1. සුගතවිනය-හැඳින්වීම.
“ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ,
ඒහි පස්සිකෝ”
බුදුරජාණන් වහන්සේගේ ධර්මය සුභාෂිතයි, පැමිණ බලන්න!
⫷⫷⫷⫷⫷⫷❁⫸⫸⫸⫸⫸⫸⫸
සුගතවිනය ධර්ම දානය
සඳහා සම්පාදනය කරන ලදි.
ISBN
978-955-44365-0-3
ග්රන්ථ සම්පාදනය
කපිලවංස භික්ඛූ.
ශ්‍රී බුද්ධ වර්ෂ 2556
–නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස–
“භගවා හි භන්තෙ, අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස
මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා,
මග්ගඤ්ඤූ, මග්ගවිදූ, මග්ග කොවිදො. මග්ගානුගාච භන්තෙ,
එතරහි සාවකා විහරන්ති, පච්ඡා සමන්නාගතා.”
-සං.නි.සගාථවග්ග.පවාරණාසුත්තං-
භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකයේ
නොතිබුණ ආර්ය ධර්ම මාර්ගය සොයාගෙන, මාර්ගය විනිවිද ගොස්, ලෝකයට පෙන්වා දෙන ලදි,
මාර්ගය විවර කරන ලදි, මාර්ගය ප්‍රකාශ කරන ලදි. එම ආර්ය මාර්ගය අනුගමනය කරමින් දැන්
පසුපසින් යන අප සාවකයන් වෙමු.!
“සත්ථා භගවා, සාවකො අහමස්මි!
ජානාති භගවා, නාහං ජානාමී”
-ම.නි.මජ්ඣිමපණ්ණාසක.කීටාගිරිසුත්තං-
බුදුරජාණන් වහන්සේ අපගේ සාස්තෘ
වරයාණන් වන අතර, මම සාවකයෙක් වෙමි. බුදුරජාණන් වහන්සේ දැන සිටි ආර්ය ධර්මය, මා
විසින් දැනගෙන නැත.!
බුදුරජාණන් වහන්සේ දේසනා කළ ධර්මය අවබෝධවී
නැති අප විසින්, ධර්මය නොදන්නා පුද්ගලයන් ලෙස, ඒ බව තේරුම් ගෙන සද්ධාවෙන් කටයුතු
කළ යුතුයයි, බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන ලදි.
බෞද්ධයාගේ පරමාර්ථය වන නිවණ, අසාමාන්‍ය
අද්භූත සත්‍ය අවබෝධයක් මගින් සැබෑකර ගතයුතු සැනසීමකි. ආර්ය ධර්මය නිවැරදිව හා
සම්පුර්ණයෙන් අවබෝධ වීමෙන් අනතුරුව නිවණට සම්ප්‍රාප්ත වීම සිදුවේ. අපට මේ දක්වා, ඒ
ධර්මය අවබෝධයෙන් දැන ගැනීමට නොහැකිවී ඇති බව සලකා බලනකොට, ධර්මය ඉගෙනගෙන දැන ගැනීමට
උනන්දුවත්, අවස්ථාවත්, හැකියාවත් ඇතිවේ. තමුන් නොදන්න ධර්මය, නොදන්නා බව නොසලකා
හැරීමෙන්, ධර්මය දැන ගැනීමට උනන්දුවක්, අවස්ථාවක්, හැකියාවක් ඇති නොවෙන අතර, පුහු
මාන්නය සහිත අපායගාමී හිස් පුද්ගලයන් බවට පත්වේ.
(ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලොක විදූ අනුත්තරෝ පුරිසදම්ම සාරථි සත්ථා
දෙවමනුස්සානං බුද්ධෝ භගවා)
බුදුරජාණන් වහන්සේ, දෙවියන්ටත්
මිනිසුන්ටත් සුගතියට මග පෙන්වන, අනුත්තර ශාස්තෘවරයාය, ලෝකය විනිවිද දකින බුද්ධ-ඤාණයෙන්
යුක්තව, පිරිසිදු බවෙන් හා විවෘත්ත බවෙන් අගතැන්පත්වූ ලෝක නායකයාණන්ය.!
(ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො
අකාලිකො එහි පස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී)
බුදුරජාණන් වහන්සේ දේසනා කල සුභාෂිත ධර්මයෙන්,
ප්‍රායෝගිකව ලෝකයේ සිදු වෙන සියල්ල පැහැදිලි වේ. ඤාණවන්තයන් විසින්, තමන් තුලින් විනිවිද
දැකිය යුතු මේ ධර්මයෙන් සත්වයා සුගතියට පමුණුවනු ලැබේ.!
(ධම්මං චරෙ සුචරිතං, න නං දුච්චරිතං චරෙ
ධම්මචාරී සුඛංසෙති, අස්මිං ලොකෙ පරම්හිච)
-ධම්මපද.ලොකවග්ග-
-ධම්මපද.ලොකවග්ග-
ධර්මය අනුව යහපත්ව හැසිරෙන්න, නරක
හැසිරීම් නොකරන්න. ධර්මචාරී පුද්ගලයාට මෙලොවත්, පරලොවත් සැපදායකවේ.
දිව්‍ය-මනුස්ස හා නිවණ යන සියලු සැපයන් ලැබෙන ධර්ම මාර්ගය, බුදුරජාණන් වහන්සේ
විසින් සොයාගෙන ලෝකයට අනාවරණය කරන ලදි.
(යං කිඤ්චි සුභාසිතං, සබ්බං තං තස්ස
භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස.)
