Wednesday, April 3, 2013




1සුගතවිනය-හැඳින්වීම.



“ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ,
ඒහි පස්සිකෝ”

බුදුරජාණන් වහන්සේගේ ධර්මය සුභාෂිතයි, පැමිණ බලන්න!

⫷⫷⫷⫷⫷⫷⫸⫸⫸⫸⫸⫸⫸

සුගතවිනය ධර්ම දානය සඳහා සම්පාදනය කරන ලදි.

ISBN 978-955-44365-0-3
ග්‍රන්ථ සම්පාදනය

 කපිලවංස භික්ඛූ.

ශ්‍රී බුද්ධ වර්ෂ 2556


–නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස–

භගවා හි භන්‌තෙ, අනුප්‌පන්‌නස්‌ස මග්‌ගස්‌ස උප්‌පාදෙතා, අසඤ්‌ජාතස්‌ස මග්‌ගස්‌ස සඤ්‌ජනෙතා, අනක්‌ඛාතස්‌ස මග්‌ගස්‌ස අක්‌ඛාතා, මග්‌ගඤ්‌ඤූ, මග්‌ගවිදූ, මග්‌ග කොවිදො. මග්‌ගානුගාච භන්‌තෙ, එතරහි සාවකා විහරන්‌ති, පච්‌ඡා සමන්‌නාගතා.
-සං.නි.සගාථවග්ග.පවාරණාසුත්‌තං-

භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකයේ නොතිබුණ ආර්ය ධර්ම මාර්ගය සොයාගෙන, මාර්ගය විනිවිද ගොස්, ලෝකයට පෙන්වා දෙන ලදි, මාර්ගය විවර කරන ලදි, මාර්ගය ප්‍රකාශ කරන ලදි. එම ආර්ය මාර්ගය අනුගමනය කරමින් දැන් පසුපසින් යන අප සාවකයන් වෙමු.!

සත්‌ථා භගවා, සාවකො අහමස්‌මි!
ජානාති භගවා, නාහං ජානාමී
-ම.නි.මජ්ඣිමපණ්ණාසක.කීටාගිරිසුත්‌තං-

බුදුරජාණන් වහන්සේ අපගේ සාස්තෘ වරයාණන් වන අතර, මම සාවකයෙක් වෙමි. බුදුරජාණන් වහන්සේ දැන සිටි ආර්ය ධර්මය, මා විසින් දැනගෙන නැත.!

බුදුරජාණන් වහන්සේ දේසනා කළ ධර්මය අවබෝධවී නැති අප විසින්, ධර්මය නොදන්නා පුද්ගලයන් ලෙස, ඒ බව තේරුම් ගෙන සද්ධාවෙන් කටයුතු කළ යුතුයයි, බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන ලදි.

බෞද්ධයාගේ පරමාර්ථය වන නිවණ, අසාමාන්‍ය අද්භූත සත්‍ය අවබෝධයක් මගින් සැබෑකර ගතයුතු සැනසීමකි. ආර්ය ධර්මය නිවැරදිව හා සම්පුර්ණයෙන් අවබෝධ වීමෙන් අනතුරුව නිවණට සම්ප්‍රාප්ත වීම සිදුවේ. අපට මේ දක්වා, ඒ ධර්මය අවබෝධයෙන් දැන ගැනීමට නොහැකිවී ඇති බව සලකා බලනකොට, ධර්මය ඉගෙනගෙන දැන ගැනීමට‍ උනන්දුවත්, අවස්ථාවත්, හැකියාවත් ඇතිවේ. තමුන් නොදන්න ධර්මය, නොදන්නා බව නොසලකා හැරීමෙන්, ධර්මය දැන ගැනීමට‍ උනන්දුවක්, අවස්ථාවක්, හැකියාවක් ඇති නොවෙන අතර, පුහු මාන්නය සහිත අපායගාමී හිස් පුද්ගලයන් බවට පත්වේ.

අප නොදන්නා ආර්ය ධර්මය නිවැරදිව සැලකිල්ලෙන් ඉගෙනගෙන දැන ගැනීම සඳහා, බුදුරජාණන් වහන්සේ දේසනා කළ ධර්මය අනුසාරයෙන්, බුදුරජාණන් වහන්සේට හා ධර්මයට නමස්කාර පූර්වක සියලු ගෞරව සහිතව, ධර්ම දානය පිණිස මෙම සුගතවිනය ග්‍රන්ථය සම්පාදනය කරන ලදි.෴

(ඉතිපි සෝ භගවා අරහං සම්‌මා සම්‌බුද්‌ධෝ විජ්‌ජා චරණ සම්‌පන්‌නෝ සුගතෝ ලොක විදූ අනුත්‌තරෝ පුරිසදම්‌ම සාරථි සත්‌ථා දෙවමනුස්‌සානං බුද්‌ධෝ භගවා)

බුදුරජාණන් වහන්සේ, දෙවියන්ටත් මිනිසුන්ටත් සුගතියට මග පෙන්වන, අනුත්තර ශාස්තෘවරයාය, ලෝකය විනිවිද දකින බුද්ධ-ඤාණයෙන් යුක්තව, පිරිසිදු බවෙන් හා විවෘත්ත බවෙන් අගතැන්පත්වූ ලෝක නායකයාණන්ය.!

(ස්‌වාක්‌ඛාතො භගවතා ධම්‌මො සන්‌දිට්‌ඨිකො අකාලිකො එහි පස්‌සිකො ඔපනෙය්‍යිකො පච්‌චත්‌තං වෙදිතබ්‌බො විඤ්‌ඤූහී)

බුදුරජාණන් වහන්සේ දේසනා කල සුභාෂිත ධර්මයෙන්, ප්‍රායෝගිකව ලෝකයේ සිදු වෙන සියල්ල පැහැදිලි වේ. ඤාණවන්තයන් විසින්, තමන් තුලින් විනිවිද දැකිය යුතු මේ ධර්මයෙන් සත්වයා සුගතියට පමුණුවනු ලැබේ.!
         
(ධම්‌මං චරෙ සුචරිතං, න නං දුච්‌චරිතං චරෙ
ධම්‌මචාරී සුඛංසෙති, අස්‌මිං ලොකෙ පරම්‌හිච) 
-ධම්මපද.ලොකවග්‌ග-
ධර්මය අනුව යහපත්ව හැසිරෙන්න, නරක හැසිරීම් නොකරන්න. ධර්මචාරී පුද්ගලයාට මෙලොවත්, පරලොවත් සැපදායකවේ. දිව්‍ය-මනුස්ස හා නිවණ යන සියලු සැපයන් ලැබෙන ධර්ම මාර්ගය, බුදුරජාණන් වහන්සේ විසින් සොයාගෙන ලෝකයට අනාවරණය කරන ලදි.

(යං කිඤ්‌චි සුභාසිතං, සබ්‌බං තං තස්‌ස භගවතො  වචනං අරහතො සම්‌මාසම්‌බුද්‌ධස්‌ස.)  
-අ.නි.අට්ඨකනිපාත.උත්‌තරවිපත්‌තිසුත්‌තං-

ලෝකයේ තිබෙන සුභාෂිත ධර්මය, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයයි. බුද්ධ ඤාණයෙන් නොදුටු සුභාෂිත ධර්මයක් ලෝකයේ තිබිය නොහැක. ලෝකය තුල ප්‍රකාශ කරනු ලබන්නේ, බුද්ධ වචනයෙන් උපුටා ගත් සුභාෂිත ධර්මයයි. ධර්මයේ සහ අර්ථයේ කතෘවරයා, නිර්මාතෘවරයා, ධර්ම-ස්වාමී බුදුරජාණන් වහන්සේය.

(ඛයං විරාගං අමතං පණීතං, යදජ්‌ඣගා සාක්‍ය මුනී සමාහිතො න තෙන ධම්‌මෙන සමත්‌ථි කිඤ්‌චි) 
-ඛුද්දකපාඨ.රතනසුත්‌තං-

සක්‍ය-මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සමාධිය තුලින් අවබෝධ කරගන්නා ලද, විරාගය තුලින් සියලු දුක් ඉවර කරන මෙම ධර්මය  තරම් වැදගත් වෙන කිසිම දෙයක් ලෝකයේ නැත. ලෝකයේ යහපතට පමණක් හේතු වෙන එකම ධර්මය වන්නේ, බුදුරජාණන් වහන්සේ දේසනා කළ ධර්මයයි.

(යාවතා භික්‌ඛවෙ, ධම්‌මා සඞ්‌ඛතාවා අසඞ්‌ඛතාවා, විරාගො තෙසං අග්‌ගමක්‌ඛායති, යදිදං මද නිම්‌මදනො- පිපාසවිනයො-ආලය සමුග්‌ඝාතො- වට්‌ටුපච්‌ඡෙදො- තණ්‌හක්‌ඛයො- විරාගො- නිරොධො- නිබ්‌බානං. යෙ භික්‌ඛවෙ, විරාගෙ ධම්‌මෙ පසන්‌නා, අග්‌ගෙ තෙ පසන්‌නා. අග්‌ගෙ ඛො පන පසන්‌නානං අග්‌ගො විපාකො හොති...) 
-අ.නි.චතුක්කනිපාත.අග්ගපසාදසුත්තං-

භෞතික රූප හා ක්‍රියාකාරීත්වය එකතුවී නිර්මාණයවූ, සජීවී-අජීවී ලෝකයට අයත් දේවල් සංඛතධර්මවේ. නිර්මාණයක් නොවන නිර්වාණය, ක්‍රියාකාරී බවක් හෝ භෞතික රූප නැති, අසංඛත ධර්මයයි. ලෝකයේ අත්දකින හා අත්විඳින සෑම දෙයක්ම, වෙනස්වෙන- ගෙවෙන- වැයවෙන- ඉවරවෙන- එපා වෙන- අතුරුදහන් වෙන ස්වභාවකින් යුක්තය. එම ක්‍රියාකාරී ලෝකයේ දුක්විඳින පැවැත්ම එපාවීමෙන්, ක්‍රියාකාරී ලෝකයක් ඇති නොවන තත්වයට පත්වීම නිවීමයි. ලෝකයට සම්බන්ධවී සිටියදී, ලෝකය ඇති නොවන තත්වයට පත්වීම ප්‍රායෝගිකව සිදුනොවන නිසා, නිවණ අවබෝධ වෙන්නේ ලෝකය එපාවී, සම්පූර්ණයෙන්ම ලෝකයෙන් වෙන්වන තත්වයට පත්වූ විටය. ලෝකය එපාවී ලෝකයෙන් වෙන්වීම විරාගයයි, විරාගයෙන් තොරව සිතට විමුක්තියක් නොලැබේ. ජීව-භෞතික, ක්‍රියාකාරී ලෝකයට ඇලෙන රාගය ඉවර වීමෙන් විරාගය ඇතිවේ. එවිට, මෙතෙක් කල් තිබුණ සියලු ආසාවල්-පිපාසය-ආලය-තණ්හාව යනාදී කරදර ඉවරවී, ඒවායින් සිත නිදහස්වීම හා නැවත කිසිම දුකක් ඇති නොවන තත්වයට පත්වීම නිවීමයි. නිවණ ලෝකයට අයත් නොවන නිසා, ලෝකය තුල තිබෙන උසස්ම ධර්මය වන්නේ, නිවණට පෙර හමුවන විරාගයයි. විරාගය පිළිබඳව පැහැදීම, ලෝකයේ තිබෙන ඉහලම කුසලයයි.

(රාගුපක්‌කිලිට්‌ඨංවා භික්‌ඛවෙ, චිත්‌තං න විමුච්‌චති,
අවිජ්‌ජුපක්‌කිලිට්‌ඨා වා පඤ්‌ඤා න භාවීයති...) 
-අ.නි.දුකනිපාත.බාලවග්ග-
         
රාගයෙන් කරදරවෙන සිතට විමුක්තියක්, නිදහසක් නොලැබේ. අවිද්‍යාවෙන් කරදර වෙන ප්‍රඥාව භාවිතා කළ නොහැක.
ඒනිසා, රාගය සම්පුර්ණයෙන්ම ඉවර කිරීමෙන්, ලෝකය එපාවී ලෝකයෙන් වෙන්වී සිටින තත්වයක් වන විරාගය, විමුක්ති මාර්ගය වේ. බාහිර ලෝකය එපාවී, බාහිර ලෝකයෙන් වෙන් වුනත්, සියුම් ලෙස තමන්ට නොදැනී, සිතින් ලෝකයට බැඳෙන සම්බන්ධතා ඉවර කිරීම අපහසුය. විරාගය ඇතිවී ලෝකය එපා වෙන්නේ, සිත හා කය පැවතීම දුකක් බව පැහැදිලිව තේරෙන විටයි. එය තේරුම් ගැනීමට නිවැරදි-සමාධියක් තිබිය යුතුය. තමන් කරන-කියන දේවල් සීලයෙන් පිරිසිදු කරගෙන, සමථ-විදර්ශනා භාවනා මගින් සමාධිය හා ප්‍ර‍ඥාව ලබාගෙන, ජීව-භෞතික ලෝකය එපා වෙන තත්වයට පත්වී, නිවණට යන එකම නිවැරදි මාර්ගය, ආර්යෂ්ඨාංගික මාර්ගයයි.

(යස්‌මිං ඛො සුභද්‌ද, ධම්‌මවිනයෙ අරියො අට්‌ඨඞ්‌ගිකො මග්‌ගො න උපලබ්‌භති, සමණොපි තත්‌ථ න උපලබ්‌භති.) (ඤායස්‌ස ධම්‌මස්‌ස පදෙසවත්‌තී, ඉතො බහිද්‌ධා සමණොපි නත්‌ථි)
-දී.නි.මහාවග්ග.මහාපරිනිබ්බාණසුත්තං-

ආර්යෂ්ඨාංගික මාර්ගය හැර, වෙන කිසිම ක්‍රමයකින්, සාර්ථකව දුක ඉවර වීම සිදුවන්නේ නැත. බුද්‌ධ සාසනයෙන් බැහැරව, කුසල ධර්ම න්‍යායෙන් කොටසක් හෝ අනුගමනය කරන පුද්ගලයෙක් නැත. අර්යෂ්ඨාංගික මාර්ගයෙන් දුක ඉවරකිරීම හා නිවණ් දැකීම සිදුවෙන්නේ මෙසේය.
සම්මාදිට්ඨි යනු, කුසල-අකුසල හා කර්ම-විපාක න්‍යාය තේරුම්ගෙන, පාපකර්ම වලින් දුක ලැබෙන බව හා පුණ්‍යකර්ම වලින් සැප ලැබෙන බව නිවැරදිව දැකීමයි.
සම්මාසංකප්ප යනු, සිතේ උපදින කාම-ව්‍යාපාද-විහිංසා සංකල්ප වලින් ඇතිවෙන දුක් කරදර වලක්වා ගැනීමයි.
සම්මාවාචා යනු, බොරුකීම- කේලම්කීම- පරුසවචන කීම හා ප්‍රලාපකීම නිසා ඇතිවෙන දුක් කරදර වලක්වා ගැනීමයි.
සම්මාකම්මන්ත යනු, සතුන්මැරීම- හොරකම් කිරීම හා පරදාර සේවනය නිසා ඇතිවෙන දුක් කරදර වලක්වා ගැනීමයි.
සම්මාආජීව යනු, වැරදි ක්‍රම වලින් ජීවත්වීම නිසා ඇතිවෙන දුක් කරදර වලක්වා ගැනීමයි.
සම්මාවායාම යනු, දුක ලබාදෙන අකුසල් අත්හැරීම හා සැප ලබාදෙන කුසල් උපදවා ගැනීම සඳහා වෑයම් කිරීමයි.
සම්මාසති යනු, දුක ලබාදෙන අකුසල් අත්හැරීමට හා සැප ලබාදෙන කුසල් උපදවා ගැනීමට හොඳ සිහිය පවත්වා ගැනීමයි.
සම්මාසමාධි යනු, සිතේ-කයේ ක්‍රියාකාරීත්වය නිසා සියලුම දුක් ඇතිවෙන බව හා සිත-කය නොමැතිව කිසිම දුකක් ඇති නොවන බව පැහැදිලිව අවබෝධ වීම සඳහා තිබිය යුතු නිවැරදි මානසික එකාග්‍රතාවයයි.

