4. අවිද්‍යාව.
(1) (අනමතග්‌ගො
ඛො සංසාරො. පුබ්‌බාකොටි න පඤ්‌ඤායති අවිජ්‌ජා නීවරණානං සත්‌තානං තණ්‌හා සංයොජනානං
සන්‌ධාවතං සංසරතං. අවිජ්‌ජායත්‌වෙව තමො කායස්‌ස අසෙස විරාග නිරොධො සන්‌තමෙතං පදං
පණීතමෙතං පදං යදිදං; සබ්‌බ සඞ්‌ඛාර සමථො, සබ්‌බූපධි පටිනිස්‌සග්‌ගො, තණ්‌හා ඛයො
විරාගො, නිරොධො, නිබ්‌බානං)
-සං.නි.මහාවග්ග.ආපණසුත්‌තං-
-සං.නි.මහාවග්ග.ආපණසුත්‌තං-
සත්ව-ලෝකයේ පැවැත්ම සහ පැවැත්ම
අතුරුදහන්වෙන ක්‍රමය නිවැරදිව නොපෙනීම හෙවත් අවිද්‍යාමානවීම, අවිද්‍යාවයි. සත්ව ලෝකයේ
ආස්වාදය හා ආදීනවය නොපෙනීමත් අවිද්‍යාවයි. එම අවිද්‍යාවෙන් අන්ධවී, තණ්හාවෙන්
ලෝකයට බැඳී යන සංසාරය මුල් කෙලවරක් නොපෙනෙන අනන්ත පැවැත්මකි. අවිද්‍යා අන්ධකාරය නැති
වන තුරු සිත දියුණු කිරීමෙන්, මේ පැවැත්ම අවසන්වී සියලු දුක් නිවීයාම සිදුවේ. කරන-
කියන- හිතන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නතර වීම,
ලෝකයෙන් වෙන් වීම හා කිසිම දෙයක් අලුතෙන් ඇති නොවන, ස්ථාවර
තත්වයක තිබෙන සැනසීම නිවීමයි. සත්ව සම්මුතියෙන් සිත-කය පැවතීම තනිකරම දුකක් බව
නිවැරදිව පැහැදිලිව දකින තුරු, නිවීමෙන් ලැබෙන සුවය හා
නිදහස පැහැදිලි නොවේ.
(2) සත්වයාට ලෝකයෙන් ආස්වාදයක්
නැත්නම් තවදුරටත් පැවැතීමට අරමුණක් නැත. අවිද්‍යාවෙන් අන්ධවී, වල්මත්වී ආස්වාදය සොයන
සත්වයා දූෂණ-භීෂණ-ත්‍රස්තවාද-රැවටිලි-වංචා- බොරු කීම- කේලම් කීම- වාදවිවාද යනාදී නානප්‍රකාර
පාපකර්ම කරගෙන අපාගතවේ. ඒ අවිද්‍යාව බිඳගෙන, විද්‍යාව උපදවා ගැනීමෙන් ලැබෙන
විමුක්තිය නිවන් සුවයයි. සත්වයන්ගේ පැවැත්මට මූලිකව හේතුවන අවිද්‍යාවත්, භව තණ්හාවත් මුලින්ම ඇති වූ අවස්ථාවක් පෙනෙන්නට නැත. ඒවාට හේතුවන ප්‍රායෝගික
කරුණු පෙනෙන්නට තිබේ. එනම්,
සත්වයන් ලෙස පැවතීමට බල කරන භව තණ්හාව
ඇති වෙන්නේ, පැවැත්ම දුකක් බව නොපෙනෙන අවිද්‍යාව නිසාය.
සත්‍ය ආවරණය කරන අවිද්‍යාව ඇති වෙන්නේ,
ප්‍රඥාව අන්ධ කරන නීවරණ පහ නිසාය.
නීවරණ සිතේ ඇති වෙන්නේ, කරන- කියන- හිතන දේවල් වල වැරදි නිසාය.
කරන- කියන- හිතන දේවල් වලින් වැරදි
සිදු වෙන්නේ, ඉන්ද්‍රිය අසංවර වීම නිසාය.
ඉන්ද්‍රිය අසංවර වෙන්නේ, සිහි කල්පනාව නැතිවන නිසාය.