-අ.නි.අට්ඨකනිපාත.උත්තරවිපත්තිසුත්තං-
-අ.නි.අට්ඨකනිපාත.උත්තරවිපත්තිසුත්තං-
ලෝකයේ තිබෙන සුභාෂිත ධර්මය, භාග්‍යවත්
අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයයි. බුද්ධ ඤාණයෙන් නොදුටු සුභාෂිත ධර්මයක්
ලෝකයේ තිබිය නොහැක. ලෝකය තුල ප්‍රකාශ කරනු ලබන්නේ, බුද්ධ වචනයෙන් උපුටා ගත්
සුභාෂිත ධර්මයයි. ධර්මයේ සහ අර්ථයේ කතෘවරයා, නිර්මාතෘවරයා,
ධර්ම-ස්වාමී බුදුරජාණන් වහන්සේය.
(ඛයං විරාගං අමතං පණීතං, යදජ්ඣගා සාක්‍ය මුනී සමාහිතො න තෙන ධම්මෙන සමත්ථි කිඤ්චි)
-ඛුද්දකපාඨ.රතනසුත්තං-
සක්ය-මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ
විසින් සමාධිය තුලින් අවබෝධ කරගන්නා ලද, විරාගය තුලින් සියලු දුක් ඉවර කරන මෙම
ධර්මය තරම් වැදගත් වෙන කිසිම දෙයක් ලෝකයේ
නැත. ලෝකයේ යහපතට පමණක් හේතු වෙන එකම ධර්මය වන්නේ, බුදුරජාණන්
වහන්සේ දේසනා කළ ධර්මයයි.
(යාවතා භික්ඛවෙ, ධම්මා සඞ්ඛතාවා අසඞ්ඛතාවා, විරාගො තෙසං අග්ගමක්ඛායති,
යදිදං මද නිම්මදනො- පිපාසවිනයො-ආලය සමුග්ඝාතො- වට්ටුපච්ඡෙදො-
තණ්හක්ඛයො- විරාගො- නිරොධො- නිබ්බානං. යෙ භික්ඛවෙ, විරාගෙ
ධම්මෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං
අග්ගො විපාකො හොති...)
-අ.නි.චතුක්කනිපාත.අග්ගපසාදසුත්තං-
-අ.නි.චතුක්කනිපාත.අග්ගපසාදසුත්තං-
භෞතික රූප හා ක්‍රියාකාරීත්වය එකතුවී
නිර්මාණයවූ, සජීවී-අජීවී ලෝකයට අයත් දේවල් “සංඛත” ධර්මවේ. නිර්මාණයක් නොවන නිර්වාණය, ක්‍රියාකාරී බවක් හෝ භෞතික රූප
නැති, “අසංඛත” ධර්මයයි. ලෝකයේ
අත්දකින හා අත්විඳින සෑම දෙයක්ම, වෙනස්වෙන- ගෙවෙන- වැයවෙන- ඉවරවෙන- එපා වෙන- අතුරුදහන්
වෙන ස්වභාවකින් යුක්තය. එම ක්‍රියාකාරී ලෝකයේ දුක්විඳින පැවැත්ම එපාවීමෙන්, ක්‍රියාකාරී
ලෝකයක් ඇති නොවන තත්වයට පත්වීම නිවීමයි. ලෝකයට සම්බන්ධවී සිටියදී, ලෝකය ඇති නොවන
තත්වයට පත්වීම ප්‍රායෝගිකව සිදුනොවන නිසා, නිවණ අවබෝධ වෙන්නේ ලෝකය එපාවී,
සම්පූර්ණයෙන්ම ලෝකයෙන් වෙන්වන තත්වයට පත්වූ විටය. ලෝකය එපාවී ලෝකයෙන් වෙන්වීම විරාගයයි,
විරාගයෙන් තොරව සිතට විමුක්තියක් නොලැබේ. ජීව-භෞතික, ක්‍රියාකාරී ලෝකයට ඇලෙන රාගය
ඉවර වීමෙන් විරාගය ඇතිවේ. එවිට, මෙතෙක් කල් තිබුණ සියලු ආසාවල්-පිපාසය-ආලය-තණ්හාව යනාදී
කරදර ඉවරවී, ඒවායින් සිත නිදහස්වීම හා නැවත කිසිම දුකක් ඇති නොවන තත්වයට පත්වීම නිවීමයි.
නිවණ ලෝකයට අයත් නොවන නිසා, ලෝකය තුල තිබෙන උසස්ම ධර්මය වන්නේ, නිවණට පෙර හමුවන
විරාගයයි. විරාගය පිළිබඳව පැහැදීම, ලෝකයේ තිබෙන ඉහලම කුසලයයි.
(රාගුපක්කිලිට්ඨංවා භික්ඛවෙ,
චිත්තං න විමුච්චති,
අවිජ්ජුපක්කිලිට්ඨා වා පඤ්ඤා න භාවීයති...)
-අ.නි.දුකනිපාත.බාලවග්ග-
-අ.නි.දුකනිපාත.බාලවග්ග-
රාගයෙන් කරදරවෙන සිතට විමුක්තියක්, නිදහසක්
නොලැබේ. අවිද්‍යාවෙන් කරදර වෙන ප්‍රඥාව භාවිතා කළ නොහැක.
