Friday, April 10, 2020

  "අලජ්ජිතායෙ ලජ්ජන්ති,  ලජ්ජිතායෙ න ලජ්ජරෙ, මිච්ඡාදිට්ඨි සමාදානා,  සත්තා ගච්ඡන්ති දුග්ගතිං" (ධම්මපදය, නිරය වග්ග) ලැජ්ජා නොවිය යුත්තට ලැජ්ජා වන, ලැජ්ජා විය යුත්තට ලැජ්ජා නොවන, මිත්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වන, සත්වයෝ යන්නෙ දුගතියටම, බෞද්ධ ඉතිහාසය අනුව දඹදිව ක්ෂත්‍රිය වංශයට සම්බන්ධ විජයගෙන් සිංහල බෞද්ධයා පැවතෙන බව පැහැදිලිය. සිංහල බෞද්ධ ජාතියට එරෙහි පවුකාර මිසදුටුවන් මෙම සිංහල බෞද්ධ සම්භවය වරදවා ප්‍රචාරය කර දහම නූගත් සමාජය නොමග යවන බව පෙනී යයි. (1.) මෙය සිංහල බෞද්ධ අධ්‍යාත්මය අඩපන කරන විජාතික කුමන්ත්‍රණයකි. මෙහි අරමුණ වන්නේ නූගත් බෞද්ධයන් ලවාම සිංහල බෞද්ධ ඉතිහාසය හා ධර්මය උපක්‍රමයෙන් විකෘති කර සිංහල බෞද්ධ ජාතියේ හරය ඇතුලතින් විනාශ කර පුහු නිවටයන් බවට පත් කිරීමයි. වර්තමානයේ බුදුදහම හා බෞද්ධ ඉතිහාසය නූගත් පිරිස දැනටමත් එවැනි පුහු නිවටයන් බවට පත්වී සමාජය දූෂණය කරති. (2.) බොධිසත්වයන් වහන්සේ තම දේවිය හා ලදරු කුමාරයා අතහැර ගොස් පැවිදි විය. විජයගේ පියා සිංහබාහු සිංහයාට දාව ඉපදී සහෝදරිය සමග විවාහ විය. මිසදුටුවන්ගේ උපක්‍රමය මෙවැනි දේවල් වරදවා සමාජගත කර සිංහල බෞද්ධ සම්භවය විකෘති කිරීමයි. කලාතුරකින් මනුස්ස ලෝකයේ උපදින පවුකාර අන්ධබාලයන්ට මනුස්ස ලෝකය ගැන සාමාන්‍ය දැනුමක් නැති නිසා ඔවුන් මේවාට හසුවේ. (3.) මෙහිදී තිරිසනෙකුට දාව මිනිසෙක් ඉපදීම අවමානයක් හෝ අමුතු දෙයක් නොවේ. බෝධිසත්වයන් වහන්සේ අලම්බුස ජාතකයේ මහාතාපස වරයෙක්ව සිටියදී උන්වහන්සේ⁣ මූත්‍රා කල තැන තිබුන තණකොල කාපු මුවදෙන බෝධිසත්වයන්ට දාව පුතෙක් බිහි කලාය. පසුව ඔහු ඉසිසිංග තාපස ලෙස ධ්‍යාන ලාභී උතුමෙක් විය. (4.) සිංහයාගේ සම්බන්ධය ගරුත්වයක් මිසක අවමානයක් නොවේ. බුද්ධ දේසනාවේ සිංහයා බුදුන් වහන්සේට උපමා කරන අතර බුද්ධ දේසනාව සිංහ නාදයට උපමා කරයි. අංගුත්තර නිකායේ පඤ්චක නිපාත සීහ සූත්‍රය අනුව සිංහයා යනු බුදුන්වහන්සේට කියන අන්වර්ථ නාමයකි. බුදුන්වහන්සේ ලෝකයට ධර්ම දේසනා