(...යොනි උපපරික්‌ඛිතබ්‌බා, කිං ජාතිකා සොක පරිදෙව දුක්‌ඛ දොමනස්‌සුපායාසා, කිං පහොතිකාති) -සං.නි.ඛන්ධවග්ග.අත්‌තදීපසුත්‌තං-

අර්යෂ්ඨාංගික මාර්ගය පුහුණුවී, සම්මා සමාධිය උපදවාගෙන, ඒ සමාධියෙන් නිශ්චල බවට‍ පත්වන සිතින් සත්‍ය විමර්ශනය කලයුතුය.
මූලික වශයෙන් දුක් කරදර එන තැන පරික්ෂා කරන විට, තමන් කරන- කියන- හිතන ක්‍රියාකාරීත්වය හරහා සියලුම දුක් කරදර ඇතිවන බව පැහැදිලිවේ.

(තථා තථා භික්‌ඛවෙ, භික්‌ඛු උපපරික්‌ඛෙය්‍ය යථා යථාස්‌ස උපපරික්‌ඛතො, බහිද්‌ධා චස්‌ස විඤ්‌ඤාණං අවික්‌ඛිත්‌තං අවිසටං, අජ්‌ඣත්‌තං අසණ්‌ඨිතං අනුපාදාය න පරිතස්‌සෙය්‍ය. බහිද්‌ධා භික්‌ඛවෙ, විඤ්‌ඤාණෙ අවික්‌ඛිත්‌තෙ අවිසටෙ සති අජ්‌ඣත්‌තං අසණ්‌ඨිතෙ අනුපාදාය අපරිතස්‌සතො ආයතිං ජාතිජරාමරණ දුක්‌ඛසමුදය සම්‌භවො න හොතී) 
-ඉතිවුත්තකපාලි.උපපරික්‌ඛසුත්‌තං-

මෙහිදී, බාහිර ලෝකයේ ආස්වාදය සොයා සිත විසීරී යාමට නොදී, අභ්‍යන්තර සිත-කය හා ක්‍රියාකාරීත්වය මම-මාව-මගේ, යනුවෙන් නොසිතා, දුක උපදින හැටි පමණක් මූලික වශයෙන් පරික්ෂා කල යුතුය. තමන්ගේ කියා සිතෙන අභ්‍යන්තර-බාහිර ලෝකයේ තිබෙන කිසිම දෙයක් අහිමිවීම ගැන, තැති ගැනීමක් නොවී එසේ පරික්ෂා කිරීමේදී, සිතේ හා කයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් පැවතීම තනිකරම දුකක් බව තමන්ටම පැහැදිලිවේ. මෙතෙක් කල්, මේ දුක නිවැරදිව නොපෙනීම නිසා ඇතිවුන තණ්හාවෙන් උනන්දුවී මෙම සංසාර පැවැත්ම ගෙනගිය බවත් අනාවරණයවේ. එම තණ්හාව ඉවර වීමෙන් සිතේ හා කයේ ක්‍රියාකාරීත්වය අවසන්වී, දුක ඉවරවෙන බව සහ එය සිදු වන්නේ, අර්යෂ්ඨාංගික මාර්ගයෙන් බවත් පැහැදිලිවේ. එම ආර්ය සත්‍ය අවබෝධවූ විට, මෙතෙක් කල් තිබුණ කරදරකාරී පාපකාරී ආසාවල් සියල්ල ඉවරවේ. එවිට සිත නිදහස්වී ලෝකයේ තවදුරටත් කලයුතු දෙයක් නැති තත්වයට පත්වේ. ඉන්පසුව මෙතෙක් කල් තිබුණ සියලු දුක් කරදර අවසන් වන අතර නැවත ඉපදීමක් සිදු නොවේ.෴

(1) (සුගතොවා භික්‌ඛවෙ ලොකෙ තිට්‌ඨමානො, සුගත විනයොවා, තදස්‌ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්‌පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්‌සානං. කතමොච භික්‌ඛවෙ සුගතො?
ඉධ භික්‌ඛවෙ ලොකෙ උප්‌පජ්‌ජති, අරහං සම්‌මා සම්‌බුද්‌ධො විජ්‌ජාචරණ සම්‌පන්‌නො සුගතො ලොකවිදූ අනුත්‌තරො පුරිස දම්‌ම සාරථි සත්‌ථා දෙවමනුස්‌සානං බුද්‌ධො භගවා. අයං භික්‌ඛ වෙ සුගතො. කතමොච භික්‌ඛවෙ සුගත විනයො?
සො ධම්‌මං දෙසෙති, ආදි කල්‍යාණං, මජ්‌ඣෙ කල්‍යාණං, පරියොසාන කල්‍යාණං, සාත්‌ථං, සබ්‍යඤ්‌ජනං, කෙවල පරිපුණ්‌ණං, පරිසුද්‌ධං බ්‍රහ්‌මචරියං පකාසෙති. අයං භික්‌ඛවෙ සුගතවිනයො. එවං සුගතොවා භික්‌ඛවෙ ලොකෙ තිට්‌ඨමානො සුගත විනයො වා තදස්‌ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්‌පාය අත්‌ථාය හිතාය සුඛාය දෙව මනුස්‌සානං)
-අ.නි.චතුක්කනිපාත.සුගතවිනයසුත්තං-

සුගතයන් වහන්සේ හෝ සුගත-විනය, ලෝකයේ පැවතීම බොහෝ ජනයාට හිතසුව පිණිස හා අනුකම්පා පිණිස හේතු වේ. එමගින්, දෙවියන්ටත් මිනිසුන්ටත්, අර්ථවත්බව-හිතවත්බව- සැපවත්බව සැලසේ.

ලෝකයේ පහළ වන තථාගත සම්‌මා සම්‌බුදුරජාණන් වහන්සේ, සුගත නම් වේ. එනම්, දෙවියන්ටත් මිනිසුන්ටත් සුගතියට යන මාර්ගය පෙන්වන, අනුත්තර ශාස්තෘවරයා ලෙස, ලෝකය විනිවිද දකින බුද්ධ-ඤාණයෙන් යුක්තව, පිරිසිදු බවෙන් හා විවෘත්ත බවෙන් අග තැන්පත් වූ ලෝක නායකයාණන්, සුගත යනුවෙන් හැඳින්වේ.
බුදුරජාණන් වහන්සේ දේසනා කළ සුගතියට යන මාර්ගය, සුගත-විනයයි. එනම්, තමන් කරන-කියන-හිතන දේවල් නිවැරදි කිරීමෙන්, දුක ඉවර වෙන තත්වයට යන බ්‍රහ්‌මචරියාව ප්‍රකාශ වෙන ධර්මය, සුගතවිනය ලෙස හැඳින්වේ. ඒ ආකාරයෙන් සුගතයන් වහන්සේ හෝ සුගතවිනය ලෝකයේ පැවතීම, බොහෝ ජනයාට හිතසුව පිණිස හා අනුකම්පා පිණිස හේතුවේ.

(2) ලෝකය තුල යමක් සිදුවීගෙන යන ක්‍රමය, “න්‍යාය” හෝ “නය” ලෙස හැඳින්වේ. පවතින ක්‍රමයට වඩා වෙනස්වූ, අසාමාන්‍ය හා නිවැරදි ක්‍ර‍මයට කටයුතු කිරීම “වි-නය”යි. හොඳ, සුදුසු ක්‍ර‍මයට කටයුතු කිරීම “සු-නය”යි. නරක, නුසුදුසු ක්‍ර‍මයට කටයුතු කිරීම “දු-නය”යි. කිසිම ක්‍ර‍මයක් නැතිව අතරමං වෙන අමන කටයුතු කිරීම “අ-නය”යි.
(අනයං නයති දුම්‌මෙධො, අධුරායං නියුඤ්‌ජති
දු‌නයො සෙය්‍යසො හොති, සම්‌මා වුත්‌තො පකුප්‌පති
විනයං සො න ජානාති, සාධු තස්‌ස අදස්‌සනං) 
-අකිත්‌තිජාතකං-

ළාමක බුද්ධිය සහිත ලෝල පුද්ගලයා, කිසිම ක්‍ර‍මයකට අනුකූල නොවන අමන කටයුතු කරමින්, වරදේ යෙදෙන අතර, ලේසියෙන් කළහැකි නරක දේට වඩාත් කැමතිය. නිවැරදි පිළිවෙළ කියන විට කුපිත වේ. විනයක් නොදන්නා, එවැනි බාලයන් නොදැක සිටීම යහපත්ය.

(නයං නයති මෙධාවී, අධුරායං න යුඤ්‌ජති
සුනයො සෙය්‍යසො හොති, සම්‌මා වුත්‌තො න කුප්‌පති
විනයං සො පජානාති, සාධු තෙන සමාගමො) 
-අකිත්‌තිජාතකං-

යමක් දරා ගැනීමේ හැකියාව සහිත, පරිණත බුද්ධියෙන් යුක්ත පුද්ගලයා, ක්‍රමානුකූලව කටයුතු කරමින්, වරදේ නොයෙදෙන අතර, අමාරු වුනත් හොඳ දේට වඩාත් කැමතිය. නිවැරදි පිළිවෙළ කියන විට කෝප නොවේ. විනයක් දන්නා එවැනි අය සමග සිටීම යහපත්ය.
ලෝකයේ ස්වභාවිකව උපදින-මැරෙන පැවැත්ම සිදුවන ක්‍රමය දුකක් වන නිසා, ලෝකය එපාවෙන තත්වයක් ඇතිවේ. එමනිසා මෙම ස්වභාවිකව පවතින ක්‍රමය වෙනස් කරගෙන ලෝකයෙන් ගැලවී නිදහස් වීමට, බුදුරජාණන් වහන්සේ විසින් සොයාගත් අසාමාන්‍ය හා නිවැරදි ක්‍ර‍මය සුගත-විනයයි. එය ආර්ය-විනය, ආර්ය-ධර්මය, සත්පුරුෂ-ධර්මය ආදී වශයෙන්ද හැඳින්වේ.

(3) (අහං ඛො කෙසි, පුරිසදම්මං සණ්හෙනපි විනෙමි, ඵරුසෙනපි විනෙමි, සණ්හඵරුසෙනපි විනෙමි. තත්ථිදං, කෙසි, සණ්හස්මිං ඉති කායසුචරිතං ඉති කායසුචරිතස් විපාකො, ඉති වචීසුචරිතං ඉති වචීසුචරිතස් විපාකො, ඉති මනොසුචරිතං ඉති මනො සුචරිතස් විපාකො. ඉති දෙවා, ඉති මනුස්සාති. තත්ථිදං කෙසි, ඵරුසස්මිං ඉති කායදුච්චරිතං ඉති කායදුච්චරිතස් විපාකො, ඉති වචීදුච්චරිතං ඉති වචීදුච්චරිතස් විපාකො, ඉති මනො දුච්චරිතං ඉති මනොදුච්චරිතස් විපාකො. ඉති නිරයො, ඉති තිරච්ඡානයොනි, ඉති පෙත්තිවිසයොති. තත්ථිදං කෙසි, සණ්හ ඵරුසස්මිං ඉති කායසුචරිතං.., ඉති කායදුච්චරිතං.., ඉති වචී සුචරිතං.., ඉති වචීදුච්චරිතං.., ඉති මනොසුචරිතං.., ඉති මනො දුච්චරිතං... ඉති දෙවා, ඉති මනුස්සා, ඉති නිරයො, ඉති තිරච්ඡාන යොනි, ඉති පෙත්තිවිසයොති.) 
-අ.නි.චතුක්කනිපාත.කෙසිසුත්තං-

මිනිසුන්ව සුගත-විනයට අනුව දමනය කරන ‘පුරිස-දම්-සාරථ බුදුරජාණන් වහන්සේ, හොඳින්- නරකින් සහ හොඳ නරක දෙකෙන්ම යන ක්‍රම තුනකින් මිනිසුන්ව දමනය කරන ලදි. හොඳින් කරන-කියන-හිතන දේවල් වලින් දිව්‍ය-මනුස්ස සුගති හා වෙනත් හොඳ විපාක ලැබෙන බව පෙන්වාදීම, හොඳින් දමනය කිරීමයි. නරකින් කරන-කියන-හිතන දේවල් වලින් නිරය-තිරිසන්-ප්‍රේත යන දුගති අපාය හා වෙනත් නරක විපාක ලැබෙන බව පෙන්වා දීම, නරකින් දමනය කිරීමයි. ඒ දෙකම පෙන්වාදීම හොඳින් සහ නරකින් දමනය කිරීමයි. ඒ කිසිම විදිහකින් දමනය නොවන පුද්ගලයාව අතහැර දමනු ලැබේ.

(තථාගතස්‌ස භික්‌ඛවෙ අරහතො සම්‌මා සම්‌බුද්‌ධස්‌ස ද්‌වෙ ධම්‌ම දේසනා පරියායෙන භවන්‌ති. කතමා ද්‌වෙ? පාපං පාපකතො පස්‌සථාති, අයං පඨමා ධම්‌ම දේසනා. පාපං පාපකතො දිස්‌වා තත්‌ථ නිබ්‌බින්‌දථ විරජ්‌ජථ විමුච්‌චථාති, අයං දුතියා ධම්‌මදේසනා) 
-ඉතිවුතත්කපාලි.දේසනාසුත්‌තං-

බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් ධර්ම දේසනා කරන ක්‍රම දෙකක් තිබේ. එනම්, පාප කර්ම වලින් සිදු වෙන නරක තේරුම් ගන්නා ලෙස කියන ධර්ම දේසනා සහ පාප කර්ම නොකර පාපයෙන් වෙන්වී නිදහස් වන ලෙස කියන ධර්ම දේසනාය.