ඒනිසා, රාගය සම්පුර්ණයෙන්ම ඉවර
කිරීමෙන්, ලෝකය එපාවී ලෝකයෙන් වෙන්වී සිටින තත්වයක් වන විරාගය, විමුක්ති මාර්ගය
වේ. බාහිර ලෝකය එපාවී, බාහිර ලෝකයෙන් වෙන් වුනත්, සියුම් ලෙස තමන්ට නොදැනී, සිතින්
ලෝකයට බැඳෙන සම්බන්ධතා ඉවර කිරීම අපහසුය. විරාගය ඇතිවී ලෝකය එපා වෙන්නේ, සිත හා කය
පැවතීම දුකක් බව පැහැදිලිව තේරෙන විටයි. එය තේරුම් ගැනීමට නිවැරදි-සමාධියක් තිබිය
යුතුය. තමන් කරන-කියන දේවල් සීලයෙන් පිරිසිදු කරගෙන, සමථ-විදර්ශනා භාවනා මගින්
සමාධිය හා ප්‍රඥාව ලබාගෙන, ජීව-භෞතික ලෝකය එපා වෙන තත්වයට පත්වී, නිවණට යන එකම
නිවැරදි මාර්ගය, ආර්යෂ්ඨාංගික මාර්ගයයි.
(යස්මිං ඛො සුභද්ද, ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො න උපලබ්භති, සමණොපි තත්ථ න උපලබ්භති.) (ඤායස්ස ධම්මස්ස පදෙසවත්තී, ඉතො බහිද්ධා සමණොපි නත්ථි)
-දී.නි.මහාවග්ග.මහාපරිනිබ්බාණසුත්තං-
ආර්යෂ්ඨාංගික මාර්ගය හැර, වෙන කිසිම ක්‍රමයකින්,
සාර්ථකව දුක ඉවර වීම සිදුවන්නේ නැත. බුද්ධ සාසනයෙන් බැහැරව, කුසල ධර්ම න්‍යායෙන්
කොටසක් හෝ අනුගමනය කරන පුද්ගලයෙක් නැත. අර්යෂ්ඨාංගික මාර්ගයෙන් දුක ඉවරකිරීම හා
නිවණ් දැකීම සිදුවෙන්නේ මෙසේය.
සම්මාදිට්ඨි යනු, කුසල-අකුසල හා කර්ම-විපාක න්‍යාය තේරුම්ගෙන, පාපකර්ම වලින් දුක
ලැබෙන බව හා පුණ්යකර්ම වලින් සැප ලැබෙන බව නිවැරදිව දැකීමයි.
සම්මාසංකප්ප යනු, සිතේ උපදින කාම-ව්‍යාපාද-විහිංසා සංකල්ප වලින් ඇතිවෙන දුක් කරදර
වලක්වා ගැනීමයි.
සම්මාවාචා යනු, බොරුකීම- කේලම්කීම- පරුසවචන කීම හා ප්‍රලාපකීම නිසා ඇතිවෙන දුක්
කරදර වලක්වා ගැනීමයි.
සම්මාකම්මන්ත යනු, සතුන්මැරීම- හොරකම් කිරීම හා පරදාර සේවනය නිසා ඇතිවෙන දුක් කරදර
වලක්වා ගැනීමයි.
සම්මාආජීව යනු, වැරදි ක්‍රම වලින් ජීවත්වීම නිසා ඇතිවෙන දුක් කරදර වලක්වා
ගැනීමයි.
සම්මාවායාම යනු, දුක ලබාදෙන අකුසල් අත්හැරීම හා සැප ලබාදෙන කුසල් උපදවා ගැනීම
සඳහා වෑයම් කිරීමයි.
සම්මාසති යනු, දුක ලබාදෙන අකුසල් අත්හැරීමට හා සැප ලබාදෙන කුසල් උපදවා
ගැනීමට හොඳ සිහිය පවත්වා ගැනීමයි.
සම්මාසමාධි යනු, සිතේ-කයේ ක්‍රියාකාරීත්වය නිසා සියලුම දුක් ඇතිවෙන බව හා සිත-කය
නොමැතිව කිසිම දුකක් ඇති නොවන බව පැහැදිලිව අවබෝධ වීම සඳහා තිබිය යුතු නිවැරදි
මානසික එකාග්රතාවයයි.
(...යොනි උපපරික්ඛිතබ්බා, කිං ජාතිකා
සොක පරිදෙව දුක්ඛ දොමනස්සුපායාසා, කිං පහොතිකාති) -සං.නි.ඛන්ධවග්ග.අත්තදීපසුත්තං-
අර්යෂ්ඨාංගික මාර්ගය පුහුණුවී, සම්මා
සමාධිය උපදවාගෙන, ඒ සමාධියෙන් නිශ්චල බවට පත්වන සිතින් සත්‍ය විමර්ශනය කලයුතුය.
මූලික වශයෙන් දුක් කරදර එන තැන පරික්ෂා
කරන විට, තමන් කරන- කියන- හිතන ක්‍රියාකාරීත්වය හරහා සියලුම දුක් කරදර ඇතිවන බව
පැහැදිලිවේ.