කරන්නේ සිංහයා දඩයමේ යන ආකාරයට බව එහි විස්තර කරන ලදි. අසමසම යයි කියන බුදුවරු පවා තමන්ව සමාන කරන සිංහයාගෙන් පැවතීම ගැන ලැජ්ජා වන්නේ ජර කැනහිලුන් වැන්නන් බව තේරුම්ගත යුතුය. (5.) මෙලොව සත්වයන් අතර අකුණු ගහන විට නොසැලෙන්නේ රහතන් වහන්සේලා, සිංහයා, අජානීය හස්තියා සහ අජානීය අශ්වයාය. ඒ අනුව සිංහයා හෙණ ගැහුවත් නොසැලෙන්නෙක් ලෙස රහතන් වහන්සේලාගේ ලක්ෂණයක් දරන සතෙකි. (6.) සියලු බුදුවරයන් වහන්සේලාගේ මහා පුරුෂ ලක්ෂණයක් වන "සීහපුබ්බද්ධකාය" හෙවත් උඩුකය සිංහයෙකුගේ මෙන් පිහිටීම මහා පුරුෂයන්ගේ පරාර්ථචර්යාව නිසා ලැබෙන උත්තම උදාර ලක්ෂණයකි. මේ අනුව සිංහයා බුදුවරුන්ට හා චක්කවත්ති රජවරුන්ට ආවේනික ලක්ෂණ ඇති ගාම්භීර සත්වයෙකි. (7.) තවත් සිංහයාගේ ලක්ෂණයක් වන "සීහහනු" මහා පුරුෂ ලක්ෂණය ලැබෙන්නේ සසරේදී තමන්ගේ වචනය අර්ථවත්, වැදගත් හා කුසලමය ලෙස භාවිතා කිරීම නිසාය. (8.) බුදුවරයන් වහන්සේලා සයනය කරන්නේද සිංහයා සයනය කරන ඉරියව්වෙන්ය. සාවකයන්ටත් සිංහ සෙය්‍යාවෙන් සයනය කරන ලෙස ධර්මය දේසනා කර ඇත. (9.) බෝධිසත්වයන් වහන්සේ සුනඛයෙක් හා කපුටෙක් වෙලා උපන් ජාතක වල පවා මෙලොව පාලනය කල රජවරුන්ටත් ධර්ම දේසනා කර එම රාජ්‍ය වලින් පිදුම් ලබා ඇත. එ් නිසා බුදුදහම නොදැන සිංහයාගේ පරම්පරාව⁣ට ගරහන අන්ධබාලයන් තිරිසන් බලුකපුටන් තරම්වත් නොවටින නිවටයන් බව පැහැදිලිය. (10.) ඊලඟට සිංහබාහු සිංහසීවලී අතර විවාහයට අවමන් කිරීමත් මිසදුටු උපක්‍රමයකි. බුදුන් වහන්සේ උපන් සාක්‍ය වංශය පැවතෙන්නේද ඔක්කාක රජතුමාගේ දරුවන් අතර එවැනි සහෝදර විවාහ වලින්ය. ඔවුන් එසේ කලේ තමන්ගේ ජාතිය වෙනත් අයට කවලම් නොකිරීමටය. බුදුන් වහන්සේගේම ඤාති වන නන්ද කුමාරයා විවාහ වීමට සිටියේද සහෝදරිය වන ජනපද කල්‍යාණි සමගය. (11.) විජයාගමනයේ සම්භවයට ගරහන මිසදුටුවන් ඉදිරිපත් කරන විකල්පයක් වන්නේ බුදුන්වහන්සේගේ පලමු ලංකාගමනේදී හා විජයාගමනයේදී ලංකාවේ හිටපු බව කියන යක්කුන්ගෙන් සිංහලයා පැවතෙන බව ප්‍රචාරය කිරීමයි. විජයාගමනයට පෙර ලංකාවේ හිටපු යක්කුන් මිනිසු නොව අමනුසයන් බව