(බුද්‌ධො සො භගවා බොධාය ධම්‌මං දෙසෙති, දන්‌තො සො භගවා දමථාය ධම්‌මං දෙසෙති, සන්‌තො සො භගවා සමථාය ධම්‌මං දෙසෙති, තිණ්‌ණො සො භගවා තරණාය ධම්‌මං දෙසෙති, පරිනිබ්‌බුතො සො භගවා පරිනිබ්‌බානාය ධම්‌මං දෙසෙති) 
-දී.නි.පාථිකවග්ග.උදුම්‌බරිකසුත්‌තං-

බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන, අන් අයට සත්‍ය අවබෝධ කරගැනීම සඳහා ධර්ම දේසනා කරන ලදි.
බුදුරජාණන් වහන්සේ දමනයවී, අන් අයට දමනය වීම සඳහා ධර්ම දේසනා කරන ලදි.
බුදුරජාණන් වහන්සේ සාන්ත භාවයට පත්වී, අන් අයට සමනය වීම සඳහා ධර්ම දේසනා කරන ලදි.
බුදුරජාණන් වහන්සේ ලෝකය තරණය කර, අන් අයට තරණය කිරීම සඳහා ධර්ම දේසනා කරන ලදි.
බුදුරජාණන් වහන්සේ නිවීමට පත්වී, අන් අයට නිවීම සඳහා ධර්ම දේසනා කරන ලදි.෴




2. කුසල-අකුසල න්‍යාය.
(1) (සො එවං පබ්‌බජිතො සමානො, කිං කුසල-ගවෙසී අනුත්‌තරං සන්‌ති වරපදං පරියෙසමානො) 
-ම.නි.මූල.පාසරාසිසුත්‌තං-

ගෞතම බෝධිසත්වයන් වහන්සේට ලෝකය හා ජීවිතය එපා වීමෙන් පසුව පැවිදිවී, සියලු දුක් කරදර ඉවර කිරීම සඳහා තිබිය යුතු කුසලතා ගවේෂණය කරන ලදි. එමගින් සත්ව ලෝකයේ පැවැත්ම ගෙනයන සියලු න්‍යායන් හා නියමයන් සොයා ගන්නා ලදි.

සත්වයාගේ සිතින්-වචනයෙන්-කයෙන්, කරන- කියන- හිතන ක්‍රියාකාරකම් වල විපාක, ප්‍රතිවිපාක, පලදීම, ප්‍රතිඵල, ආදීනව, ආනිසංස යනාදිය ගැන කර්ම-විපාක න්‍යාය සොයාගන්නා ලදි. කරන- කියන- හිතන ක්‍රියාකාරකම් වලින් සත්වයාට යහපත සිදුවෙන කුසල ධර්ම න්‍යාය සොයා ගන්නා ලදි. ඒ අනුව ලෝකයේ තිබෙන සියලුම දුක් කරදර ඇති වෙන්නේ, තමන්ම කරන-කියන-හිතන දේවල් වල වැරදි හා අපිරිසිදු කම නිසා බව බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලදි.

අනතුරුව මහා බෝධිසත්වයන් වහන්සේ විසින් කරන-කියන-හිතන සියල්ල, සෑම අතින්ම පිරිසිදු හා නිවැරදි බවට‍ පත් කරගෙන, නැවත කිසිම දුකක් ඇති නොවන තත්වය වන නිවණ සැබෑ කර ගන්නා ලදි. ඉන් පසුව, බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුකම්පාවෙන් හා කරුණාවෙන් නිකුත් කළ පණිවිඩය බුද්‌ධසාසනයයි. එය ඉතා කෙටියෙන් මෙසේය,

(සබ්‌බ පාපස්‌ස අකරණං, කුසලස්‌ස උපසම්‌පදා
සචිත්‌ත පරියොදපනං, එතං බුද්‌ධානං සාසනං) 
-ධම්මපද.බුද්‌ධවග්‌ග-

සියලු පාප-අකුසල් නොකිරීම හා කුසල් උපදවා ගැනීම මගින්, සිත පිරිසිදු කිරීම බුද්‌ධ සාසනයයි. සියලු අකුසල් සිදු නොවන පිරිසිදු සිතට නිවණ අවබෝධවී, සියලු දුක් අවසන් වන තත්වයට පත්වන නිසා, බුදුරජාණන් වහන්සේ, එම අවවාදය කරන ලදි.

(2) කුසලය හා අකුසලය ගැන බුදුරජාණන් වහන්සේගේ කරන ලද ධර්ම දේසනා අපරිමාණය. අකුසලය අත්හැරීම හා කුසලය භාවිතා කිරීම සඳහා, බුදුරජාණන් වහන්සේ කරන ලද ධර්ම දේසනා අපරිමාණය.

අකුසල් යනුවෙන් අර්ථ දැක්වෙන්නේ, නොකළයුතු, නුසුදුසු, අහිතකර, අපිරිසිදු, අසික්ඛිත, අයහපත්, දුක් විපාක සහිත, නරක, වැරදි ක්‍රියාවන්ය.
කුසල් යනුවෙන් අර්ථ දැක්වෙන්නේ, කළයුතු, සුදුසු, හිතකර, පිරිසිදු, සික්ඛිත, යහපත්, සැප විපාක සහිත, හොඳ, නිවැරදි ක්‍රියාවන්ය.
මිනිසුන් විසින් කරන- කියන- හිතන කටයුතු, තමන්ටත් අනුන්ටත් ප්‍රායෝගිකව අහිතකර වීමට මූලිකව හේතු වන්නේ, ලෝභකම, ද්වේශය හා මුළාවීම, (රාග- ද්වේශ- මෝහ) යන අකුසල-මූල තුනයි. ඒ නිසා අකුසලය අත්හැරීම සඳහා කළ යුත්තේ, ලෝභකම, ද්වේශය හා මුළා වීම ඉවර කිරීමයි.

මිනිසුන් විසින් කරන- කියන- හිතන කටයුතු, තමන්ටත් අනුන්ටත් ප්‍රායෝගිකව හිතකර වීමට මූලිකව හේතු වන්නේ, ලෝභ-නොවීම, දුෂ්ඨ-නොවීම හා මුළා-නොවීම (අලෝභ, අද්වේශ, අමොහ) යන කුසල-මූල තුනයි. නිවණ අවබෝධ නොවූ සත්වයන් විසින් කරන-කියන-හිතන සෑම දේකටම මූලිකව හේතු වෙන්නේ, මෙම කුසල-අකුසල මූල හයයි.

(අප්‌පමාදො අමතපදං, පමාදො මච්‌චුනො පදං
අප්‌පමත්‌තා න මීයන්‌ති, යෙ පමත්‌තා යථා මතා) -ධම්මපද.අප්පමාදවග්‌ග-

රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් වල්මත් නොවී සිටීම අප්‍රමාද වීමයි. එසේ වල්මත් නොවී සිටීමෙන්, රාග-ද්වේශ-මෝහ සම්පූර්ණයෙන්ම ඉවරවීම නිවීමයි. නිවණේ සිත-කය නොපවතින නිසා මරණයක් ඇති නොවේ, ඒ නිසා මරණයෙන් ගැලවීමට උපකාර වෙන පදය අප්‍රමාදයයි. රාග-ද්වේශ-මෝහ නිසා වල්මත්වීම ප්‍රමාද වීමයි. එසේ වල්මත්වී උපදින-මැරෙන සංසාර පැවැත්ම දිගටම ගෙන යාමෙන්, මරණය ඇතිවෙන නිසා, මරණය ලබාදෙන මාරයාගේ පදය ප්‍රමාදයි.

(නිබ්‌බාන ධාතුයා ඛො එතං භික්‌ඛු අධිවචනං, රාග-විනයො දොස-විනයො මොහ-විනයොති)
 -සං.නි.මහාවග්ග.දුතියඅඤ්‌ඤතරභික්‌ඛුසුත්‌තං-
(යො ඛො ආවුසො, රාගක්‌ඛයො දොසක්‌ඛයො මොහක්‌ඛයො, ඉදං වුච්‌චති නිබ්‌බානං) 
-සං.නි.සලායතනවග්ග.නිබ්‌බානපඤ්‌හාසුත්‌තං-

ජීව-භෞතික ලෝකයේ ස්වභාවිකව පැවැත්ම ක්‍රියාත්මක වීමට හේතුවන, රාගය-ද්වේශය-මෝහය සම්පූර්ණයෙන්ම වෙනස් කර, ඉවර කිරීමෙන් ලැබෙන ස්ථාවර සැනසීම නිවණයි.

(3) කුසල්-අකුසල් නිවැරදිව හඳුනාගෙන, අකුසල් අත්හැර, කුසල් උපදවා ගැනීම කරන තරමට ප්‍රායෝගික සැනසීමක් හා නිවීමක් ලැබේ. ඕනෑම මොහොතක ලෝභකම, ද්වේශය හා මුළාවීම යන අකුසල හැඟීම් සිතේ ඇතිවීම තමන්ටත්, අනුන්ටත් ප්‍රායෝගිකව කරදරයක් හා වදයක්වේ. ඕනෑම මොහොතක ලෝභ-නොවීම, දුෂ්ඨ-නොවීම හා මුළා-නොවීම යන කුසල හැඟීම් සිතේ ඇතිවීම තමන්ටත්, අනුන්ටත් ප්‍රායෝගික සැනසීමක් හා සහනයක්වේ. සියලු අකුසල් නොකර සිටීමෙන්, සිත නිවෙන ආකාරය ඒ අනුව තේරුම් ගත යුතුය.

(ලොභො ඛො මහාරාජ, පුරිසස්‌ස ධම්‌මො අජ්‌ඣත්‌තං උප්‌පජ්‌ජ මානො උප්‌පජ්‌ජති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරාය. දොසො ඛො මහාරාජ, පුරිසස්‌ස ධම්‌මො අජ්‌ඣත්‌තං උප්‌පජ්‌ජමානො උප්‌පජ්‌ජති අහිතාය දුක්‌ඛාය අඵාසු විහාරාය. මොහො ඛො මහාරාජ, පුරිසස්‌ස ධම්‌මො අජ්‌ඣත්‌තං උප්‌පජ්‌ජමානො උප්‌පජ්‌ජති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරාය)
-සං.නි.සගාථවග්ග.පුරිසසුත්‌තං-

ලෝභ, ද්වේශ, මෝහ යන පාප අකුසල් සත්වයා තුල උපදින්නේ, ලෝකයට අහිත-දුක-අපහසුතාවය ලබාදීම සඳහාය. ලෝභ, ද්වේශ, මෝහ යන පාප අකුසල් ඇතිවීම වලක්වා ගත යුත්තේ, ලෝකයට හිත-සැප-පහසුව ලබාදීම සඳහාය. එය තමන් විසින්ම පැහැදිලිව තේරුම්ගත යුතුය. බුදුරජාණන් වහන්සේ දේසනා කල ධර්මයෙන්, ප්‍රායෝගික ලෝකයේ සිදුවෙන සියල්ල පැහැදිලි වෙන බව, ඒ අනුව දැනගත යුතුය.

අකුසල් ඒකාන්තයෙන්ම නොකළ යුතුය. ඒකාන්තයෙන්ම නොකළ යුතුවන අකුසල් කිරීම නිසා, තමන්ට තමන්ම දොස් කියා ගැනීමට හා පසුතැවිලි වීමට සිදුවේ, දැනුවත් අයගේ ගැරහීමට ලක්වේ, නරක පව්කාරයන් ලෙස ප්‍රසිද්ධවේ, සිහි මුළාවී මරණයට පත්වේ, මරණින් පසු අපාගතවේ.

කුසල් ඒකාන්යෙන්ම කළ යුතුය. ඒකාන්යෙන්ම කළ යුතුවන කුසල් කිරීමෙන්, තමන්ට තමන් දොස් කියා ගැනීම හෝ පසුතැවිලි වීමට සිදු නොවේ, දැනුවත් අයගේ ප්‍රසංසාවට ලක් වේ, හොඳ පින්වතුන් ලෙස ප්‍රසිද්ධවේ, සිහිමුළා නොවී මරණයට පත්වේ, මරණින් පසුව සුගතියේ උපදී.

(4) (අකුසලං භික්‌ඛවෙ, පජහථ. සක්‌කා භික්‌ඛවෙ අකුසලං පජහිතුං. නො චෙදං භික්‌ඛවෙ සක්‌කා අභවිස්‌ස අකුසලං පජහිතුං, නාහං එවං වදෙය්‍යං, අකුසලං භික්‌ඛවෙ පජහථාති. යස්‌මා ච ඛො භික්‌ඛවෙ සක්‌කා අකුසලං පජහිතුං, තස්‌මාහං එවං වදාමි, අකුසලං භික්‌ඛවෙ පජහථාති. අකුසලඤ්‌ච හිදං භික්‌ඛවෙ පහීනං අහිතාය දුක්‌ඛාය සංවත්‌තෙය්‍ය, නාහං එවං වදෙය්‍යං අකුසලං භික්‌ඛවෙ පජහථාති. යස්‌මා ච ඛො භික්‌ඛවෙ අකුසලං පහීනං හිතාය සුඛාය සංවත්‌තති, තස්‌මාහං එවං වදාමි, අකුසලං භික්‌ඛවෙ පජහථාති. කුසලං භික්‌ඛවෙ භාවෙථ. සක්‌කා භික්‌ඛවෙ කුසලං භාවෙතුං. නො චෙදං භික්‌ඛවෙ සක්‌කා අභවිස්‌ස කුසලං භාවෙතුං, නාහං එවං වදෙය්‍යං, කුසලං භික්‌ඛවෙ භාවෙථාති. යස්‌මා ච ඛො භික්‌ඛවෙ සක්‌කා කුසලං භාවෙතුං තස්‌මාහං එවං වදාමි, කුසලං භික්‌ඛවෙ භාවෙථාති. කුසලඤ්‌ච හිදං භික්‌ඛවෙ භාවිතං අහිතාය දුක්‌ඛාය සංවත්‌තෙය්‍ය, නාහං එවං වදෙය්‍යං, කුසලං භික්‌ඛවෙ භාවෙථාති. යස්‌මා ච ඛො භික්‌ඛවෙ කුසලං භාවිතං හිතාය සුඛාය සංවත්‌තති තස්‌මාහං එවං වදාමි, කුසලං භික්‌ඛවෙ භාවෙථාති) 
-අ.නි.දුකනිපාත.අධිකරණවග්ග-

අකුසලය අත්හරින්න, අකුසලය අත්හැරීම කළ හැකිය. අකුසලය අත්හැරීමට නොහැකි නම්, අකුසලය අත්හරින ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ නැත. අකුසලය අත්හැරීම කළ හැකි නිසා, අකුසලය අත්හරින ලෙස බුදුරජාණන් වහන්සේ විසින් අවවාද කරන ලදි.

අකුසලය අත්හැරීමෙන් කාටවත් අහිතක්-දුකක් වෙනවා නම්, අකුසලය අත්හරින ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ නැත. අකුසලය අත්හැරීම කාටත් හිතකර හා සැපයක් වෙන නිසා, අකුසලය අත්හරින ලෙස බුදුරජාණන් වහන්සේ විසින් අවවාද කරන ලදි.