සිහිකල්පනාව නැති වෙන්නේ, අමූලික දේ කල්පනා කරන නිසාය.
අමූලික දේවල් කල්පනා වෙන්නේ, සද්ධාව නැති නිසාය.
සද්ධාව නැති වෙන්නේ, වැරදි ධර්මය ඇසීම නිසාය.
වැරදි ධර්මය ඇසීම වෙන්නේ, අසත්පුරුෂ ආශ්‍රය නිසාය.
(3) විද්‍යාව සහ නිර්වාණ විමුක්තිය ලෝකයේ
පහළ වීමට හේතු වන ප්‍රායෝගික කරුණුද පෙනෙන්නට තිබේ. එනම්,
විද්‍යාව සහ විමුක්තිය පහළ වෙන්නේ, අවබෝධයට උපකාර වෙන බොජ්ඣංග ධර්ම හත නිසාය.
බොජ්ඣංග ධර්ම සිතේ උපදින්නේ, සතිපට්ඨාන භාවනා වෙන්ය.
සතිපට්ඨාන භාවනාව සිදුවෙන්නේ, කරන- කියන- හිතන දේවල් නිවැරදිව පවත්වා ගැනීමෙන්ය.
කරන- කියන- හිතන දේවල් නිවැරදි වෙන්නේ,
ඉන්ද්‍රිය සංවරය නිසාය.
ඉන්ද්‍රිය සංවර වෙන්නේ, සිහි කල්පනාව ඇති වීමෙන්ය.
සිහි කල්පනාව ඇති වෙන්නේ, මූලික වශයෙන් දුක ගැන කල්පනා කිරීමෙන්ය.
මූලික දේවල් කල්පනා වෙන්නේ, සද්ධාව නිසාය.
සද්ධාව ඇති වෙන්නේ, නිවැරදි ධර්මය ඇසීමෙන්ය.
නිවැරදි ධර්මය ඇසීම වෙන්නේ, සත්පුරුෂ ආශ්‍රයෙන්ය.
කන්දක් උඩට වහින වැහි වතුර
ඇල-දොල-ගංගා ඔස්සේ මුහුදට ගලාගෙන එන ආකාරයට, අසත්පුරුෂයාගෙන්
අවිද්‍යාව ගලා ගෙන එන බව හා සත්පුරුෂයාගෙන් විද්‍යාව ගලාගෙන එන බව තේරුම් ගෙන
අසත්පුරුෂ-බාලයන්ගෙන් ඈත්වී සත්පුරුෂයන් ඇසුරු කිරීම, නිවන් අවබෝධයට අත්‍යාවශ්‍ය ප්‍රධාන
අංගයකි.
(4) නිරයත්
නිවණත් අතර තිබෙන යම් සුගතියක් ලැබෙන්නේ තමන් විසින් අකුසල් ඉවත් කරගෙන, කුසල්
උපදවා ගන්නා ප්‍රමාණය අනුවයි. කුසල්-අකුසල් නොදැන, කුසලධර්ම
න්‍යායට ඇතුල් නොවී, අකුසල් ඉවත් කිරීමටවත්, කුසල් උපදවා
ගැනීමටවත් නොහැක. බුදුරජාණන් වහන්සේගේ සෑම වචන යකම මූලික හරය වෙන්නේ, කුසල්-අකුසල් පිළිබඳ න්‍යාය මගින් අකුසල් ඉවත් කරගෙන කුසල් උපදවා
ගැනීමයි.
අකුසල් සිදුවීමට මූලික වශයෙන් හේතු
වෙන්නේ, කර්ම-විපාක න්‍යාය ආවරණය කරන අවිද්‍යාව සහ පව්
කිරීමට ලැජ්ජාව-බය නැතිවීමයි.
කර්ම-විපාක න්‍යාය නොදන්න අවිද්‍යාගත අසත්පුරුෂයා
ලෝකය දකින්නේ මිත්‍යා දෘෂ්ඨියෙන්, වැරදි ආකාරයටයි.
ලෝකය වරදවා දකින පුද්ගලයා, කරන-කියන-හිතන සියල්ලම වැරදි සහගතය.
වැරදි චරිතය සහිත පුද්ගලයා, ජීවත් වෙන ක්‍රමය වැරදිය.