සඳහන් කරන මහාවංසය මිසදුටුවන් ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසා වියහැක. (12.) මහාවංසයේ (1. මහියංගනාගමනය) විස්තර වන බුදුන්වහන්සේගේ මුල්ම ලංකාගමනයවත් නොපිලිගෙන ලංකාවේ බුදුසසුන පැහැදිලි කල නොහැකි නිසා මොවුන් මහාවංසය අනුව බුදුන්වහන්සේගේ ලංකාගමනය හා විජයාගමනය පිලිගනී. නමුත් එවක ලංකාවෙ සිටියේ මිනිසුන් නොව අමනුස්සයන් බව මහාවංසයේ පැහැදිලිව සඳහන්ය. මෙහිදී මහාවංසයත් විකෘති කර මිනීකන යක්කුන්ට ජාතිය පාවා දෙන්නන් කියන්නේ එම යක්කුන් මිනිස් ගෝත්‍ර බවයි. තව පැත්තකින් විජයාගමනයට පෙර ලංකාවේ සිටි කුවේනිය ඇතුලු අමනුස්සයන් දෙමල ජාතිකයන් බවටද ප්‍රචාරය කරන මෙම කුමන්ත්‍රණයෙන් දෙමල නිජබිම් සංකල්පය හරහා ත්‍රස්තවාදය පැතිරවීමටත් ඒ කතාවම යොදා ගෙන තිබේ. පසුගිය 80/ 90 දශක වලදී ත්‍රස්තවාදීන් සහ විජාතිකයන් විසින් "මිනීකන්නන්ගේ දේශය" නමින් ලංකාවේදී චිත්‍රපටයක් නිර්මාණය කර සිංහල බෞද්ධයන්ව ජාත්‍යන්තර අපකීර්තියට පත් කරන වෑයමක්ද වාර්තා විය. (13.) මේ කුමන්ත්‍රණයේම කොටස් කරුවෙක් වන පංසල්හේනේ ධම්මාලංකාර (මීවනපලානේ) නැමති පල් හොරා තමන්ගේ නිගන්ට බුදුන් ලංකාවේම උපන් බවට අමූලික පච කියා මුලු බෞද්ධ ඉතිහාසයත් ධර්මයත් කනපිට හරවා එයට අහුවෙන මෝඩයන් මුලා කරයි. යක්කුන්ට ජාතිය පාවාදෙන මිසදුටුවන්ද එයට කැමතිය. (14.) බුදුන්වහන්සේගේ පලමු ලංකාගමනයෙන් විස්තර වෙන්නේ බුදුන්වහන්සේ විසින් මහියංගනයේ රැස්වෙලා හිටපු යකුන් පිරිස ගිරිදීපයට පලවා හැරිය බවයි. මෙහිදී සියලු යකුන් පලවා හැරිය බව කියා නැති නිසා මහියංගනයට රැස්වුන පිරිසට අමතරව තවත් අමනුස්සයන් ඉතුරු වන්නට ඇති බවත්, ධර්ම දේසනා කිරීමට එවක මෙහි මිනිසුන් නොසිටි බව පැහැදිලිය. (15.) බුද්ධ පරිනිර්වාණ දිනයේ විජය ලංකාවට පැමිණි බවත්, බුදුන්වහන්සේගේ දැනුම්දීම පරිදි සක්‍රයා විජය ඇතුලු පිරිස හමුවී ලංකාවේ මිනිසුන් නැති බව කියා යක්කුන්ගෙන් ආරක්ෂා වීමට නූලක් දුන් බවත් මහාවංසයේ සඳහන්ය. මෙහිදී විජය ඇතුලු පිරිසට හමුවන කුවේනිය මිනීකන අමනුස්ස යකින්නක් බවත් අතරමංවී ලංකාවට ආපු නාවිකයන්ව මෙහි සිටි යක්කුන්ට ගොදුරුව ඇති බවත් පැහැදිලිව සඳහන්ය. (මහාවංසය, 7.