කුසලය භාවිතා කරන්න, කුසලය භාවිතා කළ හැකිය. කුසලය භාවිතා කළ නොහැකි නම්, කුසලය භාවිතා කරන ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ නැත. කුසලය භාවිතා කළ හැකි නිසා, කුසලය භාවිතා කරන ලෙස බුදුරජාණන් වහන්සේ විසින් අවවාද කරන ලදි.

කුසලය භාවිතා කිරීමෙන් කාටවත් අහිතක්-දුකක් වෙනවා නම්, කුසලය භාවිතා කරන ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ නැත. කුසලය භාවිතා කිරීම කාටත් හිතකර හා සැපයක් වෙන නිසා, කුසලය භාවිතා කරන ලෙස බුදුරජාණන් වහන්සේ විසින් අවවාද කරන ලදි.෴


2. ලෝ‌භ-ද්වේශ-මෝහ.
(රත්‌තොඛො ආවුසො, රාගෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො, අත්‌තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි.., උභයබ්‍යාබාධා යපි.., චෙතසිකම්‌පි දුක්‌ඛං දොමනස්‌සං පටිසංවෙදෙති. රාගෙ පහීනෙ, නෙවත්‌තබ්‍යාබාධායපි චෙතෙති, න පරබ්‍යාබාධායපි.., න උභයබ්‍යාබාධායපි.., න චෙතසිකං දුක්‌ඛං දොමනස්‌සං... රත්‌තො ඛො ආවුසො, රාගෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො, කායෙන දුච්‌චරිතං චරති, වාචාය.., මනසා... රාගෙ පහීනෙ නෙව කායෙන දුච්‌චරිතං චරති, න වාචාය.., න මනසා... රත්‌තො ඛො ආවුසො රාගෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො, අත්‌තත්‌ථම්‌පි යථාභූතං නප්‌පජානාති, පරත්‌ථම්‌පි.., උභයත්‌ථම්‌පි... රාගෙ පහීනෙ අත්‌තත්‌ථම්‌පි යථාභූතං පජානාති, පරත්‌ථම්‌පි.., උභයත්‌ථම්‌පි... රාගො ඛො ආවුසො, අන්‌ධකරණො, අචක්‌ඛුකරණො, අඤ්‌ඤාණකරණො, පඤ්‌ඤානිරොධිකො, විඝාතපක්‌ඛිකො, අනිබ්‌බානසංවත්‌තනිකො. ඉදං රාගෙ ආදීනවං දිස්‌වා රාගස්‌ස පහානං පඤ්‌ඤාපෙම.) 
-අ.නි.තිකනිපාත.ඡන්‌නසුත්‌තං-
(1) ලෝභකම හෙවත් රාගය නිසා සිදුවන කරදර.
ලෝභකම ඇතිවෙන විට, තමන්ගේවත් අනුන්ගේවත් යහපත-අයහපත තේරුම් ගැනීමට නොහැකිය. ලෝභකමෙන් ප්‍රඥාව අන්ධවී, අඤ්ඤාණ බවට පත්වේ. ලෝභකම නිසා මානසික අසහනය හා පසුතැවිල්ල ඇතිවේ, නිවණ හා සැනසීම දුරස්වේ.

ලෝභකමෙන් කරන- කියන- හිතන දේවල්, තමන්ටත් අනුන්ටත් කරදරවෙන අකුසල්ය. ලෝභකම නිසා, සතුන් මැරීම - සොරකම්- පරදාර කර්ම- බොරුකීම ආදී පාප කර්ම හා ඒවාට අනුබල දීම සිදුවේ. ඒ නිසා මෙලොවත් පරලොවත් දුෂණය- භීෂණය- වෛරය ඇති වන අතර, සිතින් දුක් වීමට සිදුවේ.
ලෝභකමෙන් කරන- කියන- හිතන දෙවල් වලින්, දිව්‍ය-මනුස්ස සුගතියක් හෝ වෙනත් කිසිම ප්‍රිය-මනාපවූ, හොඳ විපාකයක් නොලැබේ. නමුත්, ලෝභකම නිසා කරන-කියන-හිතන දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගති හා වෙනත් අප්‍රිය-අමනාප-නරක විපාක ලැබේ.

ලෝභ වෙනකොට මනුස්සකම නැති වෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම නැති කරන ‘ලෝභ-චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම නැති, චුති සිතෙන් ඊළඟට උපදින්නේ, තිරිසනෙක් හෝ ඊටත් වඩා නරක අපාගත සත්වයෙක්ය. ලෝභ වීමෙන්, ත්‍යාගවන්ත සුගති සත්වයන් ඇති නොවේ. ලෝභ වීමෙන් ඇති වෙන්නේ, ලෝභ කමෙන් පෙළෙන දුගති සත්වයන්ය. ඒ නිසා ලෝභකම සිතේ ඇතිකර ගැනීම, තියාගැනීම හා ලෝභකමෙන් කරන-කියන-හිතන සියල්ලම දුක්-විපාක ලැබෙන බරපතල වරදකි.
(2) ලෝභකමෙන් තොරවීම නිසා සිදුවන යහපත.
ලෝභකම ඇති නොවන විට, තමන්ගේත් අනුන්ගේත් යහපත-අයහපත තේරුම් ගැනීමට හැකි වෙන අතර, ප්‍රඥාව පහළවී, ඤාණවන්ත බවට පත්වේ. ලෝභ නොවීමෙන්, මානසික සහනය, සැනසීම හා නිවණ ලැබෙන අතර, පසු තැවිල්ලක් ඇති නොවේ.

ලෝභ නොවී, කරන- කියන- හිතන දේවල්, තමන්ටවත් අනුන්ටවත් කරදර නොවෙන කුසල්ය. ලෝභකම ඇති නොවන විට, සතුන් මැරීම- සොරකම්- පරදාර කර්ම- බොරුකීම ආදී පාප කර්ම හෝ ඒවාට අනුබල දීම සිදු නොවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය-භීෂණය-වෛරය සන්සිඳෙන අතර, සිතින් දුක්වීමට සිදු නොවේ.

ලෝභකමෙන් තොරව, කරන- කියන- හිතන දෙවල් වලින් නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගතියක් හෝ වෙනත් කිසිම අප්‍රිය-අමනාප-නරක විපාකයක් නොලැබේ. නමුත්, ලෝභ කමෙන් තොරව, කරන- කියන- හිතන දෙවල් වලින්, දිව්‍ය-මනුස්ස සුගති හා වෙනත් ප්‍රියමනාපවූ, හොඳ විපාක ලැබේ.

ලෝභ නොවෙන කොට, මනුස්සකම ඇතිවෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම ඇති කරන ‘ලෝභ-නොවෙන චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම තියන, චුති සිතෙන් ඊළඟට උපදින්නේ මනුස්සයෙක් හෝ දෙවියෙක්ය. ලෝභ නොවීමෙන්, ලෝභ සහගත දුගති සත්වයන් ඇති නොවේ. ලෝභ නොවීමෙන් ඇති වෙන්නේ, ත්‍යාගවන්ත සුගති සත්වයන්ය. ඒනිසා ලෝභකම තමන් තුල උපදින කරදරයක්- සතුරෙක්- වධකයෙක් බව හොඳින් තේරුම්ගෙන, ලෝභකම වෙනස් කරගෙන, ලෝභ කමෙන් තොරව ජීවත්වීම, නිවැරදි සුගතිගාමී ප්‍රතිපත්තියයි.

(ලොභං භික්‌ඛවෙ අනභිජානං අපරිජානං තත්‌ථ චිත්‌තං අවිරාජයං අප්‌පජහං අභබ්‌බො දුක්‌ඛක්‌ඛයාය) (ලෝභං භික්‌ඛවෙ, එකධම්‌මං පජහථ, අහං වො පාටිභොගො අනාගාමිතාය)
(යෙන ලොභෙන ලුද්‌ධාසෙ සත්‌තා ගච්‌ඡන්‌ති දුග්‌ගතිං
තං ලොභං සම්‌මදඤ්‌ඤාය පජහන්‌ති විපස්‌සිනො
පහාය න පුනායන්‌ති ඉමං ලොකං කුදාචනං) 
-ඉතිවුත්තක.ලොභසුත්‌තං-

ලෝභකම ගැන සම්පූර්ණයෙන් හා නිවැරදිව තේරුම් නොගෙන, ලෝභ කමෙන් වෙන් නොවී, ලෝභකම අත්නොහැර, ලෝභකම නිසා ඇති වෙන දුක ඉවර කිරීමට නොහැක. ලෝභකම නිසා අපාගත වෙන සත්වයන්, ලෝභ කමෙන් සිදු වෙන කරදර පැහැදිලිව තේරුම්ගෙන, ලෝභකම විතරක් සම්පුර්ණයෙන් අත්හැරීමෙන් නැවත මේ ලෝකයට නොඑන අනාගාමී තත්වයට පත්වේ.
(3) ද්වේශය හෙවත් දුෂ්ඨකම නිසා සිදුවන කරදර.
(දුට්‌ඨොඛො ආවුසො, දොසෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො අත්‌තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි.., උභයබ්‍යාබාධා යපි.., චෙතසිකම්‌පි දුක්‌ඛං දොමනස්‌සං පටිසංවෙදෙති. දොසෙ පහීනෙ නෙවත්‌තබ්‍යාබාධායපි.., න පරබ්‍යාබාධායපි.., න උභය බ්‍යාබාධායපි.., න චෙතසිකම්‌පි දුක්‌ඛං... දුට්‌ඨොඛො ආවුසො, දොසෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො කායෙන දුච්‌චරිතං චරති, වාචාය.., මනසා... දොසෙ පහීනෙ නෙව කායෙන දුච්‌චරි තං චරති, න වාචාය.., න මනසා... දුට්‌ඨො ඛො ආවුසො, දොසෙ න අභිභූතො... අත්‌තත්‌ථම්‌පි යථා භූතං නප්‌පජානාති, පරත්‌ථම්‌පි .., උභයත්‌ථම්‌පි... දොසෙ පහීනෙ අත්‌තත්‌ථම්‌පි යථාභූතං පජානා ති, පරත්‌ථම්‌පි.., උභයත්ථම්පි... දොසො ඛො ආවුසො, අන්‌ධ කරණො, අචක්‌ඛුකරණො, අඤ්‌ඤාණකරණො, පඤ්‌ඤා නිරොධිකො, විඝාතපක්‌ඛිකො, අනිබ්‌බාන සංවත්‌තනිකො. ඉදං දොසෙ ආදීනවං දිස්‌වා දොසස්‌ස පහානං පඤ්‌ඤාපෙම.)
-අ.නි.තිකනිපාත.ඡන්‌නසුත්‌තං-

ද්වේශය ඇතිවන විට, තමන්ගේවත් අනුන්ගේවත් යහපත- අයහපත තේරුම් ගැනීමට නොහැකිය. ද්වේශයෙන් ප්‍රඥාව අන්ධවී, අඤ්ඤාණ බවට පත්වේ. ද්වේශය නිසා මානසික අසහනය හා පසුතැවිල්ල ඇතිවේ, නිවණ හා සැනසීම දුරස්වේ.

ද්වේශයෙන් කරන- කියන- හිතන දේවල්, තමන්ටත් අනුන්ටත් කරදර වෙන අකුසල්ය. ද්වේශය නිසා, සතුන් මැරීම- සොරකම්- පරදාර කර්ම- බොරු කීම ආදී පාප කර්ම හා ඒවාට අනුබල දීම සිදුවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය-භීෂණය-වෛරය ඇති වන අතර, සිතින් දුක් වීමට සිදුවේ.

ද්වේශයෙන් කරන- කියන- හිතන දෙවල් වලින්, දිව්‍ය-මනුස්ස සුගතියක් හෝ වෙනත් කිසිම ප්‍රිය මනාපවූ, හොඳ විපාකයක් නොලැබේ. නමුත්, ද්වේශය නිසා කරන-කියන-හිතන දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගති හා වෙනත් අප්‍රිය-අමනාප-නරක විපාක ලැබේ.

ද්වේශයෙන් දුෂ්ඨ වෙනකොට, මනුස්සකම නැතිවෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම නැති කරන ‘දුෂ්ඨ-චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම නැති, චුති සිතෙන් ඊළඟට උපදින්නේ, තිරිසනෙක් හෝ ඊටත් වඩා නරක අපාගත සත්වයෙක්ය. දුෂ්ඨවීමෙන්, මිත්‍රශීලී සුගති සත්වයන් ඇති නොවේ. දුෂ්ඨවීමෙන් ඇති වෙන්නේ, ද්වේශයෙන් පෙළෙන දුගති සත්වයන්ය. ඒ නිසා ද්වේශය සිතේ ඇති කරගැනීම, තියාගැනීම හා ද්වේශයෙන් කරන- කියන- හිතන සියල්ලම දුක්විපාක ලැබෙන බරපතල වරදකි.

(4) ද්වේශයෙන් තොරවීම නිසා සිදුවන යහපත.
ද්වේශය සිතේ ඇතිනොවන විට, තමන්ගේත් අනුන්ගේත් යහපත-අයහපත තේරුම් ගැනීමට හැකි වෙන අතර, ප්‍රඥාව පහළවී, ඤාණවන්ත බවට පත්වේ. දුෂ්ඨ නොවීමෙන්, මානසික සහනය, සැනසීම හා නිවණ ලැබෙන අතර, පසු තැවිල්ලක් ඇති නොවේ.

ද්වේශය ඇති නොවී කරන- කියන- හිතන දේවල්, තමන්ටවත් අනුන්ටවත් කරදර නොවෙන කුසල්ය. ද්වේශය ඇති නොවන විට, සතුන්මැරීම- සොරකම්- පරදාරකර්ම- බොරු කීම ආදී පාප කර්ම හෝ ඒවාට අනුබල දීම සිදුනොවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය-භීෂණය-වෛරය සන්සිඳෙන අතර, සිතින් දුක් වීමට සිදු නොවේ.

ද්වේශයෙන් තොරව, කරන- කියන- හිතන දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගතියක් හෝ වෙනත් කිසිම අප්‍රිය-අමනාප-නරක විපාකයක් නොලැබේ. නමුත්, ද්වේශ යෙන් තොරව, කරන-කියන-හිතන දෙවල් වලින්, දිව්‍ය-මනුස්ස සුගති හා වෙනත් ප්‍රිය මනාපවූ, හොඳ විපාක ලැබේ.

ද්වේශයෙන් දුෂ්ඨ-නොවෙනකොට, මනුස්සකම ඇතිවෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාට මනුස්සකම ලබා දෙන ‘දුෂ්ඨ-නොවෙන චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම තියන, චුති සිතෙන් ඊළඟට උපදින්නේ, මනුස්සයෙක් හෝ දෙවියෙක්ය. දුෂ්ඨ නොවීමෙන්, ද්වේශ සහගත දුගති සත්වයන් ඇති නොවේ. දුෂ්ඨ නොවීමෙන් ඇති වෙන්නේ මිත්‍රශීලී සුගති සත්වයන්ය. ඒ නිසා, ද්වේශය තමන් තුලම උපදින කරදරයක්, සතුරෙක්, වධකයෙක් බව නිවැරදිව තේරුම් ගෙන, ද්වේශය වෙනස් කරගෙන, ද්වේශයෙන් තොරව ජීවත්වීම නිවැරදි සුගතිගාමී ප්‍රතිපත්තියයි.

