ඉතිවුත්තකපාළි.පඨම/දුතියනකුහනසුත්තං-

මේ බ්‍රහ්‌මචරිය වාසය කළ යුත්තේ, කපටිකමින් ජනතාව රවටා අයුතු ප්‍රයෝජන ගැනීමට නොවේ, ජනතාව ඉදිරිපිට රඟපාමින්, මම මෙහෙම කෙනෙක් කියා ප්‍රදර්ශණය කරගෙන කයිවාරු ගැසීමටද නොවේ, ජනතාවගෙන් ලාබ-සත්කාර-කීර්ති-ප්‍රසංසා ලබාගෙන ගිහියන් වගේ ජීවත් වීමටද නොවේ.
මේ බ්‍රහ්‌මචරියාව කළ යුත්තේ, ලෝකය ගැන අංගසම්පූර්ණ, අසාමාන්‍ය, අද්භුත සත්‍ය අවබෝධය ලබාගෙන සියලු ආසාවල් ඉවර කිරීම සඳහාය, සියලු ආසාවල් අත්හැරීම සඳහාය, එමගින් තමන්ගේ සියලු දුක් කරදර ඉවර කිරීම සඳහාය.

(ධම්‌මචරියං බ්‍රහ්‌මචරියං එතදාහු වසුත්‌තමං)
-සුත්තනිපාත.ධම්මචරියසුත්තං-

ධර්මයේ හැසිරීම හා බ්‍රහ්‌මචරියාව ලෝකයේ උතුම් වාසයයි෴

No comments:

Post a Comment