විජයාභිසේකය) (16.) මනුස්ස වෙස් මවාගත් අමනුස්ස කුවේනිය සමග මුලදී විවාහ වුන විජය ඇය අමනුස්ස යකින්නක් නිසා දඹදිව ක්ෂත්‍රිය කාන්තාවන් ගෙන්වාගෙන නැවත විවාහ විය. මෙසේ කුවේනිය අත්හරින තැන විජ⁣යගේ කතාවෙන් මුලදී සක්‍රයාගේ කතාවෙන්ද පැහැදිලිවම විජයාගමනය වෙන විට ලංකාවේ මිනිසුන් නොසිටි බව හා අමනුස්ස යක්කු හිටපු බව කියවේ. මෙහිදී විජයට දාව අමනුස්ස කුවෙනිය දරුවන් දෙදෙනෙක් ලැබීමද සාමාන්‍ය සිද්ධියකි. බුද්ධ කාලයේ අමනුස්සයෙකුට දාව උපන් සේවකයෙක් පජ්ජෝත රජතුමාට සේවය කර තිබේ. කාක(කාක්කා) නැමති එම සේවකයාට දිනකට යොදුන් 60 ගමන් කල හැක. (විනයපිටක, මහාවග්ග, 207. පජ්ජොතරාජවත්ථු) (17.) මෙසේ අමනුස්සයන් අරක්ගෙන පැවති ලංකාවේ විජයාගමනයෙන් පසුව සිංහල මනුස්ස වාසය ඇතිවිය. තවත් කාලයකට පසුව මහින්දාගමනයෙන් ලංකාවට බුදුදහම ලැබී සිංහල ⁣බෞද්ධයන්ගේ සම්භවය ඇතිවිය. මෙම ඉතිහාසය අනුව ලංකාවේ බුදුදහම හා සමාජ තත්වය දියුණුව පැවති අනුරාධපුර යුගය ආදී කාලයන් වල සිංහල බෞද්ධයන්ට මෙවැනි ගැටලු තිබුනේ නැත. (18.) දැනට පැහැදිලිව ඉතිහාසගත සිංහල බෞද්ධ පැවැත්මට දායක වුන රජවරුන් අමතක කර මිත්‍යා ප්‍රබන්ධයක් වන රාවනා කතා ප්‍රචාරය කිරීමද මිසදුටු කුමන්ත්‍රණයකි. මෙලොව පරලොව කිසිම වැදගැම්මක් නැති අගක් මුලක් නොදන්නා සුරංගනා කතාවක් වන රාවනා කතන්දර තනිකරම සම්පප්‍රලාපයකි. මිත්‍යාදෘෂ්ටික ආගම් වල මෙන් සුරංගනා කතා සමාජගත කර බුදුදහම අභාවයට යැවීම මෙහි අරමුණයි. ධර්මය ලෝකෙන් අතුරුදහන් වෙන්නේ ධර්මයට මිත්‍යා කතා ආදේශ කිරීමෙන් බව බුදුන්වහන්සේ පැහැදිලිව දේසනා කලා. බුදුදහම නූගතුන්ට රාවණා කතාවල දඬුමොණරයත් අරුමයකි. ගෞතම බුදුසසුන පැවති කාලයේ හා කස්සප බුදුසසුන කාලයේද සැහැල්ලු දැවයෙන් ගුරුළන් වැනි ගුවන්යානා දහස් ගණන් සාදා ඒවායින් ගමන් කල අවස්ථා සඳහන්ය. (19.) බෝධිරාජ කුමාරයා විසින් දක්ෂ වඩු ශිල්පියෙක් ලවා කෝකනද නැමති ප්‍රාසාදය නිර්මාණය කලා. පසුව ඒ වඩු ශිල්පියා