(දොසං භික්‌ඛවෙ අනභිජානං අපරිජානං තත්‌ථ චිත්‌තං අවිරාජයං අප්‌පජහං අභබ්‌බො දුක්‌ඛක්‌ඛයාය.)
(දොසං භික්‌ඛවෙ එකධම්‌මං පජහථ, අහං වො පාටිභොගො අනාගාමිතාය)
(යෙන දොසෙන දුට්ඨාසෙ සත්‌තා ගච්‌ඡන්‌ති දුග්‌ගතිං
තං දොසං සම්‌මදඤ්‌ඤාය පජහන්‌ති විපස්‌සිනො
පහාය න පුනායන්‌ති ඉමං ලොකං කුදාචනං) 
-ඉතිවුත්තක.දොසසුත්‌තං-

ද්වේශය ගැන සම්පූර්ණයෙන් හා නිවැරදිව තේරුම් නොගෙන, ද්වේශයෙන් වෙන් නොවී, ද්වේශය අත් නොහැර, ද්වේශය නිසා ඇතිවෙන දුක ඉවර කිරීමට නොහැක. ද්වේශය නිසා අපාගත වෙන සත්වයන්, ද්වේශය නිසා සිදු වෙන කරදර පැහැදිලිව තේරුම්ගෙන, ද්වේශය විතරක් සම්පුර්ණයෙන් අත්හැරීමෙන්, නැවත මේ ලෝකයට නොඑන අනාගාමී තත්වයට පත්වේ.
(5) මෝහය හෙවත් මෝඩකම නිසා සිදුවන කරදර.
(මූළ්‌හො ඛො ආවුසො, මොහෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො අත්‌තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම්‌පි දුක්‌ඛං දොමනස්‌සං පටිසංවෙදෙති. මොහෙ පහීනෙ නෙවත්‌ත බ්‍යාබාධායපි චෙතෙති, න පරබ්‍යාබාධායපි.., න උභය බ්‍යාබාධායපි.., න චෙතසිකම්‌පි දුක්‌ඛං... මූළ්‌හො ඛො ආවුසො, මොහෙන අභිභූතො පරියාදින්‌න චිත්‌තො කායෙන දුච්‌චරිතං චරති, වාචාය දුච්‌චරිතං චරති, මනසා දුච්‌චරිතං චරති. මොහෙ පහීනෙ නෙව කායෙන දුච්‌චරිතං චරති, න වාචාය.., න මනසා... මූළ්‌හො ඛො ආවුසො, මොහෙන අභිභූතො... අත්‌තත්‌ථම්‌පි යථාභූතං නප්‌පජානාති, පරත්‌ථම්‌පි.., උභයත්‌ථම්‌පි... මොහෙ පහීනෙ අත්‌තත්‌ථම්‌පි යථාභූතං පජානාති, පරත්‌ථම්‌පි.., උභයත්‌ථම්‌පි... මොහො ඛො ආවුසො, අන්‌ධකරණො, අචක්‌ඛුකරණො, අඤ්‌ඤාණකරණො, පඤ්‌ඤානිරොධිකො, විඝාතපක්‌ඛිකො, අනිබ්‌බාන සංවත්‌තනිකො. ඉදං මොහෙ ආදීනවං දිස්‌වා මොහස්‌ස පහානං පඤ්‌ඤාපෙම.)
-අ.නි.තිකනිපාත.ඡන්‌නසුත්‌තං-

මෝහය ඇතිවෙන විට, තමන්ගේවත් අනුන්ගේවත් යහපත- අයහපත තේරුම් ගැනීමට නොහැකිය. මෝහයෙන් ප්‍රඥාව අන්ධවී, අඤ්ඤාණ බවට පත්වේ. මුළාවීම නිසා මානසික අසහනය හා පසුතැවිල්ල ඇතිවේ, නිවණ හා සැනසීම දුරස්වේ.

මෝහයෙන් මුළාවී කරන-කියන-හිතන දේවල්, තමන්ටත් අනුන්ටත් කරදර වෙන අකුසල්ය. මෝහය නිසා, සතුන් මැරීම- සොරකම්- පරදාර කර්ම- බොරුකීම ආදී පාප කර්ම හා ඒවාට අනුබල දීම සිදුවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය-භීෂණය-වෛරය ඇති වන අතර, සිතින් දුක් වීමට සිදුවේ.


මෝහයෙන් මුළාවී, කරන-කියන-හිතන දෙවල් වලින්, දිව්‍ය-මනුස්ස සුගතියක් හෝ වෙනත් කිසිම ප්‍රියමනාපවූ, හොඳ විපාකයක් නොලැබේ. නමුත්, මෝහයෙන් මුළාවීම නිසා කරන- කියන- හිතන දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගති හා වෙනත් අප්‍රිය-අමනාප-නරක විපාක ලැබේ.

මෝහයෙන් මුළා වෙනකොට, මනුස්සකම නැතිවෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම නැති කරන ‘මෝහ-චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම නැති, චුති සිතෙන් ඊළඟට උපදින්නේ, තිරිසනෙක් හෝ ඊටත් වඩා නරක අපාගත සත්වයෙක්ය. මෝහයෙන් මුළා වීමෙන්, ඤාණවන්ත සුගති සත්වයන් ඇති නොවේ. මෝහයෙන් මුළා වීමෙන් ඇති වෙන්නේ, අඤ්ඤාණ දුගති සත්වයන්ය. ඒ නිසා මෝහය සිතේ ඇතිකර ගැනීම, තියාගැනීම හා මෝහයෙන් මුළාවී කරන- කියන- හිතන සියල්ලම දුක්විපාක ලැබෙන බරපතල වරදකි.

(6) මෝහයෙන් තොරවීම නිසා සිදුවන යහපත.
මෝහය සිතේ ඇතිනොවන විට, තමන්ගේත් අනුන්ගේත් යහපත-අයහපත තේරුම් ගැනීමට හැකි වෙන අතර, ප්‍රඥාව පහළවී, ඤාණවන්ත බවට පත්වේ. මෝහයෙන් මුළා නොවීමෙන්, මානසික සහනය, සැනසීම හා නිවණ ලැබෙන අතර, පසු තැවිල්ලක් ඇති නොවේ.

මෝහයෙන් මුළා නොවී, කරන- කියන- හිතන දේවල්, තමන්ටවත් අනුන්ටවත් කරදර නොවෙන කුසල්ය. මෝහය ඇති නොවන විට, සතුන් මැරීම- සොරකම්- පරදාර කර්ම-බොරුකීම ආදී පාපකර්ම හෝ ඒවාට අනුබල දීම සිදු නොවේ. ඒනිසා මෙලොවත් පරලොවත් දුෂණය- භීෂණය- වෛරය සන්සිඳෙන අතර, සිතින් දුක්වීමට සිදු නොවේ.

මෝහයෙන් තොරව, කරන- කියන- හිතන දෙවල් වලින්, නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාය දුගතියක් හෝ වෙනත් කිසිම අප්‍රිය-අමනාප නරක විපාකයක් නොලැබේ. නමුත්, මෝහයෙන් තොරව, කරන-කියන-හිතන දෙවල් වලින්, දිව්‍ය-මනුස්ස සුගති හා වෙනත් ප්‍රියමනාපවූ, හොඳ විපාක ලැබේ.

මෝහයෙන් මුළා-නොවෙන කොට, මනුස්සකම ඇතිවෙන බව ප්‍රායෝගිකව තේරුම් ගන්න. මිනිසාගේ මනුස්සකම ඇති කරන ‘මෝහයෙන් මුළා-නොවෙන චේතනාවක්’ මැරෙන මොහොතේ ඇති වුනොත්, ඒ මනුස්සකම තියන, චුති සිතෙන් ඊළඟට උපදින්නේ, මනුස්සයෙක් හෝ දෙවියෙක්ය. මෝහයෙන් මුළා නොවීමෙන්, අඤ්ඤාණ දුගති සත්වයන් ඇති නොවේ. මෝහයෙන් මුළා නොවීමෙන් ඇති වෙන්නේ ඤාණවන්ත සුගති සත්වයන්ය. ඒ නිසා, මෝහය තමන් තුලම උපදින කරදරයක්, සතුරෙක්, වධකයෙක් බව නිවැරදිව තේරුම්ගෙන, මෝහය වෙනස් කරගෙන, මෝහයෙන් තොරව ජීවත්වීම නිවැරදි සුගතිගාමී ප්‍රතිපත්තියයි.

(මොහං භික්‌ඛවෙ අනභිජානං අපරිජානං තත්‌ථ චිත්‌තං අවිරාජයං අප්‌පජහං අභබ්‌බො දුක්‌ඛක්‌ඛයාය.)(මොහං භික්‌ඛවෙ, එකධම්‌මං පජහථ, අහං වො පාටිභොගො අනාගාමිතාය)
(යෙන මොහෙන මූළ්හාසෙ සත්‌තා ගච්‌ඡන්‌ති දුග්‌ගතිං
තං මොහං සම්‌මදඤ්‌ඤාය පජහන්‌ති විපස්‌සිනො
පහාය න පුනායන්‌ති ඉමං ලොකං කුදාචනං)
-ඉතිවුත්තක.මොහසුත්‌තං-

මෝහය ගැන සම්පූර්ණයෙන් හා නිවැරදිව තේරුම් නොගෙන, මෝහයෙන් වෙන්නොවී, මෝහය අත් නොහැර, මෝහය නිසා ඇතිවෙන දුක ඉවර කිරීමට නොහැක. මෝහය නිසා අපාගත වෙන සත්වයන්, මෝහය නිසා සිදු වෙන කරදර පැහැදිලිව තේරුම් ගෙන, මෝහය විතරක් සම්පුර්ණයෙන් අත්හැරීමෙන්, නැවත මේ ලෝකයට නොඑන අනාගාමී තත්වයට පත්වේ.෴ 

3. කර්මය.
(1) (කම්‌මස්‌සකා මාණව සත්‌තා, කම්‌ම දායාදා, කම්‌මයොනි, කම්‌ම බන්‌ධූ, කම්‌ම ‌පටිසරණා, කම්‌මං සත්‌තෙ විභජති යදිදං හීන ‌පණීතතාය...)
-ම.නි.උපරිපණ්ණාසක.චූළකම්‌මවිභඞ්‌ගසුත්‌තං-

සත්වයා, තමන් විසින් කරන-කියන-හිතන හොඳ හෝ නරක කර්ම වලට ප්‍රායෝගිකව වග කියන කර්ම කරකයාය. කරන-කියන-හිතන හොඳ-නරක කර්ම වලින් සත්වයා නිර්මාණය වෙන අතර, ඒ කරන- කියන- හිතන කර්ම වලින්ම සත්වයන්ගේ උසස්-පහත් භේදය ඇතිවේ. ලෝකයේ ජීවත් වෙන සියලු සත්වයන් නිරතුරුවම හොඳ හෝ නරක කර්ම කිරීමට, කර්ම බන්ධනයෙන් බැඳී ඇත. කරන-කියන-හිතන ක්‍රියාකාරීත්වය ස්ථිරව නතර වෙන තත්වය නිවීමයි.
සත්වලෝකයේ පැවැත්ම තුල සියල්ල සිදු වෙන්නේ කරන- කියන- හිතන කර්ම වලින්ය. ප්‍රායෝගිකව තමන් කරන- කියන- හිතන ක්‍රියාකාරීත්වයෙන් තොරව සත්ව-ලෝකයේ කිසිම අත්දැකීමක් නොලැබෙන නිසා තමන්ට වෙන හොඳ-නරක, සැප-දුක් සිදුවෙන්නේ, තමන්ම කරන-කියන-හිතන ක්‍රියා කාරීත්වය තුලින්ය. එය කර්මවාදී-ක්‍රියාවාදී න්‍යායයි. මෙම ප්‍රායෝගික සත්‍යය අනුව ලෝකයට නියම සාමය-සැනසීම උදා වෙන්නේ, මිනිසා විසින් කරන-කියන-හිතන දේවල් නිවැරදි අතට වෙනස් කරන ආර්ය විනයෙන් පමණි.

(සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං එතං බුද්ධානං සාසනං) 
-ධම්මපද.බුද්‌ධවග්‌ග-

කරන- කියන- හිතන සියලු වැරදි පාප කර්ම නොකරන විට, සිත පිරිසිදුවී, නිවණ අවබෝධ වන බව, බුදුරජාණන් වහන්සේ විසින් අත්දැකීමෙන් ‍සොයාගෙන ලෝකයට නිවේදනය කරන ලදි.

(2) (කාමධාතුවෙපක්‌කඤ්‌ච ආනන්‌ද, කම්‌මං නාභවිස්‌ස, අපි නු ඛො කාම භවො පඤ්‌ඤායෙථ? නොහෙතං භන්‌තෙ. ඉතිඛො ආනන්‌ද, කම්‌මං ඛෙත්‌තං, විඤ්‌ඤාණං බීජං, තණ්‌හා ස්‌නෙහො. අවිජ්‌ජා නීවරණානං සත්‌තානං තණ්‌හා සංයොජනානං හීනාය ධාතුයා චෙතනා පතිට්‌ඨිතා, පත්‌ථනා පතිට්‌ඨිතා-විඤ්‌ඤාණං පති ට්‌ඨිතං එවං ආයතිං පුනබ්‌භවාභිනිබ්‌බත්‌තිහොති) 
-අ.නි.තික.භවසුත්‌තං-

කාම ලෝකයේ උපදින සත්වයන්ට, මැරෙන තුරු කරන්නට-කියන්නට-හිතන්නට කර්ම කිසිවක් නොතිබුණා නම්, කාම භවයක් පෙන්විය නොහැක. එනම්, සත්වයාගේ පැවැත්මට ක්ෂේත්‍රය වන්නේ කරන- කියන- හිතන ක්‍රියාකාරීත්වයයි. ලෝකය තුල එක එක දේවල් කරමින්-කියමින්-සිතමින් සිටීමට අරමුණු ලබාදී, මෙහෙය වන්නේ සිත හෙවත් විඤ්‌ඤාණයයි. සිතට එන එන දේවල් කිරීමට, උනන්දු කර පොළඹවන්නේ තණහාවයි. තණ්‌හාව ඇති වෙන්නේ, මේ පැවැත්ම තනිකර දුකක් බව නොතේරෙන නිසා හෙවත් අවිද්‍යාව නිසයි. අවිද්‍යාවෙන් අන්ධවී, තණ්හාවෙන් තැති ගෙන උනන්දුවී, ලෝකයට බැඳෙන සිතවිලි-චේතනා-ප්‍රාර්ථනා මගින් කරන- කියන- හිතන දේවල් නොකඩවා පවත්වා ගෙනයාම භවයයි.