වැරදියට ජීවත් වෙන පුද්ගලයා, වෑයම් කරන්නේ
වැරදි දේවල් වලටය.
වැරදි දේවල් වලට වෑයම් පුද්ගලයාගේ සිහිය
පවතින්නේ, වැරදි දේවල් ගැනය.
වැරදි දේවල් ගැන සිහියෙන් සිටින පුද්ගලයාගේ
සිත එකඟ වෙන්නේ, සමාධිගත වෙන්නේ වැරදි දේවල් වලටය.
වැරදි දේවල් වලට එකඟ වෙන පුද්ගලයාගේ
ඤාණය වැරදිය.
වැරදි ඤාණය සහිත පුද්ගලයා,
විමුක්තිය-නිදහස ලෙස සළකන්නේ මිත්‍යාවකි.
මෙසේ, අවිද්‍යාව
නිසා නානප්‍රකාර වැරදි පාපකර්ම කරන අසත්පුරුෂයාගේ, වැරදි-දැකීමට
අනුව සම්මතවී, සමාදන්වී කරන-කියන-හිතන දේවල් ඇතුලු
චේතනා-ප්‍රාර්ථනා-අධිෂ්ඨාන සියල්ලේම ප්‍රතිඵලය වශයෙන් ලැබෙන්නේ, කවුරුවත් කැමති නොවන, එපාකරපු- අමිහිරි- අමනාප- දුක්ඛදායක විපාකයන්ය.
කොහොඹ ඇටය පොළවෙන් උරාගන්නා තරමක්
සාරයෙන් ලබා දෙන කොහොඹ ඵලය, කවුරුත් අකමැති, එපා කරපු, තිත්ත- කටුක- අමිහිරි
ඵලයකි. අමිහිරි බීජයෙන් අමිහිරි ඵලය ලැබීම මෙන්, ලෝකය
වැරදිවට දකින මිත්‍යා දෘෂ්ඨියේ විපාක ලෙස, අන්තිම එපා කරපු නිරයේ හෝ
තිරිසන් අපායේ ඉපදීම සිදුවේ. අසත්පුරුෂ ආශ්‍රයෙන් අපාගත වෙන හැටි නිවැරදිව තේරුම්
ගෙන, අසත්පුරුෂයාගෙන් හැකි තරම් ඈත්වී වාසය කිරීම නිවැරදි
සුගතිගාමී ප්‍රතිපත්තියයි.
(5) කුසල් සිදු වීමට මූලික වශයෙන්
හේතු වෙන්නේ, කර්ම-විපාක න්‍යාය විනිවිද පෙනෙන විද්‍යාව
සහ පව් කිරීමට ලැජ්ජාව-බය ඇති වීමයි.
කර්ම-විපාක න්‍යාය තුලින් නිවැරදිව
ලෝකය විනිවිද දකින සත්පුරුෂයාට සම්මාදෘෂ්ඨිය ඇතිවේ.
ලෝකය නිවැරදිව දකින පුද්ගලයා, කරන-කියන-හිතන සියල්ලම නිවැරදිය.
නිවැරදි චරිතය සහිත පුද්ගලයා ජීවත් වෙන
ක්‍රමය නිවැරදිය.
නිවැරදිව ජීවත් වෙන පුද්ගලයා, වෑයම් කරන්නේ
නිවැරදි දේවල් වලටය.
නිවැරදි දේවල් වලට වෑයම් පුද්ගලයාගේ සිහිය
පවතින්නේ, නිවැරදි දේවල් ගැනය.
නිවැරදි දේවල් ගැන සිහියෙන් සිටින පුද්ගලයාගේ
සිත එකඟ වෙන්නේ, සමාධිගත වෙන්නේ නිවැරදි දේවල් වලටය.
නිවැරදි දේවල් වලට එකඟ වෙන පුද්ගලයාගේ,
ඤාණය නිවැරදිය.
නිවැරදි ඤාණය සහිත පුද්ගලයා,
විමුක්තිය-නිදහස ලෙස සළකන්නේ නිවැරදිව දුක ඉවරවෙන නිවණයි.