තවත් එවැනි ප්‍රසාදයන් හදනවාට අකමැති නිසා වඩු ශිල්පියාව ඝාතනය කිරීමට තීරනය කර වඩු ශිල්පියා පලායාම වැලැක්වීමට මුරකරුවන් දැම්මා. ඒ බව දැනගත් වඩු ශිල්පියා කෝකනද ප්‍රාසාදයේම උඩු මහල් කාමරයක සැහැල්ලු දැවයෙන් ගුරුලකුට සමාන ගුවන් යානයක් හැදුවා. පසුව ඔහුගේ පවුලේ අයත් එහි ගෙන්වාගෙන පවුල පිටින්ම ගුරුලු යානය පදවාගෙන හිමාල පෙදෙසට ගිහින් එහි නගරයක් තනා කට්ඨවාහන රාජු (දැවවාහනරජු) බවට පත්විය. (20.) අතීතයේ කස්සප සසුන කාලයේ දඹදිව දක්ෂ වඩු ශිල්පියෙකුට ගෝලයන් 16ක් සිටියා. එක ගෝලයෙකුට 1000 බැගින් අතවැසියො 16000ක් විය. මෙහි ප්‍රධාන වඩු ආචාර්යවරයා සැහැල්ලු දැවයෙන් කුරුල්ලෙකුට සමාන ගුවන් යානයක් හදා එහි නැගී පියාසර කර පෙන්නුවා. පසුව සියලු දෙනාම එවැනි දැව ගුවන් යානා හදාගෙන පවුල්වල අයත් සමග යානා 16017 කින් ආයුධ සන්නද්ධව හිමාලය දෙසට පියාසර කලා. ඔවුන් හිමාලයේ පිහිටි වෙනත් රටක රජ මාලිගාවට එකවර ගොඩබෑමෙන් පසුව ඒ රට අල්ලාගෙන හොඳින් පාලනය කලා. මේ බුදුසසුනේදී පරායන සූත්‍රදේසනාව ඇසූ බාවරී බ්‍රාහ්මණ ඇතුලු 16000කට අධික පිරිස ලෙස ඉපදී නිවන් අවබෝධ කලේ ඔවුන්ය. (සුත්තනිපාත, 5. පරායනවග්ග, අට්ඨකතා) සිංහල බෞද්ධ ඉතිහාසය ලෝකයේ සාමාන්‍ය, අසාමාන්‍ය හා අද්භුත කරුණු වලින් යුක්තය. බුදුදහමේ හරය කොහොමත් ලෝකයේ පෙර නොඇසූ ධර්මයකි. බුදුදහම අහවල් සම්මතයට අනුකූල වියයුතු යයි ලෝකයාට කිව නොහැකි නමුත් බුදුදහම ලෝකයට යහපත පමණක් කරන එකම ධර්මය බව තේරුම්ගත යුතුය. සුදනන්ගේ පැහැදීම හා සංවේගය පිණිස ලියන ලද මහාවංසයේ කිසිම අගතියක් සිදුවී නැත. මෙහිදී පාලි අටුවා කතා වල එකම සිද්ධිය තව තැනක තරමක් වෙනස්ව සඳහන් වන අවස්ථා ඇතත් මහාවංසයේ එවැනි දෝෂයන්ද නැති බව පෙනේ. බුදුදහම විෂය වන්නේ සද්ධාව නැමති බීජය හා සද්ධාව නැමති ධනය තිබෙන අයටය. සද්ධා බීජය හා ධනය නැති නම් ධර්මයෙන් දියුණුවක් හෝ පලක් නොවන අතර දිනපතාම කුසලයෙන් පිරිහීමට පත්වේ. ධර්මය තමන්ට දරාගත නොහැකි වන්නේ සහ අදහාගත නොහැකි වන්නේ සද්ධාවේ හා බුද්ධියේ ඌනතාවය නිසා බව තේරුම්ගත යුතුය.෴