සියල්ල කර්මයෙන් සිදුනොවේ, යන කියමනේ, කර්මය යන වචනය යොදා තිබෙන්නේ, පෙර ආත්මවල කළ කර්ම වලටය. සියල්ල පෙර-කර්ම වලින් සිදුවෙනවා නම්, දැන් කරන-කියන-හිතන කටයුතු වල ක්ෂණික ප්‍රතිඵල ලැබීමක් විය නොහැක. මෙහිදී, කායකම්ම- වචීකම්ම- මනොකම්ම යනු, කරන- කියන- හිතන සියලු ක්‍රියාවන්ය.
උතු නියාම- බීජනියාම- කම්‌මනියාම- ධම්‌මනියාම- චිත්‌තනියාම යන නියාමධර්ම වලින්, කම්‌ම නියාමය නොතිබුණා නම්, සත්වලෝකය පැවතීමට ක්ෂේත්‍රයක් නැතිවේ. ඒනිසා, සත්වයා යනු තනිකරම කර්මයක් බව හා ක්‍රියාකාරකම් සමූහයක එකතුවක් බව පැහැදිලිව තේරුම්ගත යුතුය.

(3) (...චක්‌ඛු භික්‌ඛවෙ, පුරාණ-කම්‌මං අභිසඞ්‌ඛතං අභිසඤ්චෙත යිතං වෙදනියං දට්‌ඨබ්‌බං, සොතං... ඝානං... ජිව්‌හා... කායො... මනො... ඉදං වුච්‌චති භික්‌ඛවෙ, පුරාණකම්‌මං. කතමඤ්‌ච භික්‌ඛවෙ, නව කම්‌මං? යං ඛො භික්‌ඛවෙ, එතරහි කම්‌මං කරොති කායෙන වාචාය මනසා, ඉදං වුච්‌චති භික්‌ඛවෙ, නව-කම්‌මං. කතමොච භික්‌ඛවෙ, කම්‌ම නිරොධො? යො ඛො භික්‌ඛවෙ, කාය කම්‌ම වචීකම්‌ම මනො කම්‌මස්‌ස නිරොධා විමුත්‌තිං ඵුසති, අයං වුච්‌චති භික්‌ඛවෙ, කම්‌ම නිරොධො. කතමාච භික්‌ඛවෙ, කම්‌ම නිරොධගාමිනී පටිපදා? අයමෙව අරියො අට්‌ඨඞ්‌ගිකො මග්‌ගො...) 
-සං.නි.සලායතනවග්ග.කම්‌මනිරොධසුත්‌තං-

ඇස්-කන්-නාස-දිව-කය-මනස යන සංවේදී ආයතන වලින් හැදුන සත්වයා, පුරාණ-කර්මයක ප්‍රතිඵල අත්විඳින තාවකාලික නිර්මාණයක් බව තේරුම් ගත යුතුය. එසේ හැදෙන සත්වයා විසින් දැන් කරන-කියන-හිතන දේවල්, නව-කර්ම වේ. කරන-කියන-හිතන සියලු ක්‍රියාකාරකම් නවතින තත්වයට පත්වීමෙන් ලැබෙන විමුක්තිය ස්පර්ශ කිරීම හෙවත් කර්ම-නිරෝධය නිවීමයි. කර්ම-නිරෝධය වෙන ක්‍රමය ආර්යෂ්ඨාංගික මාර්ගයයි.

(සන්‌ති භික්‌ඛවෙ, සත්‌තා නානත්‌තකායා නානත්‌ත සඤ්‌ඤිනො, සෙය්‍යථාපි මනුස්‌සා...) -දී.නි.මහාවග්ග.මහාපදානසුත්‌තං-

සත්වයන් එකිනෙකාට වෙනස්ව උපදින්නේ, ඔවුන්ගේ උපතට හේතුවන පෙර කර්ම වල වෙනස නිසාය. එකම ක්‍රියාව වුනත් දෙන්නෙක් කරන්නේ දෙවිදිහකටය. ඒ නිසා නානප්‍රකාර දේවල් නානප්‍රකාර විදිහට, කරන- කියන- හිතන සත්වයන්, එක වගේ නැවත උපදින්නේ නැත. නානප්‍රකාර කර්ම වලින් නානප්‍රකාර මිනිසුන් උපදී. පෙර කර්ම වලට දැන් කල හැක්කේ, මුහුණදීම පමණි. දැන් කරන-කියන-හිතන නව කර්ම වලින් වර්තමානය හා අනාගතය නිර්මාණය වේ. දැන් කරන- කියන- හිතන දේවල් සියල්ල යහපත් අතට වෙනස් කිරීම නිවණයි.

(4) (...රාගක්‌ඛයො දොසක්‌ඛයො මොහක්‌ඛයො, ඉදං වුච්‌චති අරහත්‌තං) 
-සං.නි.සලායතනවග්ග.අරහත්‌ත/නිබ්‌බානපඤ්‌හාසුත්‌ත-

දැන් කරන-කියන-හිතන අකුසල කර්ම වලට මුල්වෙන, රාග-ද්වේශ-මෝහ පමණක් සම්පූර්ණයෙන් ඉවර කිරීමෙන්, සියලු කර්ම ඉවරවී නිවීම හෙවත් අරහත් භාවය සිද්ධවේ. සම්පූර්ණ යෙන්ම අකුසල් නොකර සිට, අරහත් භාවයට පත්වීමෙන් පසුව, කුසල්-අකුසල් කර්ම දෙකම අහෝසිවේ. කුසලය පවතින්නේ අකුසලයට සාපේක්ෂව නිසා, අකුසලය අවසන්වූ විට ප්‍රායෝගිකව කුසලයක් විද්‍යාමාන නොවේ. අපිරිසිදු තැනක, අපිරිසිදු බව කරදරයක් නිසා, අපිරිසිදු දේවල් ඉවත් කර පිරිසිදු කිරීමෙන්, එතන කලින් තිබුණ අපිරිසිදු බවට සාපේක්ෂව අමුතුවෙන් පිරිසිදු බවක් ලැබේ. ඉන්පසු, එහි අපිරිසිදු බවක් නැති නිසා, නැවත අමුතුවෙන් ලැබෙන පිරිසිදු බවකුත් නැත. එවිට අපිරිසිදු බව හා අපිරිසිදු බව යන දෙකම අතුරුදහන් වේ. ත්‍රස්තවාදී කරදර නිසා, යුද්ධය මගින් ත්‍රස්තවාදය සම්පූර්ණ යෙන් ඉවර කිරීමෙන් පසුව, දැන් ත්‍රස්තවාදය හා යුද්ධය යන දෙකම නැත. පෙර නොවූ සාමය ඇත.

එමෙන්ම අකුසල්වල කරදරය නිසා, කුසලය මගින් අකුසලය සම්පූර්ණයෙන් ඉවර කළපසු, කුසල්-අකුසල් දෙකම අහෝසිවී, පෙර නොවූ සැනසීම, නිවීම, විද්‍යමානවේ. ඉන්පසුව ලෝකයේ වෙනත් කළයුත්තක් නැති බව හා නැවත ඉපදීමක් නැති බව පැහැදිලි වෙන අසාමාන්‍ය විමුක්ති-ඥානය පහළවේ. ඒ නිසා සියලු අකුසල් වලින් වෙන්වී, කුසල් උපදවා ගැනීම දිගටම කිරීමට අවශ්‍ය නැත. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් සිත පිරිසිදුවී සත්‍ය අවබෝධවූ විට, නැවත අපිරිසිදු වීමක් හෝ වෙනත් කිසිම කරදරයක් ඇති නොවන නිසා ඉන්පසු වෙන කළ යුත්තක් නැත.

(5) (යෙපි තෙ භික්‌ඛවෙ, අහෙසුං අතීතමද්‌ධානං අරහන්තො සම්‌මාසම්‌බුද්‌ධා, තෙපි භගවන්‌තො කම්‌මවාදා චෙව අහෙසුං කිරියවාදාච, වීරියවාදාච. යෙපි තෙ භික්‌ඛවෙ, භවිස්‌සන්‌ති අනාගතමද්‌ධානං අරහන්‌තො සම්‌මාසම්‌බුද්‌ධා, තෙපි භගවන්‌තො කම්‌මවාදා චෙව භවිස්‌සන්‌ති කිරියවාදාච වීරිය වාදාච...) 
-අ.නි.චතුක්කනිපාත.කෙසකම්‌බලසුත්‌තං-

අතීත-අනාගත-වර්තමාන සියලුම බුදුවරුන් කර්මවාදී-ක්‍රියාවාදී න්‍යාය අනුව කර්මය, ක්‍රියාව හා වීරිය ප්‍රකාශ කරති. එයට හේතුව, සත්වයන්ගේ පැවැත්ම හා සැප-දුක් විඳීම සිදුවන්නේ, කරන-කියන-හිතන ක්‍රියාකාරීත්වය තුලින් වන නිසාය.

(යෙ තෙ භික්‌ඛවෙ අග්‌ගිකා ජටිලකා, තෙ ආගතා උපසම්‌පාදෙත බ්‌බා. න තෙසං පරිවාසො දාතබ්‌බො. තං කිස්‌ස හෙතු? කම්‌ම වාදිනො එතෙ භික්‌ඛවෙ, කිරියවාදිනො)
-විනය.මහාවග්ග.අඤ්‌ඤතිත්‌ථියපුබ්‌බකථා-

ගිනිපූජා කරන, ජටිල තාපසවරු බුද්ධ සාසනයේ පැවිදිවන විට, වෙනත් අන්‍යාගමිකයන්ට මෙන් පරිවාස කාලයක් නොදී, ඔවුන්ව පැවිදි කරන ලෙස, බුදුරජාණන් වහන්සේ නියම කළේ, ගිනි පූජා කිරීම නිෂ්ඵල වුනත්, එමගින් ඔවුන් කර්මවාදී-ක්‍රියාවාදී න්‍යාය පිළිගන්නා නිසාය.

(6) (යඤ්‌ඤදෙව භික්‌ඛවෙ භික්‌ඛු බහුලං අනුවිතක්‌කෙති අනු විචාරෙති, තථා තථා නති හොති චෙතසො...)
-ම.නි.මූලපණ්ණාසක.ද්‌වෙධාවිතක්‌කසුත්‌තං-

බහුලව සිතින් විතර්ක කරන දේට හා බහුලව සිතේ හැසිරෙන දේට, නිරායාසයෙන්ම සිත නැඹුරුවේ. සිතට එන දේවල් කීමට හා කිරීමට පෙළඹීමත්, කරන-කියන-හිතන දෙවල් වලට පුරුදු වීමත්, පුරුදු වුන ගති අත්හැරීමට නොහැකි වීමත්, යනාදිය ස්වභාවික කර්ම විපාක න්‍යායට අනුව වෙන දේවල්ය. සිතීමේ හැකියාව සීමිතවූ තිරිසන් සතුන් වුනත්, විවිධ දේවල් කිරීමට පුරුදු කළ හැක්කේ, මෙම න්‍යායට අනුවය. පුරුදු කරන කර්ම බලයෙන් අදාල සත්වයාගේ පැවැත්ම වෙනස් කර, එම පුරුදු කළ කර්ම ස්වභාවයේ කෙනෙක් බවට පරිවර්තනය කරයි. පුරුදු කරන ලද කර්ම බලයෙන් නැවත උපදින්නේද එසේමය.
නැවත ඉපදීම වෙන්නේ තමන්ම කරන-කියන-හිතන චේතනා වලින්ය. යහතින් ජීවත් වෙන සත්වයාගේ ස්වභාවය තීරණය කරන කර්ම බලය මගින්, මරණාසන්න දුර්වල සත්වයාගේ සිත ඊළඟට වෙනත් කයකට යැවීම සුලු දෙයකි. යම් කෙනෙක් ඉගෙන ගෙන පුරුදු පුහුණු නොකළ දෙයක් වුනත්, තව කෙනෙක් කරන දිහා බලාගෙන අනුකරණය කරන්නේ, ඒ කරන ක්‍රියාව ගැන චේතනාවක් ඇතිවීම නිසාය. චේතනාවේම බලයෙන් ක්‍රියාව සිදු වන නිසා චේතනාවම කර්මය වේ. තමන්ගෙ චේතනාවක් ඇති නොවූ දෙයක් කිරීමට නොහැකිය, තමන්ට චේතනාවක් ඇති වුනොත්, කරන දේවල් වැළැක්විය නොහැකිය. කරන-කියන-හිතන ක්‍රියාවල, කර්මවල බලය හා බරපතලකම ඒ අනුව තේරුම්ගත යුතුය. හොඳ හෝ නරක දේවල් ඉගෙනීම, පුරුදු පුහුණු වීම, හුරුවීම නිසා ප්‍රායෝගිකව හොඳ හෝ නරක පුද්ගලයන් බවට පත් වන්නේ මේ කර්ම විපාක න්‍යාය අනුවය.

(7) (කායෙවා භික්‌ඛවෙ සති, කායසඤ්‌චෙතනාහෙතු, උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. වාචායවා භික්‌ඛවෙ සති, වචීසඤ්‌චෙතනා හෙතු, උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. මනෙවා භික්‌ඛවෙ සති, මනො සඤ්‌චෙතනා හෙතු, උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං, අවිජ්‌ජා පච්‌චයාච.) (සාමංවා තං භික්‌ඛවෙ කාය සඞ්‌ඛාරං අභිසඞ්‌ ඛරොති, යංපච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. පරෙවාස්‌ස තං භික්‌ඛවෙ කාය සඞ්‌ඛාරං අභිසඞ්‌ඛරොන්‌ති, යං පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣ ත්‌තං සුඛදුක්‌ඛං. සම්‌පජානො වා තං භික්‌ඛවෙ කායසඞ්‌ඛාරං අභි සඞ්‌ඛරොති, යංපච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං. අසම්‌පජානොවා තං භික්‌ඛවෙ කායසඞ්‌ඛාරං අභිසඞ්‌ඛරොති, යං පච්‌චයාස්‌ස තං උප්‌පජ්‌ජති අජ්‌ඣත්‌තං සුඛදුක්‌ඛං) 
-අ.නි.චතුක්කනිපාත.චෙතනාසුත්‌තං-


සත්වයා කරන-කියන-හිතන දේවල් ක්‍රියාත්මක කරන චේතනා වලින් සැප-දුක් විඳින්නේ, එම ක්‍රියාකාරීත්වය තනිකරම දුකක් බව නොපෙනීම නිසා හෙවත්, අවිද්‍යාව නිසාය. තමන් නිසා හෝ අනුන් නිසා හෝ, දැන හෝ නොදැන, එසේ කරන- කියන-හිතන දේවල් වලින් සැපදුක් විඳින විට, එම ක්‍රියාකාරී චේතනා වලින් අදාල සත්වයාගේ පැවත්ම හදන සංයුතිය වන සිත හා කය‍, දිගටම අලුතෙන් නිර්මාණය වේ.