මෙසේ, විද්‍යාව
නිසා නිවැරදි පුණ්‍ය කර්ම කරන සත් පුරුෂයාගේ, නිවැරදි-දැකීමට
අනුව සම්මතවී, සමාදන්වී කරන-කියන-හිතන දේවල් ඇතුලු
චේතනා- ප්‍රාර්ථනා- අධිෂ්ඨාන සියල්ලේම ප්‍රතිඵල වශයෙන් ලැබෙන්නේ, කවුරුත් කැමති වෙන, ආස කරන-මිහිරි-ප්‍රියමනාප-සැපදායක විපාකයන්ය.
මිදි ඇටය පොළවෙන් උරාගන්නා තරමක්
සාරයෙන් ලබා දෙන මිදි ඵලය, කවුරුත් කමැති, ආස කරන, රසවත්-මිහිරි ඵලයකි. රසවත්
බීජයෙන් රසවත් ඵල ලැබීම මෙන්, ලෝකය නිවැරදිව දකින සම්මා
දෘෂ්ඨියේ විපාක ලෙස, කවුරුත් කමැති වන දිව්‍ය-මනුස්ස ලෝකවල
ඉපදීම සිදුවේ. සත්පුරුෂ ආශ්‍රයෙන් සුගතියට යන හැටි නිවැරදිව තේරුම් ගෙන
සත්පුරුෂයන් ආශ්‍රය කරගෙන වාසය කිරීම නිවැරදි සුගතිගාමී ප්‍රතිපත්තියයි.
(6) නිවන්
අවබෝධ කර ගැනීමේ සහජ හැකියාව තිබුණ අජාසත්ත රජතුමා, අසත්පුරුෂ
දේවදත්ත ඇසුරු කිරීම නිසා නිරයට ගියේය. පැවිද්දෙක්වූ දේවදත්තව ඇසුරු කල ගිහි-පැවිදි
දෙපක්ෂයේම අය අපාගතවිය. අංගුලිමාල, අපාගත වෙන පාප කර්ම කළ කෙනෙක් වුනත්, සත්පුරුෂ
බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කිරීම නිසා නිවණට ගියේය. බුදුරජාණන් වහන්සේව ආශ්‍රය
කිරීමෙන් සුගතියට ගිය සත්වයන් අප්‍රමාණය. බුදුරජාණන් වහන්සේට සතුරු වීමෙන්
දේවදත්තට හානියක් නොවූ අතර, දේවදත්තට මිතුරු වීමෙන් අජාසත්ත රජු තමන් ගේ සහජ
නිවන්-මාර්ග ප්‍රඥාව විනාස කරගෙන අපාගත විය. අසත්පුරුෂ බාලයාගේ මිත්‍රයෙක් වෙනවාට වඩා,
සත්පුරුෂයාට සතුරුවී සිටීම වුනත් යහපත් බව එයින් පැහැදිලිය.
සත්පුරුෂයා සතුරෙකුටවත් හානියක් නොකරන
අතර, අවිද්‍යාවෙන් අන්ධවූ අසත්පුරුෂයා අවස්ථාවාදීව මිතුරන්ටත් සතුරුවේ. අඹ ගොඩක එක
ගෙඩියක් කුණුවී නරක් වුවිට, අඹ ඔක්කොම නරක්වීම වලක්වන්නට නම්, ඒ නරක් වුන ගෙඩිය
වහාම ඉවත් කළ යුතුය. නරක අසත්පුරුෂ බාලයන් බහුල සමාජයේ තමන් අපායෙන් ගැලවෙන්නට නම්,
අනිවාර්යෙන්ම අසත්පුරුෂයන්ගෙන් ඈත් විය යුතුය.
(චරඤ්‌චෙ නාධිගච්‌ඡෙය්‍ය, සෙය්‍යං සදිසමත්‌තනො
එකචරියං දළ්‌හං කයිරා, නත්‌ථි බාලෙ සහායතා)
-ධ.ප.බාලවග්‌ග-
-ධ.ප.බාලවග්‌ග-
තමන්ට වඩා හොඳ කෙනෙක් හෝ සමාන
කෙනෙක් ආශ්‍රයට නොලැබුනොත්, එකලා චරිතය දැඩිව කල යුතුය. අසත්පුරුෂ බාලයා ළඟ සහයෝගිතාවයක් නැත. කළගුණ නොතේරෙන අසත්පුරුෂ බාලයාට
අනුකම්පා කිරීමට යාමෙන්ද කරදර සිදුවේ. ඒනිසා, දුගඳ හමන අසූචි වලක් මගහැර නහය
වසාගෙන, අහක බලාගෙන, ඈත්වී යන ආකාරයට අසත්පුරුෂ බාලයාව නිවැරැදිව හඳුනාගෙන, ඈත් කල
යුතුය.