(තථා තථා භික්ඛවෙ, භික්ඛු උපපරික්ඛෙය්ය යථා යථාස්ස උපපරික්ඛතො, බහිද්ධා චස්ස විඤ්ඤාණං
අවික්ඛිත්තං අවිසටං, අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය. බහිද්ධා භික්ඛවෙ,
විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ අවිසටෙ සති අජ්ඣත්තං අසණ්ඨිතෙ
අනුපාදාය අපරිතස්සතො ආයතිං ජාතිජරාමරණ දුක්ඛසමුදය සම්භවො න හොතී)
-ඉතිවුත්තකපාලි.උපපරික්ඛසුත්තං-
-ඉතිවුත්තකපාලි.උපපරික්ඛසුත්තං-
මෙහිදී, බාහිර ලෝකයේ ආස්වාදය සොයා සිත
විසීරී යාමට නොදී, අභ්‍යන්තර සිත-කය හා ක්‍රියාකාරීත්වය මම-මාව-මගේ, යනුවෙන්
නොසිතා, දුක උපදින හැටි පමණක් මූලික වශයෙන් පරික්ෂා කල යුතුය. තමන්ගේ කියා සිතෙන
අභ්‍යන්තර-බාහිර ලෝකයේ තිබෙන කිසිම දෙයක් අහිමිවීම ගැන, තැති ගැනීමක් නොවී එසේ
පරික්ෂා කිරීමේදී, සිතේ හා කයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් පැවතීම තනිකරම දුකක් බව
තමන්ටම පැහැදිලිවේ. මෙතෙක් කල්, මේ දුක නිවැරදිව නොපෙනීම නිසා ඇතිවුන තණ්හාවෙන්
උනන්දුවී මෙම සංසාර පැවැත්ම ගෙනගිය බවත් අනාවරණයවේ. එම තණ්හාව ඉවර වීමෙන් සිතේ හා
කයේ ක්‍රියාකාරීත්වය අවසන්වී, දුක ඉවරවෙන බව සහ එය සිදු වන්නේ, අර්යෂ්ඨාංගික
මාර්ගයෙන් බවත් පැහැදිලිවේ. එම ආර්ය සත්‍ය අවබෝධවූ විට, මෙතෙක් කල් තිබුණ කරදරකාරී
පාපකාරී ආසාවල් සියල්ල ඉවරවේ. එවිට සිත නිදහස්වී ලෝකයේ තවදුරටත් කලයුතු දෙයක් නැති
තත්වයට පත්වේ. ඉන්පසුව මෙතෙක් කල් තිබුණ සියලු දුක් කරදර අවසන් වන අතර නැවත
ඉපදීමක් සිදු නොවේ.෴
(1) (සුගතොවා භික්ඛවෙ ලොකෙ තිට්ඨමානො, සුගත විනයොවා, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමොච භික්ඛවෙ සුගතො?
(1) (සුගතොවා භික්ඛවෙ ලොකෙ තිට්ඨමානො, සුගත විනයොවා, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමොච භික්ඛවෙ සුගතො?
ඉධ භික්ඛවෙ ලොකෙ උප්පජ්ජති,
අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදූ
අනුත්තරො පුරිස දම්ම සාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. අයං භික්ඛ වෙ සුගතො.
කතමොච භික්ඛවෙ සුගත විනයො?
සො ධම්මං දෙසෙති, ආදි කල්‍යාණං, මජ්ඣෙ කල්‍යාණං, පරියොසාන කල්‍යාණං, සාත්ථං, සබ්යඤ්ජනං,
කෙවල පරිපුණ්ණං, පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. අයං භික්ඛවෙ සුගතවිනයො.
එවං සුගතොවා භික්ඛවෙ ලොකෙ තිට්ඨමානො සුගත විනයො වා තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය
ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙව මනුස්සානං)
-අ.නි.චතුක්කනිපාත.සුගතවිනයසුත්තං-
සුගතයන්
වහන්සේ හෝ සුගත-විනය, ලෝකයේ පැවතීම බොහෝ ජනයාට හිතසුව
පිණිස හා අනුකම්පා පිණිස හේතු වේ. එමගින්, දෙවියන්ටත් මිනිසුන්ටත්,
අර්ථවත්බව-හිතවත්බව- සැපවත්බව සැලසේ.
ලෝකයේ පහළ වන තථාගත සම්මා සම්බුදුරජාණන්
වහන්සේ, සුගත නම් වේ. එනම්, දෙවියන්ටත් මිනිසුන්ටත් සුගතියට යන මාර්ගය පෙන්වන,
අනුත්තර ශාස්තෘවරයා ලෙස, ලෝකය විනිවිද දකින බුද්ධ-ඤාණයෙන් යුක්තව, පිරිසිදු බවෙන්
හා විවෘත්ත බවෙන් අග තැන්පත් වූ ලෝක නායකයාණන්, සුගත යනුවෙන් හැඳින්වේ.
බුදුරජාණන් වහන්සේ දේසනා කළ සුගතියට
යන මාර්ගය, සුගත-විනයයි. එනම්, තමන් කරන-කියන-හිතන දේවල් නිවැරදි කිරීමෙන්, දුක ඉවර වෙන තත්වයට යන බ්‍රහ්මචරියාව
ප්‍රකාශ වෙන ධර්මය, සුගතවිනය ලෙස හැඳින්වේ. ඒ ආකාරයෙන්
සුගතයන් වහන්සේ හෝ සුගතවිනය ලෝකයේ පැවතීම, බොහෝ
ජනයාට හිතසුව පිණිස හා අනුකම්පා පිණිස හේතුවේ.
(2) ලෝකය තුල යමක් සිදුවීගෙන යන ක්‍රමය,
“න්‍යාය” හෝ “නය” ලෙස හැඳින්වේ. පවතින ක්‍රමයට වඩා වෙනස්වූ, අසාමාන්‍ය හා නිවැරදි ක්‍රමයට
කටයුතු කිරීම “වි-නය”යි. හොඳ, සුදුසු ක්‍රමයට කටයුතු කිරීම “සු-නය”යි. නරක, නුසුදුසු
ක්‍රමයට කටයුතු කිරීම “දු-නය”යි. කිසිම ක්‍රමයක් නැතිව අතරමං වෙන අමන කටයුතු
කිරීම “අ-නය”යි.