ක්‍රියාකාරීත්වය තනිකරම දුකක් බව නොපෙනීම නැමති අවිද්‍යාවෙන් අන්ධවූ විට, සත්වයෙක් ලෙස තාවකාලික සැප විඳීමට තණ්හාව උපදී. ඒ තණ්හාවේ තල්ලුවෙන් තැතිගෙන, උනන්දුවී, කරන-කියන-හිතන දේවල් වලින් සැපදුක් විඳීම සත්ව ලෝකයයි. දෙවියෙක් වුනත්, මනුස්සයෙක් වුනත්, තිරිසනෙක් වුනත් ලෝකයේ සිද්ධ වෙන්නේ එපමණය. මෙම ක්‍රියාවලිය මගින් සෑම මොහොතකම අදාල සත්වයාගේ සිත හා කය‍ නොකඩවා ස්වයං නිර්මාණය කරනු ලැබේ. මිනිසුන් කරන- කියන-හිතන දේවල් වරද්දාගෙන, පාප කර්ම කරන්නේ, ඒ වැරදි වලින් තමන්ව නිර්මාණය වෙන බව ඔවුන්ට විද්‍යමාන නොවන නිසා හෙවත් අවිද්‍යාව නිසාය. සැප විඳීමට කැමති සත්වයන්, අවිද්‍යාවෙන් වල්මත්වී කරන වැරදි පාප කර්ම නිසා නොදැනුවත්වම තමන්ව ඊළඟට අපාගත සත්වයන් ලෙස නිර්මාණය කරනු ලැබේ.

(8) (...ඉතිඛො භික්‌ඛවෙ, භූතා භූතස්‌ස උපපත්‌ති හොති. යං කරොති තෙන උපපජ්‌ජති..) 
-අ.නි.දසකනිපාත.සංසප්‌පනීයසුත්‌තං-

තමන් කරන- කියන- හිතන දේවල් වල ස්වභාවය සහිත සත්වයෙක් බවට පත්වී, නැවත උපත ලබයි. යමක් කරනවාද, එයින් උපදී. ලෝභකම, ද්වේශය හා මෝහය යන පාප චේතනා ඇති වීමේ විපාකයෙන්, එම පාප චේතනා බහුලව ප්‍රකට වෙන නිරය-තිරිසන්-ප්‍රේත යන දුගති අපාය වල ඉපදේ. පරිත්‍යාගය-මිත්‍ර බව හා ප්‍රඥාව යන පුණ්‍ය චේතනා ඇතිවීමේ විපාකයෙන්, එම පුණ්‍ය චේතනා බහුලව ප්‍රකට වෙන දිව්‍ය-මනුස්ස යන සුගති ස්වර්ග වල ඉපදේ. මනුස්ස සමාජයේ සුදුස්සාට සුදුසු තැන නොලැබෙන අවස්ථා තිබිය හැකි වුවත්, ස්වභාව ධර්මයේ කර්ම නියාමයෙන් එවැනි අසාධාරණ සිදු නොවේ. කර්ම නියාමය විනිශ්චය කරගන්නේ තමන් විසින්මය. තමන් කළ නොකළ දේවල් තමන්ට රහසක් නොවන නිසා, අනුන්ට හොරෙන් යමක් කළත්, ඒවාට අදාල චේතනා වල විපාක වලින් තමන්ට ගැලවීමක් නැත. තමන්ගේ සිතේ ඇති වෙන හොඳ-නරක චේතනා වලින් කරන- කියන- හිතන දේවල් වල විපාක හෙවනැල්ල මෙන් ඇවිත් නියමිත වෙලාවට පලදීම සිදුවේ.

සිතේ උපදින චේතනාවෙන් ස්වයං-නිර්මාණය වෙන සත්වයන්, සිතේ අපිරිසිදු සිතිවිලි ඇතිවීම වලක්වා සිත ආරක්ෂා නොකර, වෙන කිසිම ක්‍රමයකින් අපාගතවීම වැළැක්විය නොහැක. සත්ව ලෝකයේ “මම” යනුවෙන් අදහස් වෙන්නේ, මම කරන- කියන- හිතන දේවල්ය! මගෙන් සිදු වෙන්නේ, මම කරන- කියන- හිතන දේවල් වලින්, මාවම නිර්මාණය කරගැනීමයි!

(අත්‌තනා හි කතං පාපං, අත්‌තනා සංකිලිස්‌සති
අත්‌තනා අකතං පාපං, අත්‌තනාව විසුජ්‌ඣති
සුද්‌ධීඅසුද්‌ධි පච්‌චත්‌තං, නාඤ්‌ඤො අඤ්‌ඤං විසොධයෙ)
-ධම්මපද.අත්‌තවග්‌ග-

තමන් කරන පාපයෙන් කරදර වෙන්නේ තමන්ටමයි. තමන් නොකල පාපයෙන් පිරිසිදු වෙන්නේ තමන්වමයි. පින්පව් වලින් පිරිසිදු-අපිරිසිදු වෙන්නේ තමන්වමයි. අන්‍යෝන්‍ය වශයෙන් පිරිසිදු කිරීමක් සිදු නොවේ.

(න පරෙසං විලොමානි, න පරෙසං කතාකතං
අත්‌තනොව අවෙක්‌ඛෙය්‍ය, කතානි අකතානිච) 
-ධම්මපද.පුප්‌ඵවග්‌ග-

අනුන්ගෙ හැටි සහ අනුන් කළ-නොකල දේ නොබලන්න! තමන්ගෙ හැටි සහ තමන් කළ-නොකළ දේවල් බලා ගන්න! 

(සුකරානි අසාධූනි, අත්‌තනො අහිතානි ච
යං වෙ හිතඤ්‌ච සාධුඤ්‌ච, තං වෙ පරමදුක්‌කරං) 
-ධම්මපද.අත්තවග්‌ග-

තමන්ට නරකක් වෙන, අහිතකර දේවල් කිරීම පහසුය. හොඳක් සිදුවෙන, හිතකර දේවල් කිරීම අන්තිම දුෂ්කරය.

(9) (න අන්‌තලික්‌ඛෙ න සමුද්‌දමජ්‌ඣෙ,
න පබ්‌බතානං විවරං පවිස්‌ස
න විජ්‌ජතී සො ජගතිප්‌පදෙසො,
යත්‌ථ‌ඨිතො මුච්‌චෙය්‍ය පාපකම්‌මා) -ධම්මපද.පාපවග්‌ග-

අහසේ හෝ මුහුද මැද හෝ කන්දක් උඩට ගිහින්
ගැලවී සිටීමට තැනක් නැත පාපයේ විපාකයෙන්.!

(නාහං භික්‌ඛවෙ, සඤ්‌චෙතනිකානං කම්‌මානං කතානං උපචිතානං අප්‌පටිසංවෙදිත්‌වා බ්‍යන්‌තීභාවං වදාමි. තඤ්‌ච ඛො දිට්‌ඨෙව ධම්‌මෙ, උපපජ්‌ජෙ වා, අපරෙ වා පරියායෙ...)
-අ.නි.දසකනිපාත.පඨමසඤ්‌චෙතනිකසුත්‌තං-

චේතනාවෙන් කරන ලද කර්ම වලට විපාක අත්විඳීමෙන් තොරව, ගෙවී යාමක් සිදු නොවේ. ඒවායේ විපාක, මෙලොවදී හෝ මීළඟ උපතේදී හෝ ඉන් පසුව හෝ ලැබීමට නියමිතය. සත්වයන් ලෙස පැවැත්ම ගෙනයන තුරු කරන-කියන-හිතන ලද දේවල් වලට අදාල විපාක විඳීමට සිදුවේ. ලෝභකම-දුෂ්ඨකම-මෝඩකම සහිත පාප චේතනා සිතේ උපදිනකොටම, ඒවා සිතට දරා ගැනීමට අමාරු වෙන බව පැහැදිලිය. එම අකුසල චේතනා වලින් පරලොවට හොඳක් නොවන බව ප්‍රඥාවෙන් තේරුම්ගත යුතුය. එසේම, ලෝභ නොවීම- දුෂ්ඨ නොවීම-මුළානොවීම සහිත පුණ්‍ය චේතනා සිතේ උපදිනකොටම ඒවා සිතට දරාගැනීමට අමාරු නොවන බව පැහැදිලිය. එවැනි කුසල චේතනා වලින් පරලොවට නරකක් නොවන බව ප්‍රඥාවෙන් තේරුම්ගත යුතුය. කුසලය හා අකුසලය යනු සැප හා දුක ලෙස පහැදිලිව තේරුම්ගත යුතුයි.
මෙලොව-පරලොව හා ස්වර්ගය-අපාය තුල සැප-දුක් විඳින්නට වෙන්නේ තනියමය. තමන්ගේ දුක් වේදනා, වෙන අයට බෙදා දීමට නොහැක. ඒනිසා ලෝකයේ පවතින ප්‍රායෝගික සත්‍ය තේරුම් ගෙන, පුද්ගලික යහපත සලසා ගැනීම තම තමන්ගේ පුද්ගලික වගකීමකි. තමන් කරන-කියන-හිතන දේවල් පිරිසිදු කිරීමෙන් තමන්ගේ දුක් කරදර ඉවරවී, තමන්ව පිරිසිදුවේ. සියලු පාපකර්ම නොකර පිරිසිදු තත්වයට පත්වන සත්වයාට මෙලොව පරලොව ගැන බය වීමට හේතුවක් නැත. මිනිසා විශුද්ධියට පත් කර, මෙලොවදීම දේවත්වය ලබා දෙන එකම ක්‍රමය එයයි. එමගින් දේවත්වයත් පසුකර ගොස් නැවත නූපදින අචල ස්ථාවරයට පත්වී, සියලු දුක් ඉවර කළ හැකිය. එය ලෝකයට යහපත සිදුවෙන විද්‍යානුකූල හා විනයානුකූල සුගතිගාමී ධර්ම මාර්ගය බව, විචාර-බුද්ධියක් තිබෙන මිනිසුන්ට පැහැදිලිවේ.

තමන්ගේ බුද්ධියෙන් කරන-කියන-හිතන දේවල් වලින් ජීවත්වන මිනිසුන්ගේ පරලොව නිර්මාණය වෙන්නේද තමන් අතින්මය. මිනිසුන්ගෙන් කෙරෙන හා මිනිසුන්ට වෙන හොඳ-නරක අනුව, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන සදාචාරාත්මක නීති, ආචාර ධර්ම යනාදිය ලෝකයේ නිවැරදිව පවත්වා ගැනීමට හැක්කේ, තමන් කරන- කියන- හිතන දේවල් වල වගකීම තමන්ටම ස්වභාවිකව හිමිවෙන කර්ම-විපාක න්‍යායට අනුවය. එම නිසා කර්ම-විපාක න්‍යායෙන් බැහැරව සාමකාමී සාධාරණ ශිෂ්ඨ සමාජයක් ප්‍රායෝගිකව පවත්වා ගැනීමට නොහැකිය.

(10) තමන් කරන- කියන- හිතන දේවල් වලින් ප්‍රායෝගිකව පවතින පුද්ගලයා, එම සත්‍යය නොදැකීම නිසා මුළාවට පත්වී අතරමං වේ. තමන්ව මුළා කරවන තරම් ළාමක අමන චේතනා වලට සහ ඒ මුළාව නිසාම හොඳ-නරක නොදැන, කරන- කියන- හිතන අනෙකුත් කෙළවරක් නැති පාපකර්ම වලට නිරයෙන් මෙහා උපතක් ලැබුනොත් ඒ තිරිසන් ලෝකයේය.


(මිච්‌ඡාදිට්‌ඨිකස්‌ස භික්‌ඛවෙ, ද්‌වින්‌නං ගතීනං අඤ්‌ඤතරා ගති පාටිකඞ්‌ඛා, නිරයොවා තිරච්‌ඡානයොනිවා)
-අ.නි.දුකනිපාත.බාලවග්‌ග-

මිත්‍යාදෘෂ්ඨික පුද්ගලයා, නිරය හෝ තිරිසන් අපාය යන ගති දෙකෙන් එකක් බලාපොරොත්තු විය යුතුය.

(දිසො දිසං යං තං කයිරා, වෙරීවා පන වෙරිනං
මිච්‌ඡාපණිහිතං චිත්‌තං, පාපියො නං තතො කරෙ) 
-ධ.ප.චිත්‌තවග්‌ග-

තමන්ට වෛර කරන සතුරෙකුගෙන් සිදුවෙන හානියට වඩා නරකක්, තමන්ගේ සිත වැරදි තැන තබාගෙන ලෝකය දෙස බැලීම නිසා සිදුවේ.

තමන් කරන- කියන- හිතන දේවල් වලින් ප්‍රායෝගිකව පවතින පුද්ගලයා, එම සත්‍යය දැකීම නිසා මුළාවට පත් නොවී නිවැරදි ප්‍රතිපත්ති මාර්ගයට ඇතුල්වේ. තමන්වම නිවැරදි මග යවන ඤාණවන්ත චේතනා වලට සහ ඒ ප්‍රඥාව නිසාම කරන-කියන-හිතන අනෙකුත් කෙළවරක් නැති කුසල කර්ම වලට, දිව්‍ය ලෝකෙන් මෙහා උපතක් ලැබුනොත් ඒ මනුස්ස ලෝකයේය.

(සම්‌මාදිට්‌ඨිකස්‌ස භික්‌ඛවෙ, ද්‌වින්‌නං ගතීනං අඤ්‌ඤතරා ගති පාටිකඞ්‌ඛා දෙවාවා මනුස්‌සාවා) 
-අ.නි.දුකනිපාත.බාලවග්‌ග-

සම්මාදෘෂ්ඨික පුද්ගලයා, දිව්‍ය හෝ මනුස්ස යන ගති දෙකෙන් එකක් බලාපොරොත්තු විය යුතුය.

(න තං මාතා පිතා කයිරා, අඤ්‌ඤෙවාපි ච ඤාතකා
සම්‌මාපණිහිතංචිත්‌තං, සෙය්‍යසො නං තතො කරෙ)
-ධ.ප.චිත්‌තවග්‌ග-
         
තමන්ගේ මවුපියන්ගෙන් හෝ අනෙක් ඤාතීන්ගෙන් කෙරෙනවාට වඩා යහපතක්, තමන්ගේ සිත නිවැරදිව තබා ගැනීමෙන් කළ හැකිය.‍

(11) මිනිසාට ප්‍රායෝගිකව සාමය- සැනසීම- ස්වර්ගය ලැබෙන්නේ, මිනිසාගේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තුලින්ය. සත්වයන්ගේ උසස්-පහත් භේදය ඇති වෙන්නේද, ප්‍රායෝගිකව කරන-කියන-හිතන දේවල් වල උසස්-පහත් බව අනුවය. මෙම ප්‍රායෝගික කර්ම-විපාක න්‍යායට තේරුම් ගෙන කටයුතු කරන විට, තමන්ට හා අනුන්ට අහිතකර වෙන පාප කර්ම සිදු නොවේ. ඒනිසා මෙලොව-පරලොව, උභයාර්ථ-සුබසිද්ධිය සලසන එකම නිවැරදි ධර්මය බුදුරජාණන් වහන්සේ දේසනා කළ ධර්මයයි.