කල්‍යාණමිත්‍ර සත්පුරුෂයන් ආශ්‍රය හා
පාපමිත්‍ර අසත්පුරුෂ යන්ගෙන් ඈත් වීම, සුගතියට යාම සඳහා
තිබිය යුතු අනිවාර්ය ප්‍රතිපත්තියකි. කල්‍යාණ යනු නිදොස් හා සුදුසු බවයි. කාටවත්
කිසිම දෝෂයක්, වරදක් නොවනසේ ආශ්‍රය කිරීමට සුදුසු මිත්‍රයා, කල්‍යාණ-මිත්‍රයාය.
සියලු වැරදි වලට මුල්වෙන රාගය-ද්වේශය-මෝහය ඉවර කල ආර්ය පුද්ගලයා නියම කල්‍යාණ-මිත්‍රයාය.
(...පාපමිත්‌තස්‌ස, භික්‌ඛවෙ, අනුප්‌පන්‌නා චෙව අකුසලා ධම්‌මා උප්‌පජ්‌ජන්‌ති
උප්‌පන්‌නා ච කුසලා ධම්‌මා පරිහායන්‌තී)
(කල්‍යාණ මිත්‌තස්‌ස, භික්‌ඛවෙ, අනුප්‌පන්‌නා චෙව කුසලා ධම්‌මා උප්‌පජ්‌ජන්‌ති
උප්‌පන්‌නා ච අකුසලා ධම්‌මා පරිහායන්‌තී)
-අ.නි.එකකනිපාත.වීරියාරම්‌භ/කල්‍යාණමිත්‌තවග්‌ග-
නුසුදුසු පාප මිත්‍රයා ඇසුරු කරන විට,
කලින් නොතිබුණ අකුසල් උපදින අතර, කලින් තිබුණ කුසල් පරිහානියට පත්වේ!
සුදුසු කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරන විට,
කලින් නොතිබුණ කුසල් උපදින අතර, කලින් තිබුණ අකුසල් පරිහානියට පත්වේ!
බුදුරජාණන් වහන්සේ ලෝකයේ පුරෝගාමී කල්‍යාණමිත්‍ර
සත් පුරුෂයාණන්ය. දෙවියන්ට හා මිනිසුන්ට සුගතියට මග පෙන්වන, අනුත්තර ශාස්තෘවරයාය,
ලෝකය විනිවිද දකින බුද්ධඤාණයෙන් යුක්තව, පිරිසිදු බවෙන් හා විවෘත්ත බවෙන්
අගතැන්පත්වූ ලෝක නායකයාණන්ය. බුදුරජාණන් වහන්සේ දේසනා කල සුභාෂිත ධර්මයෙන්, ප්‍රායෝගිකව
ලෝකයේ සිදු වෙන සියල්ල පැහැදිලි වේ. ඤාණවන්තයන් විසින්, තමන් තුලින් විනිවිද දැකිය
යුතු මේ ධර්මයෙන් සත්වයා සුගතියට පමුණුවනු ලැබේ. ඉපදීම- ජරාජීර්ණවීම- ලෙඩවීම- මරණය-
සෝක- විලාප- දුක්- දොම්නස් යනාදී නොයෙක් දුක් කරදර ආවේනිකවූ සත්වයන්, සත්පුරුෂ බුදුරජාණන් වහන්සේ ඇසුරින්, ඒ සියලු
දුක් කරදර වලින් මිදී නිදහස්වී, නිවන් සුවයට සම්ප්‍රාප්තවේ. කල්‍යාණ කුසලයේ උපත, කල්‍යාණ-මිත්‍ර
සත් පුරුෂයා වන අතර, පාප-අකුසලයේ උපත, පාපයට මිත්‍රවූ පාප-මිත්‍ර අසත්පුරුෂයාය.
(න භජෙ පාපකෙ මිත්‌තෙ, න භජෙ පුරිසාධමෙ
භජෙථ මිත්තෙ කල්‍යෙණෙ, භජෙථ පුරිසුත්තමෙ)
-ධ.ප.පණ්ඩිතවග්‌ග-
-ධ.ප.පණ්ඩිතවග්‌ග-
අධම පාප-මිත්‍රයන්ගෙන් වෙන් වෙන්න
උත්තම කළ්‍යාණ මිතුරන්ට ළං වෙන්න.!
(මනොපුබ්‌බඞ්‌ගමා ධම්‌මා, මනොසෙට්‌ඨා මනොමයා
මනසාචෙ පදුට්‌ඨෙන, භාසතිවා කරොතිවා
තතො නං දුක්‌ඛමන්‌වෙති, චක්‌කංව වහතො පදං.
මනොපුබ්‌බඞ්‌ගමා ධම්‌මා, මනොසෙට්‌ඨා මනොමයා
මනසාචෙ පසන්‌නෙන, භාසතිවා කරොතිවා
තතො නං සුඛමන්‌වෙති, ඡායාව
අනපායිනී) -ධම්මපද.යමකවග්‌ග-
සෑම දේකටම කලින් යන, සිත විසින් සත්වයා නිර්මාණය කරනු ලැබේ. ඒ නිසා, තමන්ගේ සිත නරක්-වුනත්, හොඳ-වුනත්, ඒ හොඳ-නරක තමන්ටම ආරෝපණය වේ.
(අභිත්‌ථරෙථ කල්‍යාණෙ, පාපා චිත්‌තං නිවාරයෙ
දන්‌ධඤ්‌හි කරොතො පුඤ්‌ඤං, පාපස්මිං රමතී මනො)
-ධම්මපද.පාපවග්‌ග-
පාපයෙන් සිත වලක්වාගෙන, සුදුසු පරිදි කුසල් කරමින් සංසාර තරණය කළයුතු වුනත්, පාපයෙන් සැප විඳීමට සිත යන නිසා පින් කිරීම අමාරුය.
(7) තාලපුට
සූත්‍රය.
(පුබ්‌බෙ ඛො ගාමණි, සත්‌තා අවීතරාගා රාගබන්‌ධන බද්‌ධා, තෙසං නටො
රඞ්‌ගමජ්‌ඣෙ සමජ්‌ජමජ්‌ඣෙ යෙ ධම්‌මා රජනීයා තෙ උපසංහරති භිය්‍යොසොමත්‌තාය. පුබ්‌බෙ
ඛො ගාමණි, සත්‌තා අවීතදොසා දොසබන්‌ධන බද්‌ධා, තෙසං නටො රඞ්‌ග මජ්‌ඣෙ සමජ්‌ජමජ්‌ඣෙ යෙ ධම්‌මා දොසනීයා තෙ උපසංහරති
භිය්‍යොසොමත්‌තාය. පුබ්‌බෙ ඛො ගාමණි, සත්‌තා අවීතමොහා මොහබන්‌ධන
බද්‌ධා, තෙසං නටො රඞ්‌ගමජ්‌ඣෙ සමජ්‌ජ මජ්‌ඣෙ යෙ ධම්‌මා
මොහනීයා තෙ උපසංහරති භිය්‍යොසො මත්‌තාය. සො අත්‌තනා මත්‌තො පමත්‌තො පරෙ මදෙත්‌වා
පමාදෙත්‌වා කායස්‌ස භෙදා පරං මරණා පහාසො නාම නිරයො තත්‌ථ උපපජ්‌ජති. සචෙ ඛො පනස්‌ස
එවංදිට්‌ඨි හොති; යො සො නටො රඞ්‌ගමජ්‌ඣෙ සමජ්‌ජමජ්‌ඣෙ සච්‌චාලිකෙන ජනං හාසෙ ති
රමෙති, සො කායස්‌ස භෙදා පරං මරණා පහාසානං දෙවානං සහබ්‍යතං
උපපජ්‌ජතීති, සාස්‌ස හොති මිච්‌ඡාදිට්‌ඨි. මිච්‌ඡාදිට්‌ඨික
ස්‌ස ඛො පනාහං ගාමණි, පුරිස පුග්‌ගලස්‌ස ද්‌වින්‌නං ගතීනං
අඤ්‌ඤතරං ගතිං වදාමි; නිරයං වා තිරච්‌ඡාන යොනිං වා)
-සං.නි.සළායතනවග්ග.තාලපුටසුත්තං-
“තාලපුට” නමැති ලස්සන නැටුම්
ශිල්පියා, ගුරුවරුන්ගෙන් අසා තිබුණේ, නැටුම්-සංගීත-රංගන වලින් මිනිසුන්ට විනෝදය
ලබාදෙන අය “පහාස” නමැති දිව්‍ය ලෝකයක උපදින බවයි. ඒගැන බුදුරජාණන් වහන්සේගෙන් ඔහු
ප්‍රශ්ණ කළ අවස්ථාවේ ඔහුට දැනගන්නට ලැබුණේ, තමන් රාගයෙන්- ද්වේශයෙන්- මෝහයෙන්
වල්මත්වී, නැටුම්- සංගීත- රංගන ඉදිරිපත් කරමින්, අනුන්වත් වල්මත් කරවන අය “පහාස”
නමැති නිරයක උපදින බවයි. අපායේ උපත ලබාදෙන රාග-ද්වේශ-මෝහ පාප චේතනා වලින් ලෝකයට
බැඳී සිටින මිනිසුන්ගේ සිත්වල, තවදුරටත් එම විනාශකාරී රාගය- ද්වේශය- මුළාව යන
අපායගාමී පාප ධර්ම ඇවිස්සෙන රඟපෑම්- නැටුම්- සංගීත යනාදිය ඉදිරිපත් කර, අනෙක්
මිනිසුන් අපාගත කිරීමට කටයුතු කරන අය, මරණින් පසුව දිව්‍යලෝකයක උපදින බව සිතනවා
නම්, එය ඔවුන්ගේ මිථ්‍යා දෘෂ්ඨියකි. එවිට, මිථ්‍යා දෘෂ්ඨිකයාට කර්ම නියමය අනුව
හිමි වන්නේ නිරය හෝ තිරිසන් ගතියයි.
ඒ නිසා රඟපෑම්- නැටුම්- සංගීත යනාදිය
කිරීමෙන් දිව්‍ය ලෝකයක උපදින බව විස්වාස කිරීම යනු, අපාගත වන අවස්ථාව දෙගුණ
කරගැනීමකි. අනුන් විසින් ඉදිරිපත් කරන රඟපෑම්- නැටුම්- සංගීත යනාදිය අහන දකින
අයටද, ඒවායින් තම තමන්ගේ සිත්වල රාගය- ද්වේශය- මෝහය අවුස්සාගෙන වල්මත්වෙන පාප
චේතනා ගණනට, නිරය තිරිසන් ආදී අපායවල් වල උපදින අවස්ථා උදා කරගත හැකිය.
(ලොභො දොසොච මොහොච, පුරිසං පාප චෙතසං,
හිංසන්‌ති අත්‌ත සම්‌භූතා, තචසාරංව සම්‌ඵලං) -සං.නි.සගාථ.පුරිසසුත්‌තං-
ලෝභ-ද්වේශ-මෝහ පාප චේතනා වලින් තමන්ගේ
ආත්මයට හිංසා කරන්නේ, කෙසෙල් ගසේ හැදෙන ඵලයෙන්ම කෙසෙල් ගස
විනාශ වෙන ආකාරයටයි.
(චත්‌තාරොමෙ මහාරාජ, ලොකෙ අතිබලා භුසා,
රාගො-දොසො-මදො-මොහො, යත්‌ථ පඤ්‌ඤා න ගාධති)
-හරිතචජාතකං-
රාගය- ද්වේශය- මදය- මෝහය යන ප්‍රබල
කඩාකප්පල්කාරී පාපධර්ම ක්‍රියාත්මක වන තැන ප්‍රඥාවට ඉඩක් නැත.
(තෙ භික්‌ඛවෙ, සත්‌තා සුපරිහීනා යෙ අරියාය පඤ්‌ඤාය පරිහීනා. තෙ දිට්‌ඨෙව ධම්‌මෙ දුක්‌ඛං
විහරන්‌ති සවිඝාතං සඋපායා සං සපරිළාහං. කායස්‌ස භෙදා පරං මරණා දුග්‌ගති පාටිකඞ්‌ඛා)
සැනසීම ලැබෙන ආර්ය ප්‍රඥාව පරිහාණියට
යවන සත්වයන්, මෙලොවදී ප්‍රායෝගිකව, දුක්-කරදර-හිරිහැර-පීඩා සහිත ගිනි ඇවිලෙන
අසහනකාරී, ජීවිතයක් බලාපොරොත්තු වියයුතුය. මරණින් පසුව දුගති-අපාය බලාපොරොත්තු විය
යුතුය. අකුසලය, පාපය කුමක්ද කියා තේරුම් නොගෙන, පාපයට බය
නොවන සත්වයන්ට වෙන කිසිම ක්‍රමයකින් අපායෙන් ගැලවීමක් ලැබෙන්නේ නැත.
සැනසීම ලැබෙන ආර්ය ප්‍රඥාව පරිහාණියට
නොයවන සත්වයන් මෙලොවදී ප්‍රායෝගිකව, දුක්- කරදර- හිරිහැර- පීඩා රහිත සැනසිලිදායක
නිවුණ ජීවිතයක්, බලාපොරොත්තු විය යුතුය. මරණින් පසුව සුගති-ස්වර්ගය බලාපොරොත්තු
විය යුතුය. අකුසලය, පාපය කුමක්ද කියා තේරුම් ගෙන, අකුසලයට
පාපයට බය වෙන සත්වයන්ට සුගතියේ සැනසීමක් ඇත.
වර්තමානයේ ශ්‍රව්‍ය-දෘෂ්‍ය මාධ්‍ය වලින්
ප්‍රචාරය වෙන විෂම හා අවිචාරවත් දේවල් වලින්, මිනිසාගේ මනස
බරපතල ලෙස දූෂණය කර, මරණින් පසු අපාගත වන තත්වයට පත් කරන
බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. විවිධ මාධ්‍ය හරහා මිනිසුන්ගේ මනසට ගිල්වන අපාය-කාරක අසික්ඛිත
දර්ශණ හා කතාබහ වලින් මිනිසුන් අසහනයට පත්වී, අතරමංවී ඇත. අපායගාමී රාග-ද්වේශ-මෝහ සහගත
පාප චේතනා ජනිත කරවා මිනිසා වල්මත් කරන ශ්‍රව්‍ය-දෘෂ්‍ය ජනමාධ්‍ය, සාමාන්‍ය ජන ජීවිතයටම
ප්‍රායෝගික පීඩාවක් හිසරදයක් කරදරයක් වේ. මෙහිදී සිදුවන්නේ, අපාගත වන ආස්වාදයක්
ලැබීමට මිනිසා විසින් ධනය වියදම් කිරීමයි.
සියලු අපරාධ හා අපාගතවීම් සිදු වෙන්නේ
සිත්වල ඇති වෙන රාගය-ද්වේශය-මෝහය නිසාය. රාග-ද්වේශ-මෝහ ඇති නොවූ සිතකින් කිසිම
වරදක් හෝ අපාගත වීමක් සිදු නොවේ. රාග-ද්වේශ-මෝහ සහිත සිත්වලින් අනිවාර්යෙන්ම අපාගතවීම
හා වෙනත් බරපතල කරදර ඇතිවීම වැළැක්විය නොහැක. මෙලොවටත් පරලොවටත් ප්‍රායෝගිකව
අහිතකර වෙන රාග-ද්වේශ-මෝහ ඇවිස්සීම ගැන කිසිම අවධානයක් නැතිව කරන- කියන- හිතන
සියලුම දේවල්වල විපාක වශයෙන්, මරණින් පසු නිරයට මෙහා උපතක් ලැබුණොත් ඒ තිරිසන්
ලෝකයේය.
(යො ච වස්‌සසතං ජීවෙ, අපස්‌සං ධම්මමුත්‌තමං
එකාහංජීවිතං සෙය්‍යො, පස්‌සතො ධම්‌මමුත්‌තමං)
-ධ.ප.සහස්‌සවග්‌ග-
-ධ.ප.සහස්‌සවග්‌ග-
No comments:
Post a Comment