(අනයං නයති දුම්මෙධො, අධුරායං නියුඤ්ජති
දුනයො සෙය්‍යසො හොති, සම්මා වුත්තො පකුප්පති
විනයං
සො න ජානාති, සාධු තස්ස අදස්සනං)
-අකිත්තිජාතකං-
-අකිත්තිජාතකං-
ළාමක බුද්ධිය සහිත ලෝල පුද්ගලයා,
කිසිම ක්‍රමයකට අනුකූල නොවන අමන කටයුතු කරමින්, වරදේ යෙදෙන අතර, ලේසියෙන් කළහැකි නරක
දේට වඩාත් කැමතිය. නිවැරදි පිළිවෙළ කියන විට කුපිත වේ. විනයක් නොදන්නා, එවැනි
බාලයන් නොදැක සිටීම යහපත්ය.
(නයං නයති මෙධාවී, අධුරායං න යුඤ්ජති
සුනයො
සෙය්‍යසො හොති, සම්මා වුත්තො න කුප්පති
විනයං
සො පජානාති, සාධු තෙන සමාගමො)
-අකිත්තිජාතකං-
-අකිත්තිජාතකං-
යමක් දරා ගැනීමේ හැකියාව සහිත, පරිණත බුද්ධියෙන්
යුක්ත පුද්ගලයා, ක්‍රමානුකූලව කටයුතු කරමින්, වරදේ නොයෙදෙන අතර, අමාරු වුනත් හොඳ දේට
වඩාත් කැමතිය. නිවැරදි පිළිවෙළ කියන විට කෝප නොවේ. විනයක් දන්නා එවැනි අය සමග
සිටීම යහපත්ය.
ලෝකයේ ස්වභාවිකව උපදින-මැරෙන පැවැත්ම
සිදුවන ක්‍රමය දුකක් වන නිසා, ලෝකය එපාවෙන තත්වයක් ඇතිවේ. එමනිසා මෙම ස්වභාවිකව පවතින
ක්‍රමය වෙනස් කරගෙන ලෝකයෙන් ගැලවී නිදහස් වීමට, බුදුරජාණන් වහන්සේ විසින් සොයාගත්
අසාමාන්‍ය හා නිවැරදි ක්‍රමය සුගත-විනයයි. එය ආර්ය-විනය, ආර්ය-ධර්මය, සත්පුරුෂ-ධර්මය
ආදී වශයෙන්ද හැඳින්වේ.
(3) (අහං ඛො කෙසි, පුරිසදම්මං සණ්හෙනපි විනෙමි, ඵරුසෙනපි විනෙමි, සණ්හඵරුසෙනපි විනෙමි. තත්ථිදං, කෙසි, සණ්හස්මිං ඉති කායසුචරිතං
ඉති
කායසුචරිතස්ස විපාකො, ඉති වචීසුචරිතං ඉති වචීසුචරිතස්ස විපාකො, ඉති මනොසුචරිතං
ඉති
මනො සුචරිතස්ස විපාකො. ඉති දෙවා, ඉති මනුස්සාති. තත්ථිදං කෙසි, ඵරුසස්මිං ඉති කායදුච්චරිතං ඉති කායදුච්චරිතස්ස විපාකො, ඉති වචීදුච්චරිතං ඉති වචීදුච්චරිතස්ස විපාකො, ඉති මනො දුච්චරිතං ඉති මනොදුච්චරිතස්ස විපාකො. ඉති නිරයො, ඉති තිරච්ඡානයොනි, ඉති පෙත්තිවිසයොති.
තත්ථිදං
කෙසි, සණ්හ ඵරුසස්මිං ඉති කායසුචරිතං.., ඉති
කායදුච්චරිතං.., ඉති වචී සුචරිතං.., ඉති වචීදුච්චරිතං.., ඉති මනොසුචරිතං.., ඉති මනො දුච්චරිතං... ඉති දෙවා, ඉති මනුස්සා, ඉති නිරයො, ඉති තිරච්ඡාන යොනි, ඉති පෙත්තිවිසයොති.)
-අ.නි.චතුක්කනිපාත.කෙසිසුත්තං-
-අ.නි.චතුක්කනිපාත.කෙසිසුත්තං-
මිනිසුන්ව සුගත-විනයට අනුව දමනය
කරන ‘පුරිස-දම්ම-සාරථී’ වන බුදුරජාණන් වහන්සේ, හොඳින්- නරකින් සහ හොඳ නරක දෙකෙන්ම යන ක්‍රම
තුනකින් මිනිසුන්ව දමනය කරන ලදි. හොඳින් කරන-කියන-හිතන දේවල් වලින් දිව්‍ය-මනුස්ස
සුගති හා වෙනත් හොඳ විපාක ලැබෙන බව පෙන්වාදීම, හොඳින් දමනය කිරීමයි. නරකින්
කරන-කියන-හිතන දේවල් වලින් නිරය-තිරිසන්-ප්‍රේත යන දුගති අපාය හා වෙනත් නරක විපාක
ලැබෙන බව පෙන්වා දීම, නරකින් දමනය කිරීමයි. ඒ දෙකම පෙන්වාදීම හොඳින් සහ නරකින්
දමනය කිරීමයි. ඒ කිසිම විදිහකින් දමනය නොවන පුද්ගලයාව අතහැර දමනු ලැබේ.
(තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මා සම්බුද්ධස්ස
ද්වෙ ධම්ම දේසනා පරියායෙන භවන්ති. කතමා ද්වෙ? පාපං
පාපකතො පස්සථාති, අයං පඨමා ධම්ම දේසනා. පාපං පාපකතො
දිස්වා තත්ථ නිබ්බින්දථ විරජ්ජථ විමුච්චථාති, අයං
දුතියා ධම්මදේසනා)
-ඉතිවුතත්කපාලි.දේසනාසුත්තං-
-ඉතිවුතත්කපාලි.දේසනාසුත්තං-
බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් ධර්ම
දේසනා කරන ක්‍රම දෙකක් තිබේ. එනම්, පාප කර්ම වලින් සිදු වෙන
නරක තේරුම් ගන්නා ලෙස කියන ධර්ම දේසනා සහ පාප කර්ම නොකර පාපයෙන් වෙන්වී නිදහස් වන
ලෙස කියන ධර්ම දේසනාය.
(බුද්ධො සො භගවා බොධාය ධම්මං දෙසෙති,
දන්තො සො භගවා දමථාය ධම්මං දෙසෙති, සන්තො
සො භගවා සමථාය ධම්මං දෙසෙති, තිණ්ණො සො භගවා තරණාය ධම්මං
දෙසෙති, පරිනිබ්බුතො සො භගවා පරිනිබ්බානාය ධම්මං
දෙසෙති)
-දී.නි.පාථිකවග්ග.උදුම්බරිකසුත්තං-
-දී.නි.පාථිකවග්ග.උදුම්බරිකසුත්තං-
බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන,
අන් අයට සත්‍ය අවබෝධ කරගැනීම සඳහා ධර්ම දේසනා කරන ලදි.
බුදුරජාණන් වහන්සේ දමනයවී, අන් අයට
දමනය වීම සඳහා ධර්ම දේසනා කරන ලදි.
බුදුරජාණන් වහන්සේ සාන්ත භාවයට පත්වී,
අන් අයට සමනය වීම සඳහා ධර්ම දේසනා කරන ලදි.
බුදුරජාණන් වහන්සේ ලෝකය තරණය කර, අන්
අයට තරණය කිරීම සඳහා ධර්ම දේසනා කරන ලදි.
බුදුරජාණන් වහන්සේ නිවීමට පත්වී, අන් අයට
නිවීම සඳහා ධර්ම දේසනා කරන ලදි.෴
2. කුසල-අකුසල
න්‍යාය.
(1) (සො එවං
පබ්බජිතො සමානො, කිං කුසල-ගවෙසී අනුත්තරං සන්ති වරපදං පරියෙසමානො)
-ම.නි.මූල.පාසරාසිසුත්තං-
-ම.නි.මූල.පාසරාසිසුත්තං-
ගෞතම බෝධිසත්වයන් වහන්සේට ලෝකය හා
ජීවිතය එපා වීමෙන් පසුව පැවිදිවී, සියලු දුක් කරදර ඉවර
කිරීම සඳහා තිබිය යුතු කුසලතා ගවේෂණය කරන ලදි. එමගින් සත්ව ලෝකයේ පැවැත්ම
ගෙනයන සියලු න්‍යායන් හා නියමයන් සොයා ගන්නා ලදි.
සත්වයාගේ සිතින්-වචනයෙන්-කයෙන්, කරන-
කියන- හිතන ක්‍රියාකාරකම් වල විපාක, ප්‍රතිවිපාක, පලදීම, ප්‍රතිඵල, ආදීනව,
ආනිසංස යනාදිය ගැන කර්ම-විපාක න්‍යාය සොයාගන්නා ලදි. කරන- කියන-
හිතන ක්‍රියාකාරකම් වලින් සත්වයාට යහපත සිදුවෙන කුසල ධර්ම න්‍යාය සොයා ගන්නා ලදි.
ඒ අනුව ලෝකයේ තිබෙන සියලුම දුක් කරදර ඇති වෙන්නේ, තමන්ම කරන-කියන-හිතන දේවල් වල
වැරදි හා අපිරිසිදු කම නිසා බව බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලදි.
අනතුරුව මහා බෝධිසත්වයන් වහන්සේ
විසින් කරන-කියන-හිතන සියල්ල, සෑම අතින්ම පිරිසිදු හා නිවැරදි බවට පත් කරගෙන,
නැවත කිසිම දුකක් ඇති නොවන තත්වය වන නිවණ සැබෑ කර ගන්නා ලදි. ඉන් පසුව, බුදුරජාණන්
වහන්සේ ලෝකයාට අනුකම්පාවෙන් හා කරුණාවෙන් නිකුත් කළ පණිවිඩය බුද්ධසාසනයයි. එය ඉතා
කෙටියෙන් මෙසේය,
(සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං, එතං බුද්ධානං සාසනං)
-ධම්මපද.බුද්ධවග්ග-
-ධම්මපද.බුද්ධවග්ග-
සියලු පාප-අකුසල් නොකිරීම හා කුසල්
උපදවා ගැනීම මගින්, සිත පිරිසිදු කිරීම බුද්ධ සාසනයයි.
සියලු අකුසල් සිදු නොවන පිරිසිදු සිතට නිවණ අවබෝධවී, සියලු දුක් අවසන් වන තත්වයට
පත්වන නිසා, බුදුරජාණන් වහන්සේ, එම අවවාදය කරන ලදි.
(2) කුසලය හා අකුසලය ගැන බුදුරජාණන්
වහන්සේගේ කරන ලද ධර්ම දේසනා අපරිමාණය. අකුසලය අත්හැරීම හා කුසලය භාවිතා කිරීම සඳහා,
බුදුරජාණන් වහන්සේ කරන ලද ධර්ම දේසනා අපරිමාණය.
අකුසල් යනුවෙන් අර්ථ දැක්වෙන්නේ, නොකළයුතු,
නුසුදුසු, අහිතකර, අපිරිසිදු, අසික්ඛිත, අයහපත්, දුක් විපාක සහිත, නරක, වැරදි ක්රියාවන්ය.
කුසල් යනුවෙන් අර්ථ දැක්වෙන්නේ, කළයුතු,
සුදුසු, හිතකර, පිරිසිදු, සික්ඛිත,
යහපත්, සැප විපාක සහිත, හොඳ, නිවැරදි ක්රියාවන්ය.
මිනිසුන් විසින් කරන- කියන- හිතන
කටයුතු, තමන්ටත් අනුන්ටත් ප්‍රායෝගිකව අහිතකර වීමට මූලිකව
හේතු වන්නේ, ලෝභකම, ද්වේශය හා
මුළාවීම, (රාග- ද්වේශ- මෝහ) යන
අකුසල-මූල තුනයි. ඒ නිසා අකුසලය අත්හැරීම සඳහා කළ යුත්තේ, ලෝභකම, ද්වේශය හා මුළා වීම ඉවර කිරීමයි.
මිනිසුන් විසින් කරන- කියන- හිතන
කටයුතු, තමන්ටත් අනුන්ටත් ප්‍රායෝගිකව හිතකර වීමට මූලිකව
හේතු වන්නේ, ලෝභ-නොවීම, දුෂ්ඨ-නොවීම
හා මුළා-නොවීම (අලෝභ, අද්වේශ, අමොහ)
යන කුසල-මූල තුනයි. නිවණ අවබෝධ නොවූ සත්වයන් විසින් කරන-කියන-හිතන සෑම දේකටම
මූලිකව හේතු වෙන්නේ, මෙම කුසල-අකුසල මූල හයයි.
(අප්පමාදො අමතපදං, පමාදො මච්චුනො පදං
අප්පමත්තා න මීයන්ති, යෙ පමත්තා යථා මතා) -ධම්මපද.අප්පමාදවග්ග-
රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් වල්මත්
නොවී සිටීම අප්‍රමාද වීමයි. එසේ වල්මත් නොවී සිටීමෙන්, රාග-ද්වේශ-මෝහ සම්පූර්ණයෙන්ම
ඉවරවීම නිවීමයි. නිවණේ සිත-කය නොපවතින නිසා මරණයක් ඇති නොවේ, ඒ නිසා මරණයෙන්
ගැලවීමට උපකාර වෙන පදය අප්‍රමාදයයි. රාග-ද්වේශ-මෝහ නිසා වල්මත්වීම ප්‍රමාද
වීමයි. එසේ වල්මත්වී උපදින-මැරෙන සංසාර පැවැත්ම දිගටම ගෙන යාමෙන්, මරණය ඇතිවෙන
නිසා, මරණය ලබාදෙන මාරයාගේ පදය ප්‍රමාදයි.
(නිබ්බාන ධාතුයා ඛො එතං භික්ඛු
අධිවචනං, රාග-විනයො දොස-විනයො මොහ-විනයොති)
-සං.නි.මහාවග්ග.දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං-
(යො ඛො ආවුසො, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, ඉදං වුච්චති නිබ්බානං)
-සං.නි.සලායතනවග්ග.නිබ්බානපඤ්හාසුත්තං-
ජීව-භෞතික ලෝකයේ ස්වභාවිකව පැවැත්ම ක්‍රියාත්මක
වීමට හේතුවන, රාගය-ද්වේශය-මෝහය සම්පූර්ණයෙන්ම වෙනස් කර, ඉවර කිරීමෙන් ලැබෙන ස්ථාවර
සැනසීම නිවණයි.
(3) කුසල්-අකුසල් නිවැරදිව හඳුනාගෙන,
අකුසල් අත්හැර, කුසල් උපදවා ගැනීම කරන තරමට ප්‍රායෝගික සැනසීමක්
හා නිවීමක් ලැබේ. ඕනෑම මොහොතක ලෝභකම, ද්වේශය හා මුළාවීම
යන අකුසල හැඟීම් සිතේ ඇතිවීම තමන්ටත්, අනුන්ටත් ප්‍රායෝගිකව කරදරයක් හා වදයක්වේ.
ඕනෑම මොහොතක ලෝභ-නොවීම, දුෂ්ඨ-නොවීම හා මුළා-නොවීම යන
කුසල හැඟීම් සිතේ ඇතිවීම තමන්ටත්, අනුන්ටත් ප්‍රායෝගික සැනසීමක් හා සහනයක්වේ.
සියලු අකුසල් නොකර සිටීමෙන්, සිත නිවෙන ආකාරය ඒ අනුව තේරුම් ගත යුතුය.
(ලොභො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජ මානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය
අඵාසුවිහාරාය. දොසො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං
උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසු විහාරාය. මොහො ඛො මහාරාජ,
පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය
දුක්ඛාය අඵාසුවිහාරාය)
-සං.නි.සගාථවග්ග.පුරිසසුත්තං-
ලෝභ, ද්වේශ,
මෝහ යන පාප අකුසල් සත්වයා තුල උපදින්නේ, ලෝකයට
අහිත-දුක-අපහසුතාවය ලබාදීම සඳහාය. ලෝභ, ද්වේශ, මෝහ යන පාප අකුසල් ඇතිවීම වලක්වා ගත යුත්තේ, ලෝකයට හිත-සැප-පහසුව ලබාදීම
සඳහාය. එය තමන් විසින්ම පැහැදිලිව තේරුම්ගත යුතුය. බුදුරජාණන් වහන්සේ දේසනා කල
ධර්මයෙන්, ප්‍රායෝගික ලෝකයේ සිදුවෙන සියල්ල පැහැදිලි වෙන බව, ඒ අනුව දැනගත යුතුය.
අකුසල් ඒකාන්තයෙන්ම නොකළ යුතුය.
ඒකාන්තයෙන්ම නොකළ යුතුවන අකුසල් කිරීම නිසා, තමන්ට තමන්ම
දොස් කියා ගැනීමට හා පසුතැවිලි වීමට සිදුවේ, දැනුවත් අයගේ
ගැරහීමට ලක්වේ, නරක පව්කාරයන් ලෙස ප්‍රසිද්ධවේ, සිහි මුළාවී මරණයට පත්වේ, මරණින් පසු අපාගතවේ.
කුසල් ඒකාන්යෙන්ම කළ යුතුය.
ඒකාන්යෙන්ම කළ යුතුවන කුසල් කිරීමෙන්, තමන්ට තමන් දොස්
කියා ගැනීම හෝ පසුතැවිලි වීමට සිදු නොවේ, දැනුවත් අයගේ ප්‍රසංසාවට
ලක් වේ, හොඳ පින්වතුන් ලෙස ප්‍රසිද්ධවේ, සිහිමුළා නොවී මරණයට පත්වේ, මරණින් පසුව
සුගතියේ උපදී.
(4) (අකුසලං භික්ඛවෙ, පජහථ. සක්කා භික්ඛවෙ අකුසලං පජහිතුං. නො චෙදං
භික්ඛවෙ සක්කා අභවිස්ස අකුසලං පජහිතුං, නාහං එවං වදෙය්යං,
අකුසලං භික්ඛවෙ පජහථාති. යස්මා ච ඛො භික්ඛවෙ සක්කා අකුසලං පජහිතුං, තස්මාහං එවං
වදාමි, අකුසලං භික්ඛවෙ පජහථාති. අකුසලඤ්ච හිදං භික්ඛවෙ පහීනං අහිතාය දුක්ඛාය සංවත්තෙය්ය,
නාහං එවං වදෙය්යං අකුසලං භික්ඛවෙ පජහථාති. යස්මා ච ඛො භික්ඛවෙ අකුසලං පහීනං හිතාය
සුඛාය සංවත්තති, තස්මාහං එවං වදාමි, අකුසලං භික්ඛවෙ පජහථාති. කුසලං භික්ඛවෙ භාවෙථ.
සක්කා භික්ඛවෙ කුසලං භාවෙතුං. නො චෙදං භික්ඛවෙ සක්කා අභවිස්ස කුසලං භාවෙතුං,
නාහං එවං වදෙය්යං, කුසලං භික්ඛවෙ භාවෙථාති. යස්මා ච ඛො භික්ඛවෙ
සක්කා කුසලං භාවෙතුං තස්මාහං එවං වදාමි, කුසලං භික්ඛවෙ භාවෙථාති. කුසලඤ්ච හිදං
භික්ඛවෙ භාවිතං අහිතාය දුක්ඛාය සංවත්තෙය්ය, නාහං එවං වදෙය්යං,
කුසලං භික්ඛවෙ භාවෙථාති. යස්මා ච ඛො භික්ඛවෙ කුසලං භාවිතං හිතාය සුඛාය සංවත්තති
තස්මාහං එවං වදාමි, කුසලං භික්ඛවෙ භාවෙථාති)
-අ.නි.දුකනිපාත.අධිකරණවග්ග-
-අ.නි.දුකනිපාත.අධිකරණවග්ග-
අකුසලය අත්හරින්න, අකුසලය අත්හැරීම කළ
හැකිය. අකුසලය අත්හැරීමට නොහැකි නම්, අකුසලය අත්හරින ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද
කරන්නේ නැත. අකුසලය අත්හැරීම කළ හැකි නිසා, අකුසලය අත්හරින ලෙස බුදුරජාණන් වහන්සේ
විසින් අවවාද කරන ලදි.
අකුසලය අත්හැරීමෙන් කාටවත් අහිතක්-දුකක්
වෙනවා නම්, අකුසලය අත්හරින ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ නැත. අකුසලය
අත්හැරීම කාටත් හිතකර හා සැපයක් වෙන නිසා, අකුසලය අත්හරින ලෙස බුදුරජාණන් වහන්සේ
විසින් අවවාද කරන ලදි.
කුසලය භාවිතා කරන්න, කුසලය භාවිතා කළ
හැකිය. කුසලය භාවිතා කළ නොහැකි නම්, කුසලය භාවිතා කරන ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද
කරන්නේ නැත. කුසලය භාවිතා කළ හැකි නිසා, කුසලය භාවිතා කරන ලෙස බුදුරජාණන් වහන්සේ
විසින් අවවාද කරන ලදි.
කුසලය භාවිතා කිරීමෙන් කාටවත්
අහිතක්-දුකක් වෙනවා නම්, කුසලය භාවිතා කරන ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ
නැත. කුසලය භාවිතා කිරීම කාටත් හිතකර හා සැපයක් වෙන නිසා, කුසලය භාවිතා කරන ලෙස
බුදුරජාණන් වහන්සේ විසින් අවවාද කරන ලදි.෴