කර්ම-විපාක සහ කුසල-අකුසල ධර්ම පිළිබඳ මෙම න්‍යාය ධර්ම, බුදුරජාණන් වහන්සේ හැර ලෝකයේ වෙන කිසිම දෙවියෙකුට වත් මනුස්සයෙකුටවත් නිවැරදිව සොයාගෙන පෙන්වා දීමට විෂය නොවේ. බුද්ධ සාසනයෙන් බැහැර ලෝකයා, ප්‍රායෝගික ව තමන්ම කරන- කියන- හිතන දේවල් සිදුවෙන ආකාරය සහ ඒවායේ හොඳ-නරක ප්‍රතිවිපාක නිවැරදිව නොදන්නා නිසා, ඔවුන්ට ලේසියෙන් කළහැකි වන, සතුන් මරාගෙන කෑම වැනි පාපකර්ම නොකර, අමාරු කුසල් කිරීමට කිසිම හේතුවක් නැත. මිත්‍යා-දෘෂ්ඨික මිනිසුන් අතර ඒ බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඔවුන් තනිකරම අපායගාමීන් වෙන්නේ ඒ නිසාය. ලෝකයේ උපදින තිරිසන් සතුන් හා මිනිසුන් අතර අනුපාතය බැලීමෙන්, එම සත්‍ය තත්වය පැහැදිලිවේ.
සමස්ත ලෝකයේ බහුතරය ධර්මය නොදැන, කරන-කියන-හිතන පාපකර්ම හේතු වෙන් අපාගත වෙන නිසා, ලෝකයේ උපදින තිරිසන් කූඹි ගණනටවත් මිනිසුන් උපදින්නේ නැත. කර්ම-විපාක න්‍යායෙන් බැහැර ලෝකය, තනිකරම අපාගත වෙන අන්ධකාර මිත්‍යාවකි. ඒ බව හොඳින් තේරුම්ගෙන, ජීවිතය නොතකා ධර්මය පිළිපැදීම අපායෙන් ගැලවෙන එකම ක්‍රමයයි.

(අප්‌පකා තෙ සත්‌තා යෙ මනුස්‌සා චුතා මනුස්‌සෙසු පච්‌චා ජායන්‌ති, අථඛො එතෙව සත්‌තා බහුතරා යෙ මනුස්‌සා චුතා නිරයෙ පච්‌චාජායන්‌ති... තිරච්‌ඡානයොනියා පච්‌චාජායන්‌ති... පෙත්‌තිවිසයෙ පච්‌චාජායන්‌ති) 
-සං.නි.මහාවග්ග.මනුස්‌සචුතිනිරයසුත්‌තං-

ලෝකයෙන් චුතවෙන මිනිසුන්ගෙන් නැවත මනුස්ස ලෝකයේවත් උපදින්නේ, පොළවෙන් නිය පිටට ගත හැකි පස් ප්‍රමාණය තරම්වූ ඉතා සුලු ගණනකි. මහපොළවේ පස් ප්‍රමාණය තරම්වූ අති බහුතරය නිරය-තිරිසන්-ප්‍රේත යනාදී අපාගතවේ.

(12) (...සුඛකාමාහි දෙවා මනුස්‌සා අසුරා නාගා ගන්‌ධබ්‌බා යෙ ච අඤ්‌ඤෙ සන්‌ති පුථුකායා...) 
-දී.නි.මහාවග්ග.සක්‌කපඤ්‌හසුත්‌තං-

සිතක හා කයක ක්‍රියාකාරිත්වයක් වන දෙවියන්, මිනිසුන්, අසුර-නාග-ගන්ධබ්බ ආදී සියලු සත්වයන් සැපයට කැමතිය. ඔවුන්ගේ ප්‍රාර්ථනාව සාමකාමී, වෛර නොකරන, සතුරුකම් නොකරන, පළිගැනීම් නොකරන, කරදර නැති, යහපත් සමාජයක ජීවත්වී, පරලොව සුගතිකට යාමයි. නමුත්, ඔවුන් අතර අසමගිය, වෛරය, සතුරුකම්, පළිගැනීම්, දුෂණය, භීෂණය ආදී කරදර පාප කර්ම වැඩිවේ. මෙලොව තත්වය එසේ නරක් වූවිට, පරලොව ගතිය නරක්වීම වැළැක්විය නොහැක. එයට හේතුව, යහපත් ප්‍රාර්ථනා ඉටුවෙන, සුගතිගාමී විද්‍යාත්මක කර්ම-විපාක න්‍යාය ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගය පැහැදිලිව නොපෙනීම, විද්‍යාමාන නොවීම හෙවත් අවිද්‍යාවයි. වතුරට දැමූ ගලක්, වතුර මතුපිට පාවෙන්න කියා කොතරම් ප්‍රාර්ථනා කළත්, එය සිදු නොවේ. නමුත්, වතුරට දැමූ තෙල් ටිකක්, වතුර මතුපිට පාවෙන්න කියා ප්‍රාර්ථනා නොකළත්, එය එසේම සිදුවේ. එමෙන්ම සැනසීම, සුගතිය කොතරම් ප්‍රාර්ථනා කළත්, වැරදි ප්‍රතිපත්තිය සහිත අය මෙලොවදී අසහනයට පත්වී, පරලොව අපාගතවේ. ප්‍රාර්ථනා නොකළත්, නිවැරදි ප්‍රතිපත්තිය සහිත අයට, මෙලොව සැනසීම හා පරලොව සුගතිය ලැබේ.

(ගිහීවා භික්‌ඛවෙ පබ්‌බජිතොවා මිච්‌ඡා පටිපන්‌නො, මිච්‌ඡාපටි පත්‌තාධිකරණහෙතු නාරාධකො හොති ඤායංධම්‌මං කුසලං... ගිහීවා භික්‌ඛවෙ පබ්‌බජිතොවා සම්මාපටිපන්‌නො, සම්මාපටි පත්‌තාධිකරණහෙතු ආරාධකො හොති ඤායං ධම්‌මං කුසලං)
-අ.නි.චතුක්කනිපාත.සමචිත්‌තවග්ග-

ගිහියෙකුටවත්, පැවිද්දෙකුටවත්, වැරදි ප්‍රතිපත්තියෙන් කුසල ධර්ම න්‍යායට ඇතුල්විය නොහැක. කුසල ධර්ම න්‍යායට ඇතුල් නොවී, කිසිම සුගතියකට ඇතුල්විය නොහැක. ගිහියෙක් වුනත්, පැවිද්දෙක් වුනත්, නිවැරදි ප්‍රතිපත්තියෙන් කුසලධර්ම න්‍යායට ඇතුල් විය හැක. කුසල ධර්ම න්‍යායට ඇතුල්වී, මනුස්ස-දිව්‍ය-නිවණ් යන ඕනෑම සුගතියකට ඇතුල්විය හැක. වැරදි ප්‍රතිපත්ති ගෙනියන ගිහි-පැවිදි කවුරුවත්, බුද්‌ධසාසනය කරන අය නොවේ. නිවැරදි ප්‍රතිපත්ති ගෙනියන ගිහි-පැවිදි කවුරුත්, බුද්‌ධ සාසනය කරන අයයි. බුද්‌ධ සාසනයේ ගිහි-පැවිදි ප්‍රතිපත්ති දෙකෙන්ම කෙරෙන්නේ, කුසල ධර්ම න්‍යායට අනුව කටයුතු කිරීමයි. නිවැරදි ප්‍රතිපත්තිය ගෙනියන ගිහි-පැවිදි කවුරුත්, මෙලොවදී මානසික සහනය හා පරලොව සුගතිය බලාපොරොත්තු වියයුතුය. නිවැරදි ප්‍රතිපත්තියෙන් පිට යන ගිහි-පැවිදි කවුරුත්, මෙලොවදී මානසික අසහනය හා පරලොව අපාගතවීම බලාපොරොත්තු විය යුතුය. ඒබව, අංගුලිමාල සහ දේවදත්ත ගැන නිවැරදිව කල්පනා කිරීමෙන් පැහැදිලිව තේරුම්ගත හැකිය.

(13) (අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා) 
-මඞ්‌ගලසුත්‌තං-

දෙවියන්ට හා මිනිසුන්ට සුබ සිද්ධිය සලසන මංගල-කරුණු ලෙස, බුදුරජාණන් වහන්සේ මුලින්ම දේසනා කළේ, බාලයන් ඇසුරු නොකර, නිවැරදි පණ්ඩිතයන් ආශ්‍රය කිරීමයි.

(කම්‌ම ලක්‌ඛණො බාලො, කම්‌ම ලක්‌ඛණො පණ්‌ඩිතො)
-අ.නි.තිකනිපාත.ලක්‌ඛණසුත්‌තං-

පුද්ගලයෙකුගේ බාල-පණ්ඩිත බව තීරණය කරන ලක්ෂණ වන්නේද, අදාල පුද්ගලයා කරන- කියන- හිතන දේවල්ය. බාලයා විසින් කරන-කියන-හිතන දේවල්, තමන්ටත් අනුන්ටත් අහිතකර වෙන අතර, නියම පණ්ඩිතයෙක් විසින් කරන- කියන- හිතන දේවල්, කාටවත් අහිතකර නොවේ.

(....ඉති ඛො භික්‌ඛවෙ, සප්‌පටිභයො බාලො, අප්‌පටිභයො පණ්‌ඩිතො සඋපද්‌දවො බාලො, අනුපද්‌දවො පණ්‌ඩිතො. සඋපසග්‌ගො බාලො, අනුපසග්‌ගො පණ්‌ඩිතො. නත්‌ථි භික්‌ඛ වෙ, පණ්‌ඩිතතො භයං, නත්‌ථි පණ්‌ඩිතතො උපද්‌දවො, නත්‌ථි පණ්‌ඩිතතො උපසග්‌ගො...) 
-අ.නි.තිකනිපාත.භයසුත්‌තං-

කොතනක හෝ යම් කිසි හිරිහැරයක්, උපද්‍රවයක්, භයක් ඇති වෙනවා නම්, ඇති වෙන්නේ බාලයාගෙන්ය. නියම පණ්ඩිතයාගෙන් කාටවත් හිරිහැර- උපද්‍රව- භය ඇති නොවේ. මෙලොව හා පරලොව යහපත ගැන තේරුම් ගෙන, අයහපත් දේවල් මගහැර, යහපත් දේවල් කිරීම, වෛර නොකිරීම, ආපදා ඉවසා දරාගැනීම, නිර්භයතාවය යනාදිය නියම පණ්ඩිත ලක්ෂණ වේ.

මුලදී පණ්ඩිතයෙක් හැටියට ප්‍රසිද්ධවූ දේවදත්‌ත, පසුව බාල යෙක් බවට පත්වී, ඔහුට සත්කාර කළ අනෙක් අයවත් අපායට ඇදගෙන ගියේය. මුලදී බාලයෙක් හැටිය ප්‍රසිද්ධවූ අංගුලිමාල, පසුව පණ්ඩිත බවට පත්වී, ඔහුට සත්කාර කළ අනෙක් අයත් සමග සුගතියට ගියේය. බාලයන් ආශ්‍රය කිරීමෙන්, තමන් බාලයෙක් බවට පත්වී, අපාගත වෙන අතර, නියම පණ්ඩිතයන් ආශ්‍රයෙන්, තමන් පණ්ඩිත බවට පත්වී, සුගතියකට යාම සිදු වේ.

බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රයෙන්, අංගුලිමාල සුගති නිවණට පැමිණි අතර, දේවදත්තගේ ආශ්‍රයෙන්, අජාසත්ත රජතුමා දුගති නිරයට ගියේය. ඒ නිසා, නානප්‍රකාර කර්ම වලින් මේ ලෝකයේ උපදින, නානප්‍රකාර පුද්ගලයන් ඇසුරු කිරීමේදී ප්‍රවේසම් නොවුනොත්, අජාසත්ත රජුට මෙන් කල්ප ගණන් නිරයේ දුක් විඳින්නට සිදුවිය හැකිය.

(න හි පාපං කතං කම්‌මං, සජ්‌ජු ඛීරංව මුච්‌චති
ඩහන්‌තං බාලමන්‌වෙති, භස්‌මඡන්‌නොව පාවකො)
-ධ.ප.අත්‌තවග්‌ග-

කරන ලද පාප කර්මවල සියලු විපාක ක්ෂණිකව ලැබීමක් සිදු නොවේ. අළු යට සැඟවුන ගින්දර මෙන් යටපත්ව තිබෙන පාප කර්මවල විපාක ගින්න බාලයාගේ පසුපසින් පැමිණේ!

(මධුවා මඤ්‌ඤති බාලො, යාව පාපං න පච්‌චති
යදා ච පච්‌චති පාපං, බාලො දුක්‌ඛං නිගච්‌ඡති.) 
-ධම්මපද.බාලවග්‌ග-

කරන ලද පාප කර්ම වලට විපාක ලැබෙන තුරු, බාලයා එය මිහිරි ආස්වාදයක් මෙන් සලකන අතර, පාප කර්ම වල විපාක ලැබෙන විට බලයා දුකට පත්වේ!
(චරන්‌ති බාලා දුම්‌මෙධා, අමිත්‌තෙනෙව අත්‌තනා
කරොන්‌තා පාපකං කම්‌මං, යං හොති කටුකප්‌ඵලං.)
-ධ.ප.බාලවග්‌ග-

කටුක දුක් විපාක සහිත පාප කර්ම කරන බලයා හැසිරෙන්නේ තමන්ගේම සතුරෙක් වගේය!

(යාවදෙව අනත්‌ථාය, ඤත්‌තං බාලස්‌ස ජායති
හන්‌ති බාලස්‌ස සුක්‌කංසං, මුද්‌ධමස්‌ස විපාතයං.) 
-ධම්මපද.බාලවග්‌ග-

බාලයාට ලැබෙන තරමක් දැනුම අනර්ථයටම යොදා ගෙන, තමන්ගේ හොඳ පැත්ත විනාශ කරගෙන, බෙල්ල නැතිව යන තත්වයට පත්වේ!

(යො බාලො මඤ්‌ඤති බාල්‍යං, පණ්‌ඩිතොවාපි තෙන සො
බාලො ච පණ්‌ඩිතමානී, ස වෙ බාලොති වුච්‌චති.) 
-ධම්මපද.බාලවග්‌ග-

තමන්ගේ බාලකම තේරුම් ගත හැකි බලයා, ඒ නිසා පණ්ඩිත යෙක් වේ. පණ්ඩිතයෙක් ලෙස රඟපෑමට ආසාවෙන් පෙළෙන, පණ්ඩිත මානය සහිත බාලයාට, බාලයා යයි කියනු ලැබේ!

(නිධීනංව පවත්‌තාරං, යං පස්‌සෙ වජ්‌ජදස්‌සිනං
නිග්‌ගය්‌හවාදිං මෙධාවිං, තාදිසං පණ්‌ඩිතං භජෙ
තාදිසං භජමානස්‌ස, සෙය්‍යො හොති න පාපියො) 
-ධ.ප.පණ්ඩිතවග්‌ග-

වැරදි පෙන්වාදීම, නිධානයක් පෙන්වීමට සමානය. වරදට නිග්‍රහ කර, කියා දෙන බුද්ධිමත් පණ්ඩිත පුද්ගලයන් ඇසුරු කිරීමෙන් හොඳක් මිස නරකක් සිදු